එකිනෙකා මරා ගන්නා කොළඹ දෙමළ පාතාලයේ ඉන්දියානු මෙහෙයුම
Posted on January 19th, 2019

පුබුදු වික්‍රමතිලක උපුටාගැණීම  මව්බිම

සැඟවී සිටි දෙමළ පාතාලය යළි අළු ගසමින් නැඟිටින්නට වූයේ මෑතක සිටය. දෙමළ පාතාලයේ මෙවර ඉලක්කය කාගේත් ඇස් අරවන ප්‍රහාරයක් වූයේය.

වත්තල, හේකිත්ත පාරේදී ඉකුත් ඉරිදා (13දා) චිකාගෝ ක්‍රමයට දෙනෝදාහක් බලා සිටියදීම ප්‍රහාරයක් මෙහෙයවන්නේ කොටි සංවිධානයේ සිටි වෙඩික්කරුවන්ගේ මෙහෙයවීමෙනි
ප්‍රහාරයෙන් සුදු පැහැති වැගන් ආර් රථයේ ආ කුඩු සෙල්විගේ පවුලේ අයකුගෙන් දෙදෙනකු එතැනම මියැදී තිබුණේය. වාහනයේ පසුපස සිටි කුඩු සෙල්විගේ ලේලි හා මුනුපුරන් දෙදෙනා අනූ නවයෙන් දිවි ගලවා ගත්තේය. වෙඩික්කරුවන් කෝණයකට මෙන් රියැදුරු අසුනට, ඉදිරියෙන් හා පැත්තෙන් ප්‍රහාර එල්ල කළ නිසා පසුපස අසුනේ අය දිවි ගලවාගෙන තිබිණි.

වෙඩි ප්‍රහාරයෙන් මරු දකින්නේ චාල්ස් හෙවත් ස්ටීවන් රාජේන්ද්‍රන් (31) හා මදි ඉවන් සුප්පයියා මාදිවානන්ය. දෙදෙනාම කොටහේන, ජින්තුපිටියේ පදිංචිකරුවන්ය. ජීවිතය බේරාගන්නේ ශිරාල් රූත් නමැති කුඩු සෙල්විගේ ලොකු පුතා වූ පලනි ශිරාන්ගේ බිරිය ය. මෝටර් රථයේදී මැරුම් කෑ චාල්ස් විවාහ වී සිටින්නේ කුඩු සෙල්විගේ බාල දුවය. රූත් යනු චාල්ස්ගේ නැඟණිය ය. චාල්ස් සමඟ මැරුම් කෑ මදි චාල්ස්ගේ මිතුරාය.


මේ තිදෙනාම හුණුපිටියේ නිවෙසක පදිංචියට යන්නේ ප්‍රතිවිරුද්ධ කල්ලිය වූ පුකුඩුකන්නාගේ පිලෙන් එල්ල වූ තර්ජනයත් සමඟය. පුකුඩුකන්නාගේ පියා මැරූ චෝදනාව එන්නේ චාල්ස්ට හා ඔහුගේ නැඟණියටය. එහි පලිය ගන්නට පුකුඩුකන්නා අරඅඳින වග මොවුන්ද දැනසිට තිබුණේය. ඒ නිසා නිවෙස මාරු කර සැඟවුණු ජීවිතයක් ගත කර තිබිණි.
පලනි ශිරාන් නමැති සෙල්විගේ වැඩිමල් පුතා සිරබත් කන්නේ මත්කුඩු ජාවාරමටය. ශිරාන් සිරගෙදර සිටත් දුරකථන මඟින් කුඩු ජාවාරම මෙහෙවන්නේ බිරිය හා මස්සිනාගේ සහායෙනි. තම ප්‍රතිවිරුද්ධ කල්ලිවල සාමාජිකයන් මරා දැමීමට හා කුඩු ජාවාරමට මොවුන් සියලු දෙනා සම්බන්ධව සිටියහ.

ඉකුත් වසරේ අගෝස්තු 03දා මෝදර තැපැල් කන්තෝරුව ආසන්නයේදී පුකුඩුකන්නාගේ පියා ඝාතනය කරන්නේය. සෙල්විගේ අනිත් දරු දෙදෙනා වෙත පලනි කැනිස්ටර් හා පලනි ඉමෝෂන් වෙත ඝාතනයේ සැකය එල්ල වූයේය.

ජංගම දුරකථන අංකයක් ඔස්සේ විමර්ශන කරන කොළඹ අපරාධ කොට්ඨාසය වැල්ලම්පිටියේදී මේ දෙදෙනා කොටුකරගන්නේ මෙවැනි අපරාධ වැලක් සම්බන්ධවමය. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වාගේ මෙහෙයවීමෙන් මෙම මෙහෙයුම සිදුකරන්නේය.

සෙල්විගේ බාල පුතා විසින් පුකුඩුකන්නාගේ පියාගේ ඝාතනයේ වෙඩික්කරුව යතුරුපැදියේ දමාගෙන ආ බව හෙළිවූයේය.
ඉකුත් වසරේ ජූලි 08 දා ජම්පටා වීදියේදී වෙඩි තබා ඝාතනය කරන්නට මුල්වන්නේ සෙල්විගේ පුතුන් දෙදෙනාය. එම ඝාතනයේ වෙඩික්කරු යතුරුපැදියේ ගෙන යන්නේ සෙල්විගේ බාල පුතාමය.

ජම්පටා වීදියේ 131 වත්තට පිවිසෙන මංසන්ධියේ ඉකුත් වසරේ ජුනි 24දා පාතාලයේ වෙඩික්කරුවකු පොල් වෙළෙඳසලක් කරගෙන ගිය කරුපයියා නොහොත් ගනේෂ්ට වෙඩි තබන්නේය. ඉලක්කය පුකුඩුකන්නාගේ පාර්ශ්වයෙන්ය. වෙඩික්කරු කෙනඩිය.

කරුපයියාට වෙඩි තුනක් තබන කෙනඩි නිමේෂයකින් පලායන්නේ කුඩු සෙල්විගේ අඩවියේදීම කුඩු සෙල්විගේ සැමියා වූ කරුපයියා මියැදුණු බව සිතාය. කරුපයියාට වෙඩි තුනක් එල්ල වූවත් ජීවත්වන්නට වරම් තිබුණේය. ජම්පටා වීදියේ කුඩු රැජනක් සේ මුදල් බලය, පාතාල බලයෙන් රජකළ කුඩු සෙල්විගේ සැමියා මරා දමන්නට පුකුඩුකන්නා සැලසුම් කරන්නේ කොළඹ මත්ද්‍රව්‍ය ජාලය සියතට ගන්නටය.

පුකුඩුකන්නා ඊට පෙර කුඩු සෙල්විව මරා දමන්නේත් මේ ආකාරයටය. එයට යොදා ගත්තේත් කෙනඩිවමය. 2015 සැප්තැම්බර් 12දා කුඩු සෙල්වි අවසන් ගමන් ගියාය. ජම්පටා වීදියේ කුඩු සෙල්විගේ රාජධානියට එන නාඳුනන වෙඩික්කරු දෙනෝදාහක් බලා සිටියදීම කුඩු සෙල්විගේ පාලනයට තිත තබන්නේය.

පුකුඩුකන්නා යනු මෝදර කිඹුලාඇළ දෙමළ පාතාල නායකයකු වූ කිඹුලාඇළ ගුණාගේ ඥාතියෙකි. කොටි සංවිධානයට ආධාර අනුබල දෙමින් කොළඹ රැකවල් දුන් චෝදනා කිඹුලාඇළ ගුණාට තිබ්බේය. මත්කුඩු රජකු ලෙසද ගුණා ප්‍රසිද්ධ විය.

ඒ අතරේ කුඩු සෙල්විගෙන් පලියක් ගන්නට වෙර දරන තවත් අයකු වූයේ කෙනඩිය. කෙනඩි හෙවත් ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු කොටහේනේ පදිංචිකරුවෙක්ය. තම පියාගේ ඇවෑමෙන් කොළඹ මත්ස්‍ය වෙළෙඳපළට වෙළ¼දාම් සඳහා යන අතරේ කෙනඩි කොටි සංවිධානයට එක්වන්නේ වයස අවුරුදු 13 දීය.

කිලිනොච්චියට මාළු ගේන්නට යන මොහොතක හමුවූ කොටි නායකයකු යටතේ කොටි සංවිධානයට බැඳෙන කෙනඩි දක්ෂ වෙඩික්කරුවකු ලෙස කැපී පෙනුණු නිසා කොටි නායක ප්‍රභාකරන්ට ආරක්ෂාව සැපයූ චාල්ස් ඇන්තනි කොටි බි්‍රගේඩියර්ට එක්වන්නේය. ඒ එලීලෝන් නමින්ය. සටන් බිමේදී යුද හමුදාව අතින් කිහිප විටෙකම තුවාල ලද කෙනඩි කොටි සංවිධානය යුද්ධය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වෙද්දී ආරක්ෂක හමුදා පාලන ප්‍රදේශයට පැමිණෙන්නේය. ඒ 2009 මැයි 14 දාය.

ඊළාම් සටනේ කොටි නායක ප්‍රභාකරන් මරා දමන්නට දින හතරකට කලින් හමුදා පාලන ප්‍රදේශයට කෙනඩි පැමිණෙන්නේය. එහිදී බුද්ධි අංශ මඟින් හඳුනාගත් කෙනඩි පුනරුත්ථාපනයට යොමු කරන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර කෙරුණේය.

බූස්ස බන්ධනාගාරයට යොමුකරන කෙනඩිට පාතාල ලොවේ කෙරුමන්ද හමුවන්නේ එතැනදීය. දකුණේ පාතාලයේ ගෝඩ් ෆාදර් වූ කොස්ගොඩ සුජී හමුවී සබඳකම් පවත්වා ගන්නේ එතැනදීය. පුනරුත්ථාපන කටයුතු අවසන් වූ පසුව යළි තම මව වූ සුබ්‍රමනියන් සෙල්වරාණි සොයාගෙන කොටහේනට එන්නේය. ඒ 2015 දීය. තම මව ඒ වනවිට සිටියේ ගිනිගොඩකය. ඒ කෙනඩිගේ සොහොයුරා වූ මාර්ක්ස් මරා දමන්නට කුඩු සෙල්වි කටයුතු යොදා ඇතැයි එළිවීම නිසාය.

කුඩු සෙල්විට මේ වන විට ඕනෑ තරම් මිල මුදල් යාන වාහන තිබුණේ කුඩු ජාවාරමෙන්ය. සෙල්විගේ වැඩිමහල් පුතා ශිරාන් එයින් වැජඹුණේය. කෙනඩිගේ නැඟණිය රූමත් අයකු වූවාය. දිනක ශිරාන් ඇයගේ

අතින් අල්ලා බලහත්කාරකමක් පාන්නේ තමන්ට ඇති බලය නිසාය. කුඩු සෙල්විගේ රාජධානියේ කිසිවකුත් ඔවුන්ට උඩින් නොගියද තම සොහොයුරියට කළ දේට මාර්ක්ස් විසින් ශිරාන්ට හොඳ හැටි පහරදුන්නේය. ඒ තම නැඟණියට කළ අපහාසයටය. ශිරාන්ට පහරදීමත් සමඟ කුඩු සෙල්වි ලැජ්ජාවට පත්වූවාය. ඒ තම රාජධානියේදීම පුතුට පහරදුන් සිද්ධියටය.
ඒ නිසාම මාර්ක්ස්ව මරා දමන්නට රුපියල් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් පාතාලයට දුන්නාය. ලැජ්ජාවෙන් බේරෙන්නට ශිරාන් කණ්ඩායමක් සමඟ ගොස් මාර්ක්ස් ඇතුළු කෙනඩි පවුලේ හැමෝටම පහර දුන්හ. නැඟණියට හා මවටත් පහර දුන්හ.

රිගන්ව මරා දමන්නට සෙල්වි, සැමියා හා පුතුන් තිදෙනා යොදන්නේ රිගන් තමන්ට කරදරකාරයෙක් වන්නට වූ නිසාය. රිගන් මරා දැමූ පළියත් තමාව කුඩු ජාවාරමට කොටුකළ පළියත් ගන්නට සැලසුම් කළ පුකුඩුකන්නාට කෙනඩි හමුවන්නේ නොසිතූ මොහොතකය.

සෙල්විව මරන කොන්ත්‍රාත්තුව භාරගත් කෙනඩි පුකුඩුකන්නාගෙන් ඉල්ලන්නේ ගිනි අවියක් පමණි. බන්ධනාගාරයේ සිට කන්නා ගෝලයන් මෙහෙයවමින් එවූ පිස්තෝලයෙන් දෙනෝදාහක් මැද කුඩු සෙල්වි සැප්තැම්බර් 12දා ඝාතනය කරන්නේය. එම ඝාතනයෙන් පසුව කෙනඩි දකුණට පනින්නේ කොස්ගොඩ සුජීගේ රැකවල් පතාය. සුජී දකුණේ පාතාල රැල්ලත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දනයට බියෙන් මේ වනවිට ඩුබායිවලට පැනගොස් තිබුණේය. කොස්ගොඩ සුජීට කටුනායක ගුවන්තොටුපොළින් පැන ගන්නට ප්‍රබල දේශපාලනඥයකු සහාය වී තිබුණේය.

ඩුබායි සිට පාතාල ඝාතන හා කුඩු ජාවාරම මෙහෙයවූ සුජීට කෙනඩිගේ ආගමනය මහත් අස්වැසිල්ලක් විය. ඒ තමාගේ සගයන් සියල්ල පාතාල මර්දන කණ්ඩායම් දන්නා නිසා කෙනඩිව සැඟවුණු වෙඩික්කරුවකු කරන්නටය. කෙනඩිව යොදා පොලිසියටත් සොයා ගන්නට බැරි ඝාතන කිහිපයක්ම සුජී ඩුබායි සිට මෙහෙය වන්නේය.

බළපිටිය උසාවිය ළඟදී පියරත්න නමැති පාතාල නායකයා ඇතුළු දෙදෙනකු යතුරුපැදියකින් පැමිණ ඝාතනය කරන්නේ කෙනඩි යොදාගෙනය.
ඒ 2016 පෙබරවාරි 16දාය. ඒ අයුරින් තවත් ඝාතන කිහිපයක්ම කළ සැඟවුණු වෙඩික්කරු වූ කෙනඩි ගැන මුල්වරට තොරතුරු ලැබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකා පාතාල මර්දන ඒකකය වෙතය.

එහි බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය හා පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් යන දෙදෙනා කළ මෙහෙයුමකින් කෙනඩිව අල්ලා ගත්තේ තවත් ඝාතනයකට යමින් සිටියදීය. ගාල්ල හොල්සිම් සිමෙන්ති කර්මාන්ත ශාලාව අසලදී කෙනඩි කොටුවන්නේ පිස්තෝලයක්ද සමඟය.

පාතාල ලෝකයේ ඝාතන සඳහා අබිරහස් වෙඩික්කරුවකු ලෙස කෙනඩි හෙවත් එලීලෝන් නමැති කොටි ත්‍රස්තයකු යොදාගෙන ඇතැයි හෙළිවන්නේ මේ අනුවය.
මින් පසුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර කෙරෙන කෙනඩි යළිත් බන්ධනාගාර ගත වන්නේය. කෙනඩි ඇප මත හිරෙන් නිදහස් වෙද්දීම පුකුඩුුකන්නා යළිත් රැගෙන යන්නේ තමාගේ ගැලවුම්කාරයා කෙනඩි වූ නිසාය.

කෙනඩි ඉන්පසුව කුඩු සෙල්විගේ සැමියාට වෙඩි තබන්නේය. කොළඹදී නගර සභා මන්ත්‍රිවරයකු වෙළෙඳසලටම පැමිණ මරා දමන්නේද කෙනඩිය. මේ අයුරින් කෙනඩි ඝාතන රැල්ලක් ඇරැඹීමත් සමඟ සෙල්විගේ පුත්තුත් ප්‍රතිවිරුද්ධ ප්‍රහාර එල්ල කරන්නට වූයේය.

2018 මාර්තු 19දා ආමර්වීදියේදී උසාවියේ නඩුවකට ගොස් එමින් සිටි ඇන්ටන් රාජ්ට සෙල්විගේ පුත්තු වෙඩි තබන්නේත් මෙම ඝාතන රැල්ල අස්සේය. කුඩු සෙල්විගේ පුත්තුන්ට මේ වනවිට මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කගේ කල්ලියේ සහායද ලැබුණේය. ඒ කුඩු ජාවාරම සඳහා මධුෂ්ට මොවුන්ගේ සහාය අවශ්‍ය වූ නිසාය. මධුෂ්ව ඩුබායිවලට ගෙන්වා ගත් කන්ජිපානි ඉමිටියාස් හරහා මෙම මිතුදම තවත් ගොඩනැඟී තිබුණේය. මුස්ලිම් පාතාල නායකයකු වන පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රහාරයකින් මාලිගාවත්තේදීම මැරැම් කෑ ෆාජිගේ කල්ලියේ සිට ඩුබායි පැනගත් කන්ජිපානි ඉමිටියාස් මුස්ලිම් පාතාලය යළි නඟාසිටුවන්නට එන සැඟවුණු පාතාල නායකයා වූයේය.

මාකඳුරේ මධුෂ්ගේ නියෝගයෙන් අඟුණකොළපැලැස්සට ගොස් මරා දමන කොස් මල්ලිගේ සිරුරෙන් වෙන් කළ බෙල්ල කොළඹට ගෙන ආ පසු අලුත්කඩේ උසාවිය ළඟට ගෙනගොස් දැමීම භාර දුන්නේද කන්ජිපානි ඉමිටියාස්ය. ඉමිටියාස්ගේ කීමට සෙල්විගේ පුතුන් දෙදෙනා එය අලුත්කඩේට රැගෙන එන්නේ ආමර්වීදියේදී ලබාදුන් පසුවය. මේ අයුරින් සිදුවන ඝාතන රැල්ලට විරාමයක් ලැබෙන්නේ කුඩු සෙල්විගේ පුතුන් දෙදෙනා කොටුකර බන්ධනාගාර ගත කිරීමත් සමඟය. පොලිස් විමර්ශන කණ්ඩායම් තමන් පසුපස එළවන බව දැනගත් පුකුඩිකන්නා හා කෙනඩි ඉන්දියාවට පනින්නේ කිඹුලාඇළ ගුණාගේ තමිල්නාඩු තිප්පොළේ සැඟවෙන්නටය. බෝට්ටු මඟින් මොවුන් ඉන්දියාවට පැනගිය බවට සැක කළ හැක්කේ කෙනඩි වන්නියේ උපන් අයකු නිසාය.

කිඹුලාඇළ ගුණේගේ මල්ලී වන සුරේෂ් මේ වන විටත් දෙමළ පාතාලයට යළි නායකත්වය දෙමින් ඉන්දියාවේ සිටියේය. සුරේෂ් යටතේ කෙනඩි හා පුකුඩිකන්නා ඉදිරි ප්‍රහාර සැලසුම් කරමින් සෙල්විගේ පුත්තුගේ කුඩු ජාලය තමන් අතට ගන්නට ඉන්දියාවේ සිට ප්‍රහාර සැලසුම් කරන්නේය.

පුකුඩිකන්නාගේ පියාගේ ඝාතනයේ පළිය ගන්නට වෙඩික්කරුවන් සූදානම් කරන්නේ ඒ අනුවය.
වත්තල, හුනුපිටියේ නිවෙසක් ගෙන නැවතී සිටි පලනි ශිරාන් බිරියත්, සොයුරාත් ඉලක්ක කර ප්‍රහාරය සැලසුම් කළේ ඉන් පසුවය. ප්‍රහාරය සඳහා වාහනයක් හා වෙඩික්කරුවන් සූදානම් කර වත්තල හේකිත්තේදී බිහිසුණු ජවනිකා මවමින් පසුගිය ඉරිදා (13දා) ඉලක්කය ගන්නේ මේ අනුවය.

ඝාතනය සැලවූ වහාම බන්ධනාගාරගතව සිටින සෙල්විගේ පුතුන් හත් දවස යන්නට කලින් පළිය ගන්නා බව හිරගෙදර සිටම දිවුරන්නට විය.

ඝාතනයට පැමිණියේ බුම්මා බව චාල්ස් සමඟ ගොස් දිවි බේරාගත් නැඟණිය වූ රූත් පොලිසියට පැවැසුවේය. නමුදු පොලිස් විමර්ශනවලදී බුම්මා හෙවත් කෙනඩි නමැති එල්.ටී.ටී.ඊ. වෙඩික්කරු ප්‍රහාරය මෙහෙයවූ බවට අනාවරණය වූවත් බුම්මා මෙම ප්‍රහාරයට නොපැමිණි බව සී.සී.ටී.වී. දර්ශනවලින් තහවුරු විය. දක්‍ෂ වෙඩික්කරුවන් ප්‍රහාරයට පැමිණි බවට කැමරා දර්ශනවලින් තහවුරු කෙරිණි.

හමුදාවෙන් පැනගිය වෙඩික්කරුවකු හෝ එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවන් මෙම ප්‍රහාරයට පැමිණෙන්නට ඇතැයි සැක පහළ විය. එල්.ටී.ටි.ඊ.යට සම්බන්ධ බුම්මා හා පුකුඩිකන්නා සිටි නිසා එල්.ටී.ටී.ඊ.යේ සිටි වෙඩික්කරුවන් මෙහි ආවාද යන සැකය පහළවී තිබුණේය. දකුණු ඉන්දියාවේ වැඩිපුරම කොන්ත්‍රාත් ඝාතන සඳහා යොදාගෙන ඇත්තේද එල්.ටී.ටී.ඊ.යේ හිටපු වෙඩික්කරුවන්ය. එවැනි පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් රැගෙන ආවද නැතිනම් කොළඹ පාතාල කල්ලිවල සිටින හමුදා පුහුණුව ලබූ පාතාලයන් ප්‍රහාරයට ගත්තද යන්න ළඟදීම හෙළිකරගත හැකිය.

කොළඹ උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත මෙම විමර්ශන සඳහා දක්‍ෂ විමර්ශන කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත්තේය.
මෙම පාතාල ඝාතන රැල්ල නිමාවන ලකුණුද නැත්තේය. ඒ බන්ධනාගාරයේ සිට සෙල්විගේ පුතුන් තම කණ්ඩායම මෙහෙයවීමත්, ඉන්දියාවේ සිට පුකුඩිකන්නා තම කණ්ඩායම මෙහෙයවීමත් නිසාය.

කෙසේ වුවද දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ සිටින විමර්ශන කණ්ඩායම් පැති ගණනාවක් ඔස්සේ ප්‍රහාරයේ සුලමුල සොයා ගනිමින් සිටින්නේය.
දැන් කළ යුත්තේ ඉදිරියේදී ඉන්දීය රජයේ සහාය ඇතිව හෝ පුකුඩුකන්නා, කෙනඩි වැනි අපරාධකරුවන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකින් කොටුකරලීමය.
මෙම ඝාතන රැල්ල නවත්වන්නට නම් කළ යුත්තේ සෙල්විගේ පුතුන් කොළඹ බන්ධනාගාරවලින් කිසිදු දුරකථන පහසුකමක් නැති අඟුණකොළපැලැස්ස වැනි බන්ධනාගාරවලට යවා හුදකලා කිරීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress