“මෛත්‍රී රනිල් ට රටේම ඡන්ද කල් දාන්න ඕනි වෙලා.  විපක්ෂ නායක සම්බන්ධන්- සුමන්දිරන්ට උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය ඕනි නැති වෙලා. “
Posted on October 17th, 2018

අගමැතිවරයා ප්‍ර‍මුඛ සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ කාලය ඔක්. 28 න් පසුව එක් දිනක් හෝ දීර්ඝ කළ නොහැකියි – කීර්ති තෙන්නකෝන්

පළාත් සභා සීමා නිර්ණය සමාලෝචනය සදහා පත් කර ඇති අගමැතිවරයා ප්‍ර‍මුඛ කමිටුවට ඔක්තෝබර් මස 28 න් පසුව එක් දිනකට හෝ කාලය දීර්ඝ කිරීමක් ලබා දීමට කථානායකවරයාට හෝ පාර්ලිමේන්තුවට හෝ නොහැකි බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට අනුව නම්, අගමැතිවරයාගේ කමිටුව සිය වාර්තාව මේ මස 28 වන දිනට අවසන් කළ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.  මේ දක්වා කමිටුව රැස්වෙලා තියෙන්නේ රැස්වීම් දෙකකට පමණයි.  ඉදිරි දින 10 ට තවම රැස්වීමකට දින නියම කර හෝ නෑ.  ඇත්තටම අගමැතිවරයාගේ කමිටුවට ඉදිරිපත් කරන්න විශේෂ වාර්තාවක් නෑ.  මේ කමිටුව පත් කරන්නට සිදු වුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සියල්ලට පළාත් සභා ඡන්දයට බය නිසයි.  ඡන්දය තියන්න බය ආණ්ඩුවකුත්, එයට මුක්කු ගහන නාමික විපක්ෂයකුත් නිසා අද ලංකාවේ සර්වජන ඡන්ද අයිතිය විනාශ මුඛකයට යමින් තියෙනවා යැයි ද තෙන්නකෝන් මහතා පැවසුවේ අද මරදාන සී.එස්.ආර්. හි පැවති මැතිවරණ නිරීක්ෂකයින්ගේ ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාව අමතමිනි.   

අගමැතිතුමාගේ කමිටුවට දෙන්නට වෙන්නේ ‘හිස් වාර්තාවක්‘. සීමා නිර්ණය ගැන අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙකුට ඒක තේරෙනවා.  අගමැතිවරයාගේ කමිටු වාර්තාව අරගෙන ජනාධිපතිවරයාට එය ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කරන්නට අනිවාර්යෙන්ම සිදුවෙනවා.

පලාත් සභා පනතේ අනිවාර්ය සංශෝධන ගණනාවක් සකස් කිරීමේ වගකීම පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යවරයාට තියෙනවා.  ඔහුගේ සංශෝධන අඩුම ගානේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගත්තාද කියලා වත් අපි තවම දන්නේ නෑ.  ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා හරි දක්ෂයි ඡන්ද පනත් සශෝධන රබර් වගේ අදින්න.  ආණ්ඩුවේ ඊලග උත්සාහය පනත සංශෝධනයට කාලය අවශ්‍යයි කියලා පළාත් සභා තියන්නේ නැතිව ඉන්න එකයි.

අගමැති කමිටුව සමාලෝචන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතිනම්, මැතිවරණ කොමිසමත්, මැතිවරණ නිරීක්ෂකයින් ලෙස අපටත් ඉතිරිව ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ගය ගැනීම පමණයි.  ප්‍රියසාද් ඩෙප්,   හිටපු ගරු අගවිසුරුතුමා, පළාත් පාලන ඡන්දය ප්‍ර‍මාදය ගැන ලබාදුන්  SC/FR 35/ 2016  නඩු තීන්දුවට විශිෂ්ඨයි. ඒ නඩුව අහපු විනිසුරුවන්ගෙන් නලීන් පෙරේරා මැතිතුමා අද අගවිනිසුරු ධූරයට පත්වී තිබෙනවා. 

ලබන 28 වන දාට ලංකාවේ පළාත් සභා 9 න් 6 ක් මහජන නියෝජිතයින් නොමැතිව පාලනය වෙනවා.  නිලධාරි පාලනය ඒකාධිපති පාලනයක් හා සමානයි.  නිලධාරීන් පමණක් රටක් පාලනය කරනවා නම් එය මානුෂිකත්වය නැති, ඒකාධිපති රටක් බවට පත් වෙනවා. 

පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව එළිපිට කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවත්, මැතිවරණ නිරීක්ෂකයිනුත්, ප්‍ර‍ධාන දේශපාලන පක්ෂවලින් බැසිල් රාජපක්ෂ මහතා සහ එකම පළාත් සභා මැතිවරණයකටවත් මුහුණ දී නැති එක්සත් ජාතික පෙරමුණේ  මෛත්‍රී ගුණරත්න මහතාත් පමණයි. 

ද්‍ර‍විඩ ජාතික සන්ධානයේ නායකතුමා විපක්ෂ නායක සම්බන්ධන් මහත්තයයි අගමැතිතුමාගේ නීති උපදේශක සුමන්දිරන් මන්ත්‍රීතුමායි  හිතාගෙන ඉන්නවා ඡන්දයක් තිබ්බාම එයාලා කෙටුම්පත් කරපු, අපි කවුරුත් තවම දැකලාවත් නැති ‘ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව‘ ගේන්න බැරිවෙයි කියලා. 

උතුරු පළාත් සභා ඡන්දය තියන්න දකුණේ බොහෝ ප්‍ර‍ගතිශීලි ජනතාව එදා  මහින්ද රාජපක්ෂ රජයට බලපෑම් කළා.   දැන් ඔබලාගේ ජනතාව නියෝජනය කරන නැගෙනහිර පළාත් සභාවට මහජන නියෝජිතයින් නැතිව වසරක් ගතවෙලා.  ඔබලා වචනයකින් හෝ විරෝධයක් දක්වන්නේ නෑ.  පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට සහාය දෙනවා.  එළියේ දී, පළාත් සභා ඡන්දය කල් දාන්න නීති උපදෙස් දෙනවා.  තව සතියකින් උතුරු පළාත් සභාවේ කාලයත් අවසන් වෙනවා.  පළාත් සභා ඡන්දය තියන්න එපා කියලා තානාපති කාර්යාල ගානේ, ජාත්‍යන්තර ප්‍ර‍ජාව පස්සේ යන්න එපා!   

රටටම වග කියන විපක්ෂ නායකවරයෙක් නම්, රටට වග කියන විපක්ෂයක් නම් උතුරු නැගෙනහිර පළාත් සභා පවත්වන්නට රජයට බල කළ යුතුයි.  රටේම ඡන්ද කල්දානවාට විරුද්ධ විය යුතුයි.  ද්‍ර‍විඩ සන්ධානයත් සම්බන්ධන් විපක්ෂ නායකවරයාත් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කරන්න ආණ්ඩුව සමග එකතුවීම ලැජ්ජාවට කාරණයක් යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2018 ඔක්. 17

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress