රටට හොඳ නැති පනත් සම්මත කරගන්න ආණ්ඩුවෙන් යටිකූට්ටු වැඩක්
Posted on January 12th, 2019

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම  මව්බිම

පාර්ලිමේන්තුව තුළ කලහකාරි ලෙස හැසිරුණු බවට චෝදනා ගොනුකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකුට පාර්ලිමේන්තුව මාසයක කාලයකට තහනම් කර අය _ වැය සහ රට අහිතකර අණපනත් කිහිපයක් සම්මත කරගැනීමේ සැලසුමක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයෝ කීපදෙනෙක්ම ‘ඉරිදා මව්බිම’ට පැවැසූහ.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිවලදී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 21 දෙනකු සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙතුන් දෙනකුගේ පමණක් පාර්ලිමේන්තුවට පැමිණීම මාසයක කාලයකට තහනම් කිරීමේ සූදානමක් පවතින බවත් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් ලබන සතියේදී කථානායක කරු ජයසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ‘ඉරිදා මව්බිම’ට පැවැසීය.

මැතිසබය තුළ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා නම් මුලින්ම පරීක්ෂණ පැවැත්විය යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය මහත්වරුන් සම්බන්ධයෙන් බව රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව තුළ කලහකාරි තත්ත්වයක් ඇතිවීම සඳහා ප්‍රථමයෙන්ම වගකිවයුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් බවද මැතිසබය තුළට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු පිහි රැගෙන ඒම සම්බන්ධයෙන් කථානායක ජයසූරිය මහතා නිසි ක්‍රියාමාර්ග නොගත් බවත් ඒ ගැන දැනටමත් කථානායකවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (රහස් පොලිසියට) පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ ඇති වූ කලහකාරි සිද්ධි සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තා 2ක් ලබන සතියේදී කථානායක වෙත භාරදීමට නියමිතය.

එක් වාර්තාවක් සකස් කර තිබෙන්නේ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් වන අතර අනෙක් වාර්තාව සකස් කර තිබෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (රහස් පොලිසිය) මඟිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 21 දෙනකුට පාර්ලිමේන්තුවේ රැස්වීම්වලට සහභාගි වීම මසකට තහනම් කිරීමට තීරණයක් ගතහොත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත විරෝධතාවක් ගෙන යෑමට තීරණයක් ගෙන තිබෙන බවද රංජිත් සොයිසා මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවැසීය.

One Response to “රටට හොඳ නැති පනත් සම්මත කරගන්න ආණ්ඩුවෙන් යටිකූට්ටු වැඩක්”

  1. Randeniyage Says:

    UNP will try satisfying India to win coming elections. However, to change constitution they need 2/3 majority including those absent and then win a referendum. They cannot do that harm.
    Opposition, unless joined by TNA, JVP, cannot make any impact with or without this 21 unruly MPs.

    Those who brought disgrace to the country shall be punished (including UNPeers who used knife ).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress