ජනපති ඝාතන කුමන්ත්‍රණය යට ගහන්න ඇතුළෙන්ම කුමන්ත්‍රණයක්
Posted on October 19th, 2018

නිරන්ජලා ආරියවංශ,ක්‍රිස්ටීන් ඇන්තනි උපුටාගැණීම  මව්බිම

ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි නැඟෙන චෝදනාව යටපත් කිරීමට, රට තුළ දේශපාලනික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව…ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.

එය දේශපාලනික අවශ්‍යතා මත යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කළ යුතු බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව නිසි ලෙස පරීක්ෂණ පවත්වන බවත් ඔහු සඳහන් කළේය.

නීතිඥ ලක්තිලක සමඟ නීතිඥ සරත් කෝන්ගහගේ කොළඹ නිපොන් හෝටලයේදී මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි. රජයේ ඉහළ පොලිස් නිලධාරියකු සිදු කළ බවට නැඟෙන මෙම චෝදනාවේ ‘ඝාතන කුමන්ත්‍රණයක සෙවණැලි ඇත’ යනුවෙන් නීතිඥ කෝන්ගහගේ එහිදී අවධාරණය කළේය. මෙම කුමන්ත්‍රණ චෝදනාවත් සමඟම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තරකොට ඇති බවත් ඒ පිළිබඳව අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.

ඉන්දීය රෝ ඔත්තු සේවය තමන් ඝාතනය කිරීමට සූදානම් වන බවට ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ නොකළ බව එහිදී වැඩිදුරටත් පැවැසූ ලක්තිලක ‘ගෙදර ගිනි පිටට නොදිය යුතු’ යැයි අවධාරණය කළේය.

‘ගෙදර ගිනි පිටට නොදිය යුතුයි’ යනුවෙන් අදහස් කරන්නේ එදින කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා රෝ ඔත්තු සේවය පිළිබඳව ප්‍රකාශ කළත් කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම මත ඒ බව ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශ කිරීම වරදක් යැයි ඔහු අදහස් කරන නිසාද යන්න එහිදී මාධ්‍ය විමසීය.

‘ඒක තමයි ප්‍රශ්නෙ. කැබිනට් සාමාජිකයන්ට වගකීමක් තියෙනවා. ඔවුන් එදින ජනාධිපතිවරයා ප්‍රකාශ කළ දේ විකෘති කරලයි ඉන්දීය මාධ්‍යවලට දීලා තියෙන්නේ’ යැයි ලක්තිලක මහතා පැවැසීය.

‘මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නෙ කවුද කියලා අපි දන්නෙ නැහැ. නමුත් මේක රටේ රාජ්‍ය නායකයාගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් මේ චෝදනාව අවතක්සේරු කරලා යටපත් කරන්න දෙන්න බැහැ. මේකට සම්බන්ධ බවට චෝදනා ඇති ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියාගේ වැඩ තහනම් කරන්න නීතිය හා සාමය පිළිබඳව ඇමැති පොලිස් කොමිසමට නිර්දේශ කරනවා. මේක විහිළුවක් නම් විෂය භාර ඇමැති එහෙම නිර්දේශ කරන්නෙ නැහැ. ඊළඟට රජයේ රස පරීක්ෂක පොලිස් ප්‍රධානියාගෙ කටහඬ තහවුරු කරනවා. තුන්වැනුව ඉන්දීය ජාතිකයෙක් මේ චෝදනාවට සම්බන්ධ බවට අත්අඩංගුවට ගන්නවා.

මේ නිසා මෙම කුමන්ත්‍රණය ගැන හෙළිදරව් කළ නාමල් කුමාර දුන් තොරතුරුවල විශ්වසනීයත්වය මූලික වශයෙන් පොලිසිය විමර්ශනය කරලා අධිකරණය තහවුරු කළ යුතුයි’ යැයි ලක්තිලක මහතා අවධාරණය කළේය.

බල දේශපාලනය සහ දේශපාලන ඝාතන අතර සම්බන්ධයක් ඇති බැවින් බලය හුවමාරු කර ගැනීම සඳහා ත්‍රස්තවාදය භාවිත කළ හැකි යැයි කිසිවෙක් සිතනවා නම් එය පරාජය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

එහිදී කරුණු පැහැදිලි කළ නීතිඥ කෝන්ගහගේ මහතා අවධාරණය කළේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිටුපස පාතාලය හෝ වෙන යම් පෞද්ගලික හෝ ව්‍යාපාරික වුවමනාවක් හෝ සම්බන්ධව ඇතිද යන්න පුළුල්ව විමර්ශනය කළ යුතු බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress