පළාත් සභා කල්දාන්න කුමන්ත්‍රණකාරී සැලසුම් එපා!
Posted on February 5th, 2019

කැෆේ සංවිධානයේ වැඩ බලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන්

පළාත් සභා මැතිවරණය  නොපැවැත්වීමේ සැලසුම් කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාත්මක නොකර වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි  කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ මේ වනවිට පවතින ජාතික දේශපාලන ගැටළුව වෙනුවෙන් පළාත් සභා බිල්ලට නොදිය යුතු  බවයි.

වර්තමානය වනවිට ඇතැම් පාර්ශව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන්  විවිධ මත ඉදිරිපත් කරමින් මැතිවරණය කල් දැමීමේ සූක්ෂ්ම ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බව  හෙතෙම පෙන්වා  දෙයි.  එකම පක්ෂයේ මන්ත්‍රීවරු  සහ ඇමතිවරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පරස්පර මත ඉදරිපත් කරමින් සිටින බවත් ඒවායේ අරමුණ ජනතාව නොමඟ යවා පළාත් සභා මඟහැර ජනාධිපතිවරණයක් පැවැත්වීම බවත් ඒ මහතා පැවසීය. ජනාධිපතිවරණය ප්‍රමුඛත්වයෙහි ලා සැලකීමෙන් ජාතික දේශපාලනය තුළ අර්බුදකාරී තත්වයක් ඇති බව තහවුරු වන බව කී ඒ මහතා පෙන්වා දුන්නේ ජාතික දේශපාලනයේ ඇති පවතින අර්බුදකාරී තත්වයක්  වෙනුවෙන් පළාත් සභා මැතිවරණය බිල්ලට දිය යුතු නැති බවයි.

මේ වනවිට දිවයිනේ පළාත් 6 ක් පළාත් සභාවලින් තොරව කෙලින්ම ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුකාරවරුන් හරහා පාලනය වන බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ වරයා අවධාරණය කරයි.  අවසන් නිල කාලය තුළ මෙම පලාත් සභා 6 සඳහා නියෝජිතයින් 262 දෙනෙක් පත්කර තිබූ අතර  මේ වන විට මාස 15 ක් තිස්සේ මැතිවරණ නොපැවැත්වීමෙන් එම සියලු බලතල ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු යටතට පත්වී ඇති බව   අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙයි.   උතුරු පළාතේ  ම න්ත්‍රීවරු 38ක්,  නැගෙනහිර පළාතේ 37ක්, සබරගමුව පළාතේ 44ක්, උතුරු මැද පළාතේ 33 ක්, වයඹ 52ක්  සහ මධ්‍යම 58ක් ආදී වශයෙන් පසුගිය පළාත් සභාවලට පත්කර තිබුණි.  මේ වනවිට එම සියලු පළාත් සභාවල නිල කාලය අහෝසි වී ඇති  නමුත්  තවදුරටත් මැතිවරණය නොපවත්වා සිටින්නේ කාගේ වූවමනාවට දැයි කැෆේ සංවිධානය ප්‍රශ්න කරයි.

මේ නිසා  මැතිවරණ කල්  දැමීමේ සැලසුම්  අකුළා දමා වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

 

One Response to “පළාත් සභා කල්දාන්න කුමන්ත්‍රණකාරී සැලසුම් එපා!”

  1. Christie Says:

    Get rid of Provincial Councils. Stand up to Indian imperialists.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress