”ගජා” සුළි කුණාටුව හේතුවෙන් සිදුවිය හැකි හානි
Posted on November 15th, 2018
දිනසේන රතුගමගේ
”ගජා” සුළි කුණාටුව හේතුවෙන් සිදුවිය හැකි හානි අවම කිරීම සදහා ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවත් යම් හෙයකින් ජනතාව විපතට පත් වුවහොත් ඔවුන්ට ඉතා කඩිනමින් සහන සලසා දීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවත් උතුරේ දිසාපතිවරු සදහන් කරයි.
යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේ යාපනයේ ධීවරයින්ව මුහුදු යාමට නොදී නාවික හමුදාව හා ධීවර නිලධාරීන් ඔවුන් පිළිබදව දැඩි විමසිල්ලෙන් සිටින බවයි.
යාපනයේ කන්කසන්තුරේ පේදුරුතුඩුව යන පළාත් කෙරෙහි දැඩි අවධානයක් යොමු කොට ඇති බව කී දිසාපතිවරයා මන්නාරම හා වවුනියාව යන පළාත් වල දිසාපතිවරු සමග මේ කටයුත්තේදී ඉතා දැඩි සබදතාවයකින් සිටින බවද කියා සිටියේය.
එම පළාත්වල දිසාපතිවරුන්ගෙන් හා නිලධාරීන්ගෙන් යම් හෙයකින් උදව් අවශ්‍ය වුවහොත් උදව් ලබා ගැනීම සදහා සාකච්ඡා කොට ඇති බව කී යාපනය දිසාපතිවරයා යුද හමුදාව ඇතුළු සියළු ආරක්ෂක නිලධාරීන් සමගද උදාවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට අවශ්‍ය පියවර සාකච්ඡා කොට ඇති බව කියා සිටියේය.
මේ අතර වවුනියාව දිසාපති මොහොමඩ් හනීෆා මහතා කියා සිටියේ මෙම ”ගජා” සුළි කුණාටුව පයකට කිලෝ මීටර් 660 ක් පමණ වේගයෙන් හමායන බවට විශ්වාස කෙරෙන නිසා ඉන් යාපනයට පමණක් නොව උතුරේ බොහෝ පළාත් වලට හානි සිදුවිය හැකි බවයි.
මේ තත්ත්වය නිසා පළාතේ ආරක්ෂක නිලධාරීන් හා ආපදා කලමනාකරණ නිලධාරීන් දැණුවත් කොට ඇති බව කී වවුනියාව දිසාපතිවරයා සිදුවන සිදුවීම් වලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි අන්දමට අවශ්‍ය සම්පත් කලමනාකරණය කොට ඇතැයි කියා සිටියේය.