මත් කුඩු පානය කරන ඇමතිවරුන් වහාම හෙළිදරව් කොට නීතිය ක්‍රියාත්මක කරන්න…
Posted on February 17th, 2019

මාධ්‍ය නිවේදනය යුක්තියට හඩක් කොළබ 5

කුඩු පානය කරන කැබිනට් ඇමතිවරුන් සිටින බවට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කලේය. ආණ්ඩුවේ වගකිව යුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස රන්ජන් රාමනායක මහතා සිදු කල ප්‍රකාශය හුදු හාස්‍යයක් ලෙස බැහැර කල නොහැක. ඵතුමා රංගන ශිල්පියකු ලෙස හාස්‍යය සපයන්නකු වූවත් වගකිව යුතු දේශපාලනඥයකු හා වත්මන් ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස සිදු කල ප්‍රකාශය හාස්‍යයක් හෝ ප්‍රලායක් නොවන බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

වර්තමානය වන විට කුඩු පානය කරන්නන්ට වඩා මහා පරිමාණයෙන් මත් කුඩු ව්‍යාපාරයේ යෙදෙන්නන්, බෙදා හරින්නන් ඇතුලු ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුවෙමින් සිටී. රටත්, සමාජයත්, අනාගත පරපුරත් වනසන මත් රකුසා පසු පස දේශපාලනඥයන් ඇතුලු උසස් සමාජ තල වල ඇතැම් පුද්ගලයන් සිටින බවට සමාජ මතයක් ගොඩ නැගී ඇත. ඵවැනි පසුබිමක් තුල ආණ්ඩුවේ වගකිවයුතු නියෝජ්‍ය ඇමතිවරයකු සිදු කල ප්‍රකාශය බැහැර කල නොහැක. රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් මෙන්ම ප්‍රතිපත්ති හා නීති සම්පාදකයන් වන කැබිනට් ඇමතිවරුන් මත් කුඩු පානය කිරීම සත්‍යයක් නම් එය රටටත්, අනාගත පරපුටත් දැවැන්ත ව්‍යවසනයක් බව අපේ පිළිගැනීමයි. ජනාධිපති, අගමැති ඇතුලු තිස් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ මත් කුඩු පානය කරන ඇමතිවරුන් නාමිකව කවුරුන්ද යන්න හෙලිකිරීම රන්ජන් රාමනායක මහතාගේ පරම යුතුකමකි, වගකීමකි. ඔහු එය ඉතා ඉක්මනින් ඉටු කරනු ඇතැයි අප බලා සිටින්නෙමු.

අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි  මත් කුඩු භාවිතා නොකරනවා යැයි අපි විශ්වාස කරන වත්මන් ආණුඩවේ වගකිව යුතු ඇමතිවරුනි, ඔබතුමන්ලාට ඔබ තුමන්ලාගේම නියෝජ්‍ය ඇමතිවරයකු එල්ල කරන බරපතල චෝදනාව පිළිබඳ වහාම ක්‍රියාත්මක විය යුතුය. කුඩු බොන ඇමතිවරු කවුදැයි නිවැරදිව නිශ්චය කොට විනය ක්‍රියාමාර්ග මෙන්ම නීතිමය පියවර ගනු ඇතැයි රටම බලා සිටී. ඵය රට වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් ඉටු කල යුතු පරම යුතුකමකි, වගකීමකි. කුඩු පානය කරන්නන් මත් කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කර ගැනීමට නිරන්තරයෙන් මැදිහත්වනු නොවනුමානය. වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් කුඩු පානය කරන්නේ නම් ඔවුන් මත් කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂා කොට රැක බලා ගන්නා බවට කිසිසේත්ම බැහැර කල නොහැක. දරුවන් මතට බිලිවීම වලක්වා ගැනීම දෙමව්පියන්ගේ මෙන්ම විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ, විශ්ව විද්‍යල බලධාරීන්ගේ වගකීමක් ලෙස සමාජ ගතව ඇත. ඵහෙත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක හෙළිදරව්වත් සමඟ කුඩු පානය කරන තම කැබිනට් සගයන්ගෙන් අනාගත පරපුර බේරා ගැනීමේ වගකීම ගරු අධ්‍යපන ඇමතිතුමාටත්, උසස් අධ්‍යපන ඇමතිතුමාටත් පැවරේ. අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, ගරු කථානායකතුමනි කුඩු පානය කරන මන්ත්‍රීවරු, ඇමතිවරු, රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරන පරිදි සිටී නම් ඔවුන් රටට හෙළිදරව් කොට නීතිය ක්‍රියාත්මක කිරීම ඔබතුමන්ලාගේ පරම පවිත්‍ර යුතුකමකි, වගකීමකි. එය ඉටු කරන තෙක් අපි බලා සිටිනවා පමණක් නොව එය ඉටු කරලන්නට අපි අති දැවැන්ත සමාජ බලපෑමද ඇති කරලන්නෙමු.

සභාපති                                                                                                 ලේකම්

       එස්. අමරසේකර                                                                               නීතිඥ ලලිත් පියුම් පෙරේරා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress