රිසානා බේරගන්න එදා වෑයම් නොකළ පිරිස් මධුෂ් බේරගන්න අද දඟලනවා
Posted on February 13th, 2019

ජයත් ශ්‍රී බණ්ඩාර උපුටාගැණීම  මව්බිම

‘එදා රිසානා දැරියගේ හිස ගසා දමන අවස්ථාවේ ඇයව බේරාගන්න උත්සාහ නොකළ පිරිස් අද මාකඳුරේ මධුෂ් බේරා ගන්න දැඩි උත්සාහයක නිරත වෙනවා.’ යැයි ජාතික භික්ෂු පෙරමුණ පවසයි. ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව පැවැසුවේ එම පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝය.

උදිත හිමියෝ මෙසේද පැවැසූහ.

පාලකයෝ සෑම විටම බලයට පත්වෙන්නේ සදාචාරය, සංස්කෘතිය, ආගම දහම මේ සියල්ල ආරක්ෂා කරනවා කියලා. එහෙත් රට අද සම්පූර්ණයෙන්ම විකෘති වෙලා තියෙන්නේ. එක පැත්තකින් ගණිකා මඩමක් මේක. අනෙක් පැත්තෙන් සූදු තිප්පොළක්. ඒ වගේම කුඩු කේන්ද්‍රස්ථානයක්. මේ රටම සුරා සැලක් බවට පත් වෙලා තියෙනවා. තවදුරටත් වේදිකාවල පාලකයෝ කියන ධර්මද්වීපය, එහෙමත් නැතිනම් ඉන්දියන් සාගරයේ මුතු ඇටය අද වෙනකොට කුඩු ඇටයක් වෙලා තියෙන්නේ.

ජනාධිපතිතුමාගේ කටින් නිතරම කියැවෙන වචනයක් තමයි මාගේ මාතෘ භූමි කියන වචනය. මේ අයම තමයි මේක පාලනය කරලා මේක ගණිකා මඩමක්, සූදු පිටියක්, කුඩු තිත්පොළක් බවට පත් කළේ. අපේ හැම ආගමකම ශාස්තෘවරුන් දේශනා කරලා තියෙනවා මත්ද්‍රව්‍ය ජාවාරම ආදී සියලු අයහපත් ක්‍රියාවන් අපායගාමී මාර්ගයන් කියලා. හැබැයි ඒ ඔක්කොම දේශනාවන් අහද්දී අද අපේ රට මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් ලංකාවේ හඳුනාගත්ත කුඩු පාවිච්චි කරන්නන් 45,000ක් විතර ඉන්නවලු. දවසට කිලෝ 4 1/2ක් පමණ කුඩු අවශ්‍යයි කියලා වාර්ෂික වාර්තාවල දක්වලා තියෙනවා. එහෙම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ලංකාවට වසරකට කුඩුකිලෝ 1460ක් පමණ අවශ්‍ය වෙනවා. ඔය හඳුනාගත්ත අයට විතරයි. සාමාන්‍යයෙන් ලංකාවේ කුඩු කිලෝවක් රුපියල් ලක්ෂ 60ක් විතර වෙනවා. මාධ්‍යවල පළවන ආකාරයට බිලියන 94ක් විතර යනවා කියලා තියෙනවා වර්ෂයකට කුඩුවලට.

අද හැම ලයිට් කණුවක් මුල්ලෙම කුඩු හංගලා. මුලින්ම ලංකාවට කුඩු ගෙනාවේ විදෙස් රටවල ඉඳලා එන අයයි. එහෙම තමයි ලංකාවට මුලින් කුඩු ආවේ. හැබැයි දැන් ලංකාවට කුඩු එන ප්‍රධාන මාර්ගයක් තමයි නාවික මාර්ගය. ඒ නිසා කන්ටේනර්වල අසුරලා ටොන් ගණනින් ලංකාවට එනවා. 2016 අවුරුද්දේ ලංකාවේ අහුවෙලා තියෙන කුඩු ප්‍රමාණයන් කිලෝ 770ක්.

වාර තුනකදී තමයි මේ ප්‍රමාණය අහුවෙලා තියෙන්නේ. ඒ කියන්නේ සිමෙන්ති කොට්ට 5ක විතර ප්‍රමාණයක්. එහෙම බැලුවම අපිට තේරෙන්නේ ලංකාවේ කුඩු පාවිච්චි කරන අයට ඕනවට වඩා කුඩු ලංකාවට ගේනවා. ඒ නැවත වෙන රටවලට අපනයනය කරන්න බලාගෙන.

මාකඳුරේ මධුෂ්, වෙලේ සුදා වැනි කුඩු ජාවාරම් කාරයෝ අහුවුණාම ලංකාවේ කුඩු හිඟයක් ඇති වෙන්න ඕනි. හැබැයි එහෙම එකක් වෙන්නෙ නෑ. මහ මොළකාරයෝ අල්ලනවා. කුඩු තොග පිටින් රාජ සන්තක කරනවා. හැබැයි ඒත් ඕනි තරම් ගහන්න කුඩු තියෙනවා. ලංකාවේ මොනවා කරත් කුඩු ජාවාරම බාධාවක් නැතිව පවත්වාගෙන යනවා.

මහින්ද චින්තනයෙත් පටන් ගද්දිම තියෙන්නේ මතට තිත. වර්තමාන ජනාධිපතිගෙත් දින සීයේ ප්‍රතිපත්තියේ තියෙනවා මත්ද්‍රව්‍ය සහමුලින්ම තුරන් කරනවා කියලා. මේ හැම පාලකයෙක්ම බලයට එද්දී මේ රටේ ජනතාවගේ ජීවිත බිලි ගන්න සියලු ප්‍රශ්න දඩමීමා කර ගන්නවා. දඩමීමා කරගෙන ඔවුන් බලයට එනවා. බලයට ඇවිල්ලා ඔවුන් ඔවුන්ගේ අනුග්‍රහය ලබා දීලා ඉතා හොඳින් ඒ ජාවාරම් සියල්ල පවත්වාගෙන යනවා.

අද හමුදාපති ප්‍රකාශ කරනවා මාකඳුරේ මධුෂ් ලංකාවට ගේන්නේ නැතිව ඒ ඉන්න රටේම දඬුවම් දෙන එක වඩා හොඳයි කියලා. ලංකාවේ නීතියේ අවිනිශ්චිත භාවය තමයි ඒකෙන් අපිට තේරෙන්නේ. මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙනැල්ලා නීතියේ හිල්වලින් බේරා ගන්න දේශපාලනඥයෝ උත්සාහ කරනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress