සන්ධානගත වීම හෝ නොවීම අපේ වැඩක් – පොහොට්ටුවේ පළාත් පාලන මන්ත්‍රී සන්සදය කියයි.
Posted on February 20th, 2019

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාව

ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ලකුණින් තරග කිරීමට තමන් ගෙන තිබූ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත්, තම පක්ෂය කිසියම් පක්ෂයක් හා සන්ධාන ගත වීම හෝ නොවීම තීරණය කළ යුත්තේ තම පක්ෂය මිස, අන් කිසිවකු නොවන බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන ප්‍රධානිහු පවසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් මේ අදහස් පළ කළේ අද (20) බත්තරමුල්ල නෙළුම් මාවතේ පක්ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සන්සදයේ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරුන් දිගින් දිගටම පොහොට්ටුවේ කටයුතු විවේචනය කිරීම හා එහි නායකයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම වහාම නවතා දැමිය යුතු බවත් ඔවුහූ මෙහිදී අවධාරණය කළහ.

විමල් හා ගම්මන්පිල මන්ත්‍රීවරුන් ඉදිරි මැතිවරණවල දී ජයග්‍රහණය සඳහා තම කොට්ඨාසවලට පැමිණිය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපහාස කරන පුද්ගලයන් හට එහි සාමාජිකයන්ගේ සහයෝගය ලබාගත හැකි ද යන්න එම මන්ත්‍රීවරුන් කල්පනා කර බැලිය යුතු බවත් ඔවුහූ අවධාරණය කළහ.

කවුරු කෙසේ කීවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත නොවී ඉදිරි මැතිවරණ ජයගත නොහැකි බවට ඔවුන් ගොඩනගමින් යන මතය තමන් එකහෙලා බැහර කරන බවත් පළාත් පාලන නියෝජිතයෝ පෙන්වා දුන්හ.

පසුගිය පළාත් පාලන මැති වරණයේ දී, සන්ධාන ගත නොවීම තමන්ට අවාසි බව ඔවුන් දිගින් දිගටම පෙන්වා දුන්නද, මැතිවරණයේ දී ජනතාව දැක් වූ ප්‍රතිචාර අනුව එම මතය ප්‍රතික්ෂේප වී ඇති බවත් ඔවුහූ කීහ. මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය හා ජනතාවගේ විශ්වාසය ඇතිතාක් ඕනෑම මැතිවරණයක් තනිව හෝ තරග කර ජයග්‍රහණය කිරිමට තමන්ට හැකි බවත් කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයෝ වැඩිදුරටත් පෙන්වා දුන්හ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress