පිස්සෙක් කියන මාර්සියෙල් වැඩකාරයෙක්ද මරිසිකාරයෙක්්ද ?
Posted on September 29th, 2018

දනුජය අමරකෝන් උපුටාගැණීම  මව්බිම

අලව්වේ නාමල් කුමාර මහතාගේ නිවෙසේදී අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතික මාර්සියෙල් තෝමස් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට ගෙන එනු ලබයි. රහස් පොලිසිය ඉන් අනතුරුව සිදු කරනුයේ මෙම පුද්ගලයා රඳවා තබාගනිමින් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙතින් රැඳවුම් නියෝගයක් ලබා ගැනීමය. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක කාලයක් ඉන්දියානු ජාතිකයා රඳවා තබා ගනිමින් ප්‍රශ්න කෙරෙනු ඇත.

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමේ පදනම සකසා ගනු ලැබුවේ තෝමස් නාමල් කුමාර හමුවී ප්‍රථමයෙන් ප්‍රකාශ කළ ‘මට දැනෙනවා ඔබට විවෘත තර්ජනයක් තිබෙනවා’ යන කාරණය මතය.

දැනෙන්නේ කෙසේදැයි අපරාධ පරීක්ෂණ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය. කුමන හෝ තොරතුරකට අදාළව ඔත්තුවක් නොඑසේ නම් ‘දැනගැනීමක්’ නොමැත්තේ නම් මොහු මේ අය සොයා යන්නේ ඇයි? එවැනි ප්‍රශ්න රාශියකට මැදි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු මොහුගෙන් ප්‍රශ්න කිරීම පටන් ගත්හ. ඇතැම් විට පරස්පර විරෝධී ප්‍රකාශයන් සිදුකරන මොහු මෙම පරීක්ෂණය වෙනතක හරවා පරීක්ෂණ කණ්ඩායම නොමඟ හැරීමේ කුමන්ත්‍රණයක නියැළෙන්නේ දැයි යන්න එම නිලධාරීන්ට ඇති වූ තවත් ගැටලුවකි. ඔහුගෙන් කරන ලද කරුණු විමසීමෙන් පසු මේ පුද්ගලයා සම්බන්ධයෙන් රහස් පොලිසිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ මාර්සියෙල් තෝමස්’ යනු කවරෙක් දැයි විමසා තිබිණි.

‘මාර්සියෙල් තෝමස්’ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සංචාරක වීසා පත්‍රයක් උපයෝගි කර ගනිමින් ඉකුත් 2017 වර්ෂයේ පෙබරවාරි 19 වැනිදා දිනෙකය.

මසක වීසා පත්‍රයකට අනුව මොහු මෙරටට පැමිණෙන්නේ ඉන්දීය ආර්.එස්.එස්. සංවිධානයෙන් (අචඵඩබපඪරච ඉඹචරචථඵඥමචඬ ඉචදඨඩ) තමාට දැඩි ජීවිත තර්ජනයක් ඇතිවීම හේතුවෙන් බව ඔහු රහස් පොලිසියට පවසයි. මෙම ආර්.එස්.එස්. සංවිධානය භාරතීය ජනතා පක්ෂයට සහාය දක්වන සංවිධානයකි.

එම සංවිධානයෙන් තමාට එල්ල වූ ජීවිත තර්ජනය හේතුකොටගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන මොහු මාසයක සංචාරක වීසා කාලය අවසන්වීමෙන් පසු පොලිසියට කට්ටි පනිමින් මෙරට විවිධ ප්‍රදේශවල ජීවත් වන්නේ බෝඩිංකාරයකු පරිද්දෙනි. මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී රාගම තේවත්ත ප්‍රදේශයේ නිවෙසක කාමරයක් කුලියට ගෙන රුපියල් 2,500ක කුලී දීමනාවක්ද ගෙවමින් සිට ඇත.

කිසිදු රැකියාවක් නොකර මෙරට විවිධ ප්‍රදේශවල ජීවත්වීමට හා කාමර කුලියට ගැනීමට මොහු වෙත මුදල් හදල් ලැබුණේ කෙසේද?

එම පැනයට මොහු පිළිතුරු දෙන්නේ තමා පල්ලිවලට ගොස් මුදල් ඉල්ලා ගන්නා බවයි. හොඳින් දෙමළ භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාවද, යන්තමින් සිංහල භාෂාවද හසුරුවන මොහු බැලූ බැල්මටම පිටරැටියකු බව නොපෙනෙයි.

තම රූපයෙන්ද ප්‍රයෝජනයක් ගැනීමට මොහු සමත්ව ඇත්තේ මේ අයුරිනි. එනම් මෙම තැනැත්තා ඉංග්‍රීසි භාෂාවෙන් ගිණුම්කරණය පන්ති පවත්වා ඇති බවටද මේ වන විට රහස් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. එක් ශිෂ්‍යයකුගෙන් රුපියල් 4,000ක මාසික දීමනාවක් ලබා ගනිමින් මොහු එම දරුවන්ට ටියුෂන් දී ඇත. දැන් ඒ බව දරුවන්ගේ මවුපියන් රහස් පොලිසියට ප්‍රකාශ පවා ලබාදී තිබේ. දිවයිනේ තැන් තැන්වල ජීවත් වූ මොහු මාස එකහමාරක පමණ කාලයක් බස් නැවතුමකද ජීවත්ව ඇත.

රහස් පොලිසිය මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් මෙන්ම විශාල මෙමරි පත් සහ පෙන්ඩ්‍රයිව් දෙකක්ද පොලිසිය සිය භාරයට ගෙන ඒවා නඩු භාණ්ඩ වශයෙන් නම් කොට අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. පසුව මෙහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා මෙම උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවීමට අධිකරණ නියෝග නිකුත් වී ඇත.

ඒ අනුව එළිවන යාමයේ හොඳ හොඳ සෙල්ලම් ඒ උපකරණ තුළින් එළියට එනු ඇත. පරීක්ෂණ කණ්ඩායම් තවදුරටත් මේ තැනැත්තා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන්නේ තවත් සුවිශේෂී සිද්ධියක් අතරතුරදීම වීම විශේෂ කරුණකි. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම තැනැත්තා සම්බන්ධයෙන් කරුණු විමසමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට කළ දැනුම් දීමට අනුව එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යයට දන්වා තිබුණේ මෙම තැනැත්තා 2000 වර්ෂයේ සිට මානසික රෝගයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගන්නා ලද තැනැත්තකු බවයි.

කෙසේ වෙතත් මෙම ඉන්දීය ජාතිකයා ඉකුත් වසරේ මෙරටට පැමිණීමෙන් පසු තමාට සරණාගතභාවය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබූ බවත් එය තමාට නොලැබුණු රහස් පොලිසියට දන්වා තිබිණි.

කරුණු කාරණා එසේ පෙළගැසෙද්දී මෙම ඉන්දීය ජාතිකයා වරෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් ගොස් ඇති බවත් එහිදී එතැන සිටි ආරක්ෂක නිලධාරීන් ඔහු හිටපු ජනාධිපතිවරයා ආසන්නයට යෑම වළක්වා ආපසු පිටත් කර ඇති බවත් මොහු ප්‍රකාශ කර තිබූ බව රහස් පොලිසියේ නිලධාරියකු සඳහන් කෙළේය.

එසේම තමන් එහි ගොස් ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට ජීවිත තර්ජන ඇති බවට පැවැසීමට යැයිද මොහු සඳහන් කර ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් තෝමස් කිසිදු අවස්ථාවක වගකිවයුතු ආයතනයක් වෙත ගොස් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී නොතිබිණි. එසේම තවත් ප්‍රබල මැති ඇමැතිවරු කිහිප දෙනකුද මුණ ගැසීමට ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයිද රහස් පොලිසිය වරෙක සඳහන් කෙළේය. එහෙත් මේ තැනැත්තා එසේ ක්‍රියා කර ඇත්තේ මන්දැයි යන්න සම්බන්ධයෙන් තවමත් ඇත්තේ විස¼දාගත නොහැකි ගැටලුවකි.

අදාළ දේශපාලනඥයන් මෙන්ම නාමල් කුමාර සම්බන්ධයෙන් වුවද වුවමනාවක්, කැක්කුමක් ඇති අය මේ රටේ නොමැතිද? ඒ සඳහා ඉන්දියානුවෙක්ම පෙනී සිටිය යුතුද?

එසේ වී නම් ඔහුට ඇති කැක්කුම කුමක්ද?

රැකියාවක් හෝ වෙනයම් කුමන ප්‍රතිලාභයක් හෝ නොමැතිව මෙරට රැඳී සිටින මෙවැනි ඉන්දීය ජාතිකයකුට අපේ රටේ ප්‍රශ්න හමුවේ උණුවීමක් ඇති වීම ප්‍රශ්නගත කරුණක් නොවන්නේද? එම ගැටලු එසේ තිබියදී ඉන්දියාව කියන්නේ ඔහුට පිස්සු කියාය.

උභතෝකෝටික ප්‍රශ්න ගැටලු මැදින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු රඳවා තබා ගැනීම සිදු කරයි. කෙසේ වුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ තැනැත්තාව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි කොළඹ ජාතික රෝහලේ සායන තුනකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත්විණි. ඒ අනුව මොහුට කිසියම් හෝ මානසික ගැටලුවක් හෝ රෝගයක් ඇත්දැයි යන්න පරීක්ෂා කිරීම සඳහා මානසික රෝග විශේෂඥවරයකු හමුවට ඉදිරිපත් කිරීමට සායනයක් වෙත යොමු කිරීම ඉදිරියේදී සිදුවනු ඇති. පළමුව සිදු කළ යුත්තේද එයයි. එසේම මේ වන විට ඔහුගේ දකුණු අතේ අස්ථි බිඳීමක් සිදුව ඇති බැවින් විකලාංග සායනයක් වෙතද අධික රුධිර පීඩනය සඳහා කායික රෝග සායනය වෙතද ඉදිරිපත් කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. දැන් මොහුට අධික රුධිර පීඩනයද වැලඳී ඇත.

අපේ රටේ ප්‍රශ්න හමුවේ මෙවන් අයට හිත උණුවෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂා නොකළහොත් අධික රුධිර පීඩනය ඇති වන්නේ අපේ රටේ ජනතාවටය. මෙම පුද්ගලයා අධිකරණයේ නිරීක්ෂණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය විත්ති කූඩුවේ සිටි ඔහු සමඟ ඉංග්‍රීසි භාෂාවෙශ්‍රී කතා කළාය. ‘තමාට වෙනයම් ප්‍රතිකාරයක් අවශ්‍ය දැයි අධිකරණය විමසූ අවස්ථාවේදී ඔහු සඳහන් කළේ වෙන කිසිවක් අවශ්‍ය නොවන බවයි. එසේම තමා පොලිසිය තුළ රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බව මහෙස්ත්‍රාත්වරිය ඔහුට පැවැසූ අතර ඔහු විසින් දෑත් එක්කර වැඳ වැටෙමින් එය පිළිගැනීමක් දක්නට ලැබිණි.

අධිකරණයට රැගෙන එන මොහොතේදීත් ඉන් පිටව යන කාලය අතරතුරේදීත් රහස් පොලිස් භාරයේ සිටි මොහු පිස්සකු නොඑසේ නම් කිසියම් මානසික රෝගයකින් පෙළෙන්නකු ලෙසින් දිස්නොවීම විමතියට කරුණකි. බැලූ බැල්මටම එසේ නොවන්නටද පුළුවන. එය තීරණය කළ යුතු වන්නේ විශේෂඥ වෛද්‍යවරයකුමය. එහෙත් එවැන්නකුට ටියුෂන් පන්ති ගුරුවරයකු ලෙස ජීවත් විය හැකිද?

එසේම මොහුට ඉන්දීය ආර්.එස්.එස්.
සංවිධානයෙන් ජීවිත තර්ජන එල්ල වනවා යැයි මොහු පවසන්නේ ඇයි?

කිසිදු කාරණාවක් නොමැතිව කුමන හෝ සංවිධානයකින් ජීවිත තර්ජන වැනි දේවල්’ එල්ල විය හැකිද? ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් මෙරට රැඳී වැරැදි සිදු කරමින් සිටි මොහු සැබැවින්ම කවුරු විය හැකිද? ඒ සියල්ල විස¼දාගත හැකි වන්නේ ඔහු භාවිත කළ ජංගම දුරකථනය සහ අනෙක් උපාංගවල දත්ත සහ තොරතුරු රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලැබුණු පසුවය. එසේම මොහු මානසික රෝගියකුද නොඑසේ නම් කුමන රෝගයකින් පෙළෙන්නේද යන්න සම්බන්ධයෙන් වාර්තා ලද පසු මොහු සැබෑවටම කවරෙක්දැයි හඳුනා ගත හැකි වෙයි.

එතෙක් ‘පිස්සකු’ නොවූ ‘පිස්සෙක්’ යැයි කියන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන ‘මාර්සියෙල් තෝමස්’ ගැන අවදියෙන් ඉන්නට අපට සිදුවෙයි.

දනුජය අමරකෝන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress