සුමන්තිරන් ලියලා දුන්න වාර්තාව රනිල් කියවලාවත් නෑ
Posted on January 15th, 2019

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

බුදු දහමට ප්‍රමුඛතාව දෙමින් ඒකීයභාවය ආරක්ෂා කරන්න කැමැති නම් එම වගන්ති වෙනස් කරමින් යෝජනා ඉදිරිපත් කොට තිබෙන්නේ ඇයි දැයි අගමැතිතුමා ප්‍රකාශ කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කෙළේය.

ඔහු එම අදහස් පළ කළේ ඊයේ (14දා) ජාතික හෙළ උරුමය පිටකෝට්ටේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. එහිදී ගම්මන්පිල මහතා මෙසේද පැවැසීය.

පසුගිය 12 වැනිදා යාපනයේ පැවැති රැස්වීමකදී ඉලංකෙයි තමිල් අරසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා කිව්වා එ.ජා.ප. ආණ්ඩුවට අමාත්‍ය මණ්ඩල තීරණ ගැනීමට පෙර දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා කොට තීන්දු ගැනීමේ යාන්ත්‍රණයක් සකස් කරල තියෙනවා කියලා. ඒ වගේම එම්.ඒ. සුමන්තිරන් කියනවා උතුරු පළාත් සංවර්ධන විෂය අගමැතිතුමා භාර ගත්තේ අපේ ඉල්ලීමට බවත් උතුර සංවර්ධනය සිදුවෙන්නේ අපගේ අවශ්‍යතා මතයි කියලා. දෙමළ සන්ධානය ආණ්ඩුවේ තීරණ ගැනීමට සම්බන්ධ නම් එම සන්ධානය අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක්.

එක් පැත්තකින් ඇමැති මණ්ඩලයේ තීරණ ගනිමින් අමාත්‍යාංශ මෙහෙයවමින් අනෙක් පැත්තෙන් විපක්ෂයේ වරප්‍රසාද ලබා ගන්න දෙමළ සන්ධානයට කිසිම අයිතියක් නැහැ.

ජාතික තෛපොංගල් උළෙලේදී අගමැතිතුමා ඉරිදා (13දා) කියනවා නව ව්‍යවස්ථාවෙන් පොලිසිය කැඩෙන බවට මාධ්‍ය වාර්තා කිරීම බොරුවක් කියලා. විද්වත් කමිටුවකින් හදපු බව කියමින් අගමැතිතුමා පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කරපු වාර්තාවේම තමයි ඒක තියෙන්නේ. එහි 185 වැනි පිටුවේ ‘ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා ජාතික පොලිසියෙන් සහ ශ්‍රී ලංකා පළාත්බද පොලිසියෙන් සමන්විත වන්නේය’ කියල සඳහන් වෙනවා. ජාතික පොලිසියත් පළාත්බද පොලිසි 9ක් වශයෙන් තමයි පොලිසිය කොටස් 10කට කැඩෙන්නෙ.

එම වාර්තාවේ 259 ඡේදයේ සඳහන් වෙනවා ජාතික පොලිසියට විමර්ශන කළ හැක්කේ වැරැදි 15ක් පමණයි කියලා. සාමාන්‍යයෙන් පොලිසියට වැරැදි 300ක් ගැන විතර විමර්ශන කරන්න පුළුවන්. ඉතිරි විමර්ශන කරන්නේ පළාත් බද පොලිසිය කියලා 284 ඡේදයේ සඳහන් වෙනවා.

අගමැතිතුමා කතා කරන දේවලින් පෙනෙන්නේ එතුමා ඉදිරිපත් කළ වාර්තාව එතුමාවත් කියවා නැති බවක්. සුමන්තිරන් ලියා දෙන වාර්තා කියවන්න ගියොත් ඔබත් අපත් මවුබිමත් අලි අමාරුවක වැටෙනවා. ඒ වගේම සැබෑ අගමැති සුමන්තිරන් බවත් රනිල් වික්‍රමසිංහ කියන්නේ සුමන්තිරන්ගේ ප්‍රකාශකයෙක් පමණක් බවත් ජනතාවට හැඟෙන්න ඉඩ තියෙනවා.

අද ලංකාවට කේරළ ගංජා ගෙන්වන්නේ උතුරු පළාතෙන් බව නොරහසක්. පසුගිය සතියේ පලෙයි පොලිසිය කේරළ ගංජා වැටලීමක් කළාම ඊට දමිල ජාතික සන්ධානය මැදිහත්වීමෙන් එම ජාවාරම පිටුපස ඉන්නේ ඔවුන් කියන එකත් රටටම පැහැදිලි වුණා. මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට උදය ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ව්‍යවස්ථා කෙටුම්පතක් නැහැ. යෝජනා පමණක් ඉදිරිපත් වී ඇති බව අගමැතිතුමා කරන ප්‍රකාශය ගැන කුමක්ද හිතන්නේ?

විද්වත් කමිටු වාර්තාවක් කියලනේ කියන්නේ. මේකේ කොතැනකවත් ඒ ගැන නමක් සඳහන් වෙන්නේ නැහැ. ඇයි හංගන්නේ. මේ වාර්තාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සියල්ල තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටු වූ පාර්ලිමේන්තු යෝජනාවේ 17 වගන්තියේ තියෙනවා මෙහෙයුම් කමිටුව විසින් වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ වාර්තාව තමයි දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ වාර්තාව අනුමත කරලා නීති කෙටුම්පත් ආයතනය වෙත යවලා කෙටුම්පත් කරනවා. ව්‍යවස්ථාවේ ඇති මේකෙ නැති දෙයක් නැහැ.

මේ වාර්තාවට සංශෝධන ඉදිරිපත් කළ හැකිද?

බැහැ. දැන් මීළඟට තියෙන්නේ කෙටුම්පතක් ඉදිරිපත් කිරීම පමණයි. ඒකීය රාජ්‍යය සුරකින්න කැමැති නම් දැනට ව්‍යවස්ථාවේ සඳහන් ඒකීය යන වචනයේ දෙමළ වචනය වන ඔට්ටි්‍රආච්චි වෙනුවට ඔරුමිත්තනාඩු කියලා යොදන්නෙ ඇයි කියලා සුමන්තිරන් මන්ත්‍රිතුමා කිව යුතුයි.

ෆෙඩරල් ව්‍යවස්ථාවකට එකඟ නොවන බව චම්පික රණවක ඇමැතිතුමා කියනවා?

රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැතිකම අරගෙන දෙන්න කටයුතු කළේ චම්පික රණවක ඇමැතිතුමා. රනිල් කියන්නේ ‍ෙදාන් ජුවන් ධර්මපාලගෙ පුනරුත්පත්තියක් කියලා තමයි ඔහුට බලය අරගෙන දුන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතා කියන දෙයට ඔහු විරුද්ධ වෙන්නෙ නැහැ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress