ව්‍යවස්ථා හොරු
Posted on February 11th, 2019

මේඝනාද උපුටාගැණීම  මව්බිම

2018 ඔක්තෝබර් 26 දින ජනාධිපති මෛත්‍රි විසින් අගමැති රනිල් ධුරයෙන් පහකළේ ය. එයින් කැලඹුණු යූඑන්පීය, ජවිපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, එන්ජීඕ, සිවිල් සංවිධාන සියල්ල කැලඹුණේ ය. ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා පාරට බැස්සේ ය.

2018 නොවැම්බර් 9 වැනිදා ජනාධිපති මෛත්‍රි විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. එයින් කැලඹුණු යූඑන්පීය, ජවිපෙ, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, එන්ජීඕ, සිවිල් සංවිධාන සියල්ල ගැසට් එක අවලංගු කරන ලෙස ඉල්ලා ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගියේ ය.

වහාම විදේශ තානාපතිවරුන් හමුවූ රනිල්,

2015දී යූඑන්පීය විසින් පොදු අපේක්ෂකයා කරළියට ගෙනාවේ රටේ අලුත් වෙනසක් ඇති කිරීමට බවත් එහෙත් වසර තුනක් ගිය පසු ලක්ෂ 62ක ජන වරමට පිටුපාමින් ජනපති මෛත්‍රි කටයුතු කරන බවත් තම රජය යහපාලන ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට තුළ සාමය හා සංහිඳියාව ඇතිකළ බවත් රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳීමට ගෙන ඇති එවැනි ක්‍රියාමාර්ග රැසක් සම්පූර්ණ කිරීමට පෙර ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් මඟින් යහපාලන රජය බිඳ දැමීමට ජනපති කටයුතු කර ඇති බවත් කීවේ ය.

පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් එක 19 වැනි ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දු කළේ ය. පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇතැයි කියා රනිල් නැවතත් ආණ්ඩුවක් පිහිටුවූයේ ය. රනිල්ට ආයෙත් කීයටවත් අගමැතිකම දෙන්නේ නැතැයි කී මෛත්‍රිට ඒ තීන්දුව වෙනස් කරන්නට සිදුවුණේ ය.

රනිල් බහුතරය තියෙනවා කියා කෑ ගැසුවේ සුමන්තිරන්ලාගේ කරට අත දාගෙන ය. දැන් උභතෝකෝටිකයකි. එක පැත්තකින් සුමන්තිරන්ලා මස් රාත්තලම ඉල්ලන්නේ ය. අනිත් පැත්තෙන් යූඑන්පී ජේ‍යෂ්ඨයන් ලැබුණු ඇමැතිකම්වලට නෝක්කාඩු කියන්නේ ය. කැබිනට් ඇමැතිකම් නොලැබුණු අය ඉන්නේ කලකිරීමෙන් ය. පසුපෙළ මන්ත්‍රින් ජේ‍යෂ්ඨයන්ගේ කැබිනට් තනතුරුවලට ගේම ම ඉල්ලන්නේ ය. තමන්ගේ ඉල්ලීම් ඉටු නොකළොත් පසුපෙළ මන්ත්‍රින් 20ක් අය-වැයේදී ඡන්දය නොදී සිටින බවට ද අනතුරු අඟවා ඇත. රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන එක පැත්තක තියලා, ආණ්ඩුව දැන් ආණ්ඩුවේ ප්‍රශ්න ටික විසඳගන්න බැරිව දඟලන්නේ ය.

දැන් රනිල්ට ඇත්තේ එක විසඳුමකි. ඒ ජාතික ආණ්ඩුවක් පිහිටුවන එක ය. තනි ආණ්ඩුවක කැබිනට් එක 30කට නොවැඩි විය යුතු ය. ජාතික ආණ්ඩුවකට කැබිනට් ඇමැති ධුර 45ක් තිබිය හැකි ය. රනිල් මේ වෑයම් කරන්නේ කැබිනට් පගාවක් දී බහුතරය පෙන්වා ආණ්ඩුවත් බේරාගෙන, රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාවත් සම්මත කර සුමන්තිරන්ලාට මස් කුට්ටියම පුදන්න ය.

ප්‍රශ්නයක් ය, එහෙම හිතුණු හිතුණු විදියට ජාතික ආණ්ඩු පිහිටුවන්න පුළුවන්ද? කියන්නට දන්නේ නැත. එදා මෛත්‍රිගේ තීන්දුවේ සදාචාරය හොයපු අයට, ජාතික නිදහස් දින දා මෛත්‍රි මෙසේ උත්තරයක් දුන්නේ ය.

“යෝජිත ජාතික ආණ්ඩුවක් පිළිබඳ මා මාධ්‍ය තුළ දැක්කා. එක් මන්ත්‍රිවරයෙක් සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම කොතරම් දුරට සදාචාරාත්මකද කියන කාරණය මෙහිදී විමසිය යුතු වෙනවා. ඇමැතිකම් වැඩි කිරීමේ අරමුණ සහ මන්ත්‍රි-ඇමැතිකම්වලට වැඩි පහසුකම් දීම පමණක් එයින් සිදුවන බවකුයි මා දකින්නේ. මාධ්‍ය තුළ දුටු ආකාරයට නම් යෝජිත ආණ්ඩු අදහසට මා තරයේම විරුද්ධ වන බව මෙහිදී කිව යුතුයි. අද තනි පක්‍ෂයක් ආණ්ඩුවක් කිරීමෙන් ඇමැති මණ්ඩලය තිහකට සීමා වෙනවා නම් එය ජනතාවගේ ප්‍රාර්ථනයක් ලෙසයි මා විශ්වාස කරන්නේ. රටෙන් ඔබට සිදුවිය යුතු වගකීම් සහ යුතුකම් ගැන ප්‍රශ්න කිරීමට පෙර ඔබෙන් රටට සිදුවිය යුතු යුතුකම් ඉටුකිරීමට අදිටන් කර ගත යුතුයි. අපට මොනවද දෙන්නේ. අපට මොනවද ලැබෙන්නේ යන එක බොහෝ අය අහන ප්‍රශ්නයක්. එහෙත් රට වෙනුවෙන් වගකීම් සහ යුතුකම් කිරීම අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගත යුතුයි.”

යූඑන්පීය “ජාතික ආණ්ඩුවක්” පිහිටුවන යෝජනාවක් කථානායකට ඉදිරිපත් කිරීමෙන් බරපතළ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සහ පාර්ලිමේන්තුව නොමඟ යැවීමක් නිර්මාණය වී ඇති බව ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පසුගිය දා ප්‍රකාශ කළේ ය. යෝජනාව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ඉදිරිපත් කළේ සභා නායක කිරිඇල්ල ය. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති ඒ පිළිබඳ විවාදයේදී අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ අතුරු විධානය ගෙනහැර දක්වමින් “ජාතික ආණ්ඩුව යනු මෙම පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් ලබාගත් පක්ෂය සහ දෙවැනුව වැඩිම මන්ත්‍රි ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්ෂ දෙක එකට එකතු වී පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය” යනුවෙන් ව්‍යවස්ථාවට ඇතුළත් කරන බව 2015 අප්‍රේල් 28 වැනි දින නිකුත් වූ හැන්සාඩ් වාර්තාවෙහි දැක්වෙන්නේ ය.

“මහ මැතිවරණයකදී වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් සිටින පක්ෂයයි, දෙවැනුවට වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් සිටින පක්ෂයයි එකට එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී කියලා කිව්වොත් හරිනේ” යැයි ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ පැවැසූ බවද එම හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන්නේ ය.

“ජාතික ආණ්ඩුවක් යනු කවර විදියේ ආණ්ඩුවක්ද කියන අර්ථ නිරූපණයක් ලබා ගන්න නම් ශේ‍ර්ෂ්ඨාධිකරණයට යන්න වේවි. ඒක නිසා එයට පැහැදිලි අර්ථ නිරූපණයක් ඕනෑ.” පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර සඳහන් කර ඇත.

මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රිවරයකු සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවන උත්සාහයට එරෙහිව ජවිපෙ ද විරෝධය පළ කර ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින එකම මන්ත්‍රිවරයා සෙයිඩ් අලි සහීර් මව්ලානා ය. නායක රවුෆ් හකීම් ඇතුළු අනෙක් මන්ත්‍රිවරු යූඑන්පීයෙන් තරග කර පාර්ලිමේන්තුවට ආපු අය ය.

යූඑන්පීය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බවට වූ යෝජනාව 2015 සැප්තැම්බර් 03දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අගමැති රනිල් ය. මෙවර ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ඉදිරිපත් කර ඇති බව සඳහන් න්‍යාය පුස්තකය පෙබරවාරි 1 වැනිදා නිකුත් කර ඇත. එහෙම බැලුවාම අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ සභා නායක ය.

මෛත්‍රි ව්‍යවස්ථාව උල්ලංඝනය කළා යැයි පාරට බැස්ස සිවිල් සංවිධාන ඇතුළු අනෙකුත් කණ්ඩායම්වල කටවල් අද රනිල් ව්‍යවස්ථාව උල්ලංඝනය කරද්දී අගුළු වැටිලා ය. රනිල් අගමැතිකමෙන් ‍ෙදාට්ට දාද්දී ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කෑගැසූ කටවල්වලට අද පළාත් සභා ඡන්දය නොතියා රනිල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරද්දී අගුළු වැටිලා ය.

ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස 10ක් පමණ ය. ඊට පසු මහ මැතිවරණයකට යා යුතු ය. මේ අල්ලපනල්ලේ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමැති ධුර වැඩි කර ගන්නේ ජනතාවට සේවය කරන්න ද? කියන්නට දන්නේ නැත. අවුරුදු 4ක් තිස්සේ කරගන්න බැරි වුණු දේ මාස 10කින් කළ හැකිද කියා කියන්නටද දන්නේ නැත. ජාතික ආණ්ඩුවක් හදලා, අලුත් ඇමැතිවරු දිවුරුම් දීලා, ඇමැති ප්‍රතිපාදන වෙන් කරලා, ලේකම්වරු පත් කරලා, වාහන ගෙන්නලා, හිතවතුන්ට තනතුරු දීලා, අතවැසියන්ට සලකලා, ඉවර වෙන කොට ඊළඟ ඡන්දෙත් කට උඩට ඇවිත් හමාර ය.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress