ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පන්නා ජාවරම් කාර නුර්ඩීන් ෆයිසල් අහමඩ් මුදල් අමාත්‍යාංශයේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් ලවා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට උත්සාහ කිරීම
Posted on February 24th, 2019

ප්‍රගීත් සම්පත් කරුණාතිලක උපුටාගැණීම  මව්බිම

ඉන් පසු නූර්ඩීන් ෆයිසාල් අහමඩ් කළේ සිය දේශපාලන හිතවතුන් මඟින් කන්ටේනරය අත්අඩංගුවට ගත් නිලධාරීන්ට බලපෑම් කිරීමය. ඔවුන් මෙම ක්‍රියාදාමයෙන් ඉවත් කිරීමට ඔහු නොගත් උත්සාහයක් නැත. එහෙත් මෙම වැටලීම සිදුකළ රේගුවේ මධ්‍ය විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.ඩී. ඥානරාජ්, නියෝජ්‍ය රේගු අධිකාරි සම්පත් රාජගුරු, සහකාර රේගු අධිකාරී අරුණ අමරසිංහ යන නිලධාරීන් මධ්‍ය විමර්ශන කාර්යාංශයෙන් මාරු කරවන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට බලපෑම් කළේය. මේ බලපෑම කළේ මුදල් අමාත්‍යාංශයේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් බවද වාර්තා වෙයි.තමන් යටතේ සිටින දක්ෂ නිලධාරීන් එසේ මාරු කිරීමට නොහැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුම් දීමත් සමඟ ඔවුන් උත්සාහ ගත්තේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට උත්සාහ කිරීමය.

රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි හතරකට වඩා අධික බදු වංචාවක් සිදු කරමින් නීති විරෝධී අයුරින් මෙරටට ගෙන් වූ බීඩි කොළ කන්ටේනරයක් සම්බන්ධයෙන් ‘නුර්ඩීන් ෆයිසල් අහමඩ්’ පසුගියදා අත්අඩංගුවට පත්විය. එසේම මෙම සැකකරු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ ජාවාරමකද නිරත වී ඇති බවට චෝදනා ලැබ සිටී.

නුර්ඩීන් ෆයිසල් අහමඩ් දිගු කලක පටන් නිමි ඇඳුම් ගෙන්වන මුවාවෙන් බීඩි කොළ ගෙන්වා ඇති බවට පර්යේෂණවලින් අනාවරණය වෙමින් පවතී. එහෙත් හදිසියේම ශ්‍රී ලංකා රේගුවේ මධ්‍ය විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ජී.ඩී. ඥානරාජ් මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ඔත්තුවක් ලැබිණි. ඒ 2018 දෙසැම්බර් තුන් වැනිදාය. එම ඔත්තුකරු කියා සිටියේ ඊඒව්-ඩ්49 අංක දරන නැවෙන් බංග්ලාදේශයේ සිට අඩි 40ක කන්ටේනරයක් පැමිණ ඇති බවකි.

එලෙස බංග්ලාදේශයේ සිට පැමිණි නැවෙන් ආ කන්ටේනරයේ නිමි ඇඳුම් ඇති බව කියා නිදහස් කර ගැනීමට උත්සාහ කරන බවකි. එහෙත් එහි ඇත්තේ නිමි ඇඳුම් නොව බීඩි කොළ බවද එම පෞද්ගලික ඔත්තුකරුවා පවසා තිබිණි. බංග්ලාදේශයේ සිට ගෙන එන නිමි ඇඳුම් කන්ටේනරය කොළඹ වරායට ගෙනැවිත් කොළඹ වරායේ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා රැගෙන ගොස් එතැනින් කන්ටේනරයේ ඇති නිමි ඇඳුම් එළියට ගැනීමට සූදානම්ව තිබිණි. එළියට ගත් නිමි ඇඳුම් තොගය නැවත අසුරා ගුවනින් ඉතාලියට යවන බව අදාළ ලියකියවිලිවල සඳහන්ව තිබේ.

නුර්ඩීන් ෆයිසල් අහමඩ් දිගු කලක සිට මේ ක්‍රියාදාමය කර ඇති මෙම ජාවාරම ගැන පෞද්ගලික ඔත්තුකරු නිසා හසු විය. අඩි 40ක කන්ටේනරයේ ඇත්තේ නිමි ඇඳුම් නොව බීඩි කොළ බවත් අදාළ බීඩි කොළවලට බදු නොගෙවා වරායෙන් පිට කර ගැනීමට මේ බොරුව කරන බවට රේගුවේ මධ්‍ය විමර්ශන කාර්යාංශයට වාර්තා විය.

අදාළ ඔත්තුකරුගෙන් ලබාගත් තොරතුරු මත රේගුවේ මධ්‍ය විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ජී.ඩී. ඥානරාජ් මහතා මේ පිළිබඳ විමර්ශන ඇරඹීය. අදාළ තොරතුරු සොයාගෙන යෑමේදී රේගුවේ නිලධාරීන් කිහිප දෙනකුද මෙම වංචාවට උදවු දී ඇති බව වාර්තා විය. බීඩි කොළවලට අදාළ බදු නොගෙවා කන්ටේනරය නිදහස් කර ගැනීමේ ක්‍රියාදාමයට එම රේගුවේ නිලධාරීන් නුර්ඩීන් ෆයිසල් අහමඩ්ට උදවු කර තිබිණි. මේ කාරණා ගැන ඔත්තුකරු විසින්ද ජී.ඩී. ඥානරාජ් මහතාට තොරතුරු ලබා දී තිබිණි.

එම තොරතුරු මත පරීක්‍ෂණ ඇරඹියේ ඉන්පසුවය. ඉතා සූක්ෂ්ම ලෙස පරීක්‍ෂණ කටයුතු ඇරැඹි අතර කිසිවකුටත් අදාළ කන්ටේනරය ගැන වැටලීමක් කිරීමට යන බවට දැන ගැනීමට නොහැකි විය. එසේ වූයේ පෞද්ගලික ඔත්තුකරු කියූ පරිදි රේගුවේ නිලධාරීන් කිහිප දෙනකු ඊට සම්බන්ධ නම් වැටලීම ගැන තොරතුරු එළියට යෑම වළකාලීමටය.

වරායට පැමිණ ඇති අදාළ කන්ටේනරය ගැන ඔත්තුකරු දුන් තොරතුරු දැන සිටියේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් චාල්ස් මහත්මිය සහ මධ්‍ය විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂව සිටි හර්ෂ ජයතිලක පමණි. ඉන්පසු රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය මධ්‍ය විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂවරයාට සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ජී.ඩී. ඥානරාජ් මහතාට දැනුම් දුන්නේ අදාළ කන්ටේනරය එළියට යාම නොනවත්වන ලෙසය.

එලෙස කන්ටේනරය එළියට යන එක නවතා දැමුවොත් කන්ටේනරය හිමි කාටද ගෙන්වන්නේ කවුද සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කියාය. එසේම කන්ටේනරය ගැන සැක සිතුණු බවට ගෙන්වපු අය දැනගතහොත් ඔවුන් කන්ටේනරය අතහැර දැමීමටද ඉඩ තිබිණි. ඒ නිසා මෙම වංචාව පිටුපස සිටින සහ ඊට උදවු කරන රේගුවේ නිලධාරීන් පිළිබඳ සොයා ගැනීමට ඉතා පරිස්සමින් පරීක්‍ෂණ ඇරැඹීය. රේගුව ඇතුළෙන් මෙම ජාවාරමට සහාය දී ඇත්තේ සහකාර රේගු අධිකාරිවරයකු, රේගු පරීක්ෂකවරයකු හා රේගු නියාමකවරයෙකි. මෙම සහකාර රේගු අධිකාරිවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයෙකි. සහකාර රේගු අධිකාරිවරයාගේ හා රේගු පරීක්ෂකවරයාගේ වැඩ මේ වන විටත් තහනම් කර ඇත. නියාමකවරයාගෙන් තවමත් ප්‍රශ්ණ කරමින් පවතී.

රේගු පරීක්ෂාවන් සිදු වූ බවට ස්කෑන් කර හොරට මුද්‍රණය කළ අවසර පත්‍රයක් (ර්ථීචඵඵ) කන්ටේනරයේ අලවා ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කර ඇති බවට අඟවමින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම කන්ටේනරය වරායෙන් පිට කිරීමට ඔවුන් සැලසුම් කර තිබිණි.

ඒ අනුව ‘කොන්ට්‍රෝල් ඩිලිවරි සිස්ටම්’ මෙහෙයුම ක්‍රියාත්මක විය. කොන්ට්‍රෝල් ඩිලිවරි සිස්ටම් මෙහෙයුම කියන්නේ වරායෙන් අදාළ බඩු නිදහස් කළ පසු රේගුව අදාළ සැක භාණ්ඩ පිටුපස ගොස් හොර බඩු අල්ලා ගන්නා මෙහෙයුමයි. එම මෙහෙයුමේදී භාණ්ඩ වරායෙන් නිදහස් කරනවා සේ පෙන්නා අන්තිම මොහොතේදී අත්අඩංගුවට ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ විය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියගේ උපදෙස් මත වැටලීම සඳහා රේගුවේ වාහනද යොදා ගත්තේ නැත. මන්ද රේගුවේ නිලධාරීන් මීට සම්බන්ධ යැයි කියන නිසා කිසිම විදියකට තොරතුරක් එළියට නොයැවීම එහි අරමුණ විය. වරායෙන් කන්ටේනරය ලොරියකට පැටවූයේ රාත්‍රි 8ට පමණය. එතැන් සිට ජී.ඩී. ඥානරාජ් මහතා ඇතුළු කණ්ඩායම පසුපස පැන්නීම අරඹා තිබිණි.

මේ මෙහෙයුම එලෙස සිදුවන විට මධ්‍ය විමර්ශන කාර්යාංශය තුළ තවත් විශේෂ කණ්ඩායම් දෙකක් සූදානමින් සිටියේය. ඔවුන් මෙම වැටලීමට එක් නොවූ අතර ප්‍රධාන කාර්යාලයේ සූදානමින් සිටියේය. එහෙත් එම කණ්ඩායම කන්ටේනරය වටලන බව දැන සිටියේ නැත. ඔවුන්ට කියා තිබුණේ ගුවන්තොටුපළ විශේෂ වැටලීමක් සඳහා යෑමට ඇති බවය. ඒ සඳහා එම කණ්ඩායම් දෙක සූදානමින් සිටියේය. ඒ රාත්‍රියේ කටුනායකට එන ගුවන් යානයක හොර බඩු වගයක් එන නිසා විශේෂ වැටලීමක් සිදු කරන බව ඔවුන්ට දන්වා තිබිණි.

බීඩි කොළ පටවාගෙන ගිය කන්ටේනරයේ අංකය එඉඊඋ 7825925 විය. සියලු ලියකියවිලි පෙන්වා රාත්‍රි 8ට පමණ කන්ටේනරය කටුනායක බලා ධාවනය විය. නමුත් කන්ටේනරය කටුනායකට නොව ගියේ වත්තලටය. වත්තල පොලිසිය අසල නවතා තිබූ කන්ටේනරය ඉන්පසු වත්තල පාරට හරහා ධාවනය විය.

මේ අතර මධ්‍ය විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ජී.ඩී. ඥානරාජ් සිය කාර්යාලයේ සිට විශේෂ කණ්ඩායම් දෙක වත්තලට ගෙන්වීය. ඒ කන්ටේනරයක් වැටලීමට අවශ්‍ය යැයි කියමිනි. පාරේ ඇතුළට ගිය කන්ටේනරය රැගත් ලොරිය එක්වරම මහ ලොකු ගුදමක් තිබූ තැනකට ඇතුළු කළේය. ඉන්පසු එහි තිබූ රෝලර් ගේට්ටුව වසා දැමීය. දැන් රේගු නිලධාරීන්ට කර කියාගත දෙයක් නැත. අදාළ ස්ථානය සම්පූර්ණයෙන්ම වසා තිබිණි.

ඉන්පසු වැටලීම් කළ නිලධාරීන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරියට සහ රේගු අධ්‍යක්‍ෂට දුරකථනයෙන් සිදු වූ දේ දන්වා තිබිණි. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය එම අවස්ථාවේ මෙම වැටලීම කළ ඥානරාජ් මහතාට දැනුම් දුන්නේ ඇතුළේ ආරක්‍ෂාව නොමැති හෙයින් ඇතුළට නොයන ලෙසයි. අදාළ ස්ථානයේ ගේට්ටුවෙන් ඇතුළට යෑමට පෙර පොලිසියේ සහාය ලබා ගන්නා ලෙසය.

ඒ අනුව රේගු නිලධාරීහු 119ට කතා කොට පොලිසියේ සහාය පැතූහ. ඉන්පසු වත්තල පොලිසිය විනාඩි 15ක් ඇතුළත එන බව කියා සිටියේය. පොලිසිය එම ස්ථානයට ඒමට පෙර වාහනයකින් කෙනකු එතැනට පැමිණියේය. එම පැමිණි පුද්ගලයා එම ස්ථානයේ පැත්තකින් තිබූ පොඩි ගේට්ටුවකින් වාහනය ඇතුළට ගියේය. එම අවස්ථාවේදී පොලිසිය ඒමට ප්‍රථම රේගු නිලධාරීහු කන්ටේනරය ඇතුළු කළ ස්ථානයට ඇතුළු වූහ. ඉන්පසු ගේට්ටු අරින ලදි.

එම ස්ථානය වැටලූ පසු එහි සිටියේ වත්තල නගර සභාවේ හිටපු නගරාධිපති කෙනකු ලෙස සිටි වර්තමානයේ වත්තල නගර සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන අයෙකි. ඔහු සමඟ ඔහුගේ ගෝලයකුද විය. එසේම කන්ටේනරයේ තිබූ බීඩි කොළ බෑමට සේවකයන් පස් දෙනකු සිටියහ. ඔවුන් බීඩි කොළ බිමට බාමින් සිටිය අතර කන්ටේනරය තුළ නිමි ඇඳුම් කිසිවක් නොවීය.

මේ වන විට පොලිසිය එතැනට පැමිණියේය. පසුව සියලු දෙනා අත්අඩංගුවට ගැනිණි. බිමට බා තිබූ බීඩි කොළ කන්ටේනරය තුළටම පටවා කන්ටේනරය සීල් තබා කන්ටේනරය ඔරුගොඩවත්ත නැවතුම්පළට එවීය. වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයා හා ඔහුගේ ගෝලයා අත්අඩංගුවට පත්විය. බීඩි කොළ බෑමට ඇවිත් තිබූ සේවකයන් නිදහස් කළේය. ඒ ඔවුන් කුලියට බීඩි කොළ බෑමට ඇවිත් තිබූ හෙයිනි.

මෙම කන්ටේනරය වරායෙන් පිට කිරීමට රේගුව තුළ අපූරු ක්‍රියාදාමයක්ද සිදුවී තිබිණි. අදාළ කන්ටේනරයට බීඩි කොළ පටවා තිබුණේ ඉන්දියාවෙනි. ඉන්දියාවේ සිට කන්ටේනරය කෙළින්ම ලංකාවට ආවොත් සැක හිතන නිසා එය බංග්ලාදේශයට ගොස් ලංකාව කරා ගෙන ඒමට ජාවාරම්කරුවෝ ක්‍රියා කර තිබිණි. මෙම ජාවාරම සිදුවූයේ අදාළ බීඩි කොළ කන්ටේනරය ලංකාව තුළද බෑමට නොවේ. කාටවත් සැක නොසිතන පරිදි රටවලට යැවීමට මෙම ජාවාරම්කරු ක්‍රියා කර තිබිණි. අන්තර්ජාතික වශයෙන් භාණ්ඩ හුවමාරු ක්‍රමය යටතේ ඉන්දියාවේ සිට බංග්ලාදේශයට ගිය කන්ටේනරය ලංකාවට එමින් තිබිණි. ලංකාව තුළදී කන්ටේනරය නිදහස් කර කටුනායක කරා ගෙන ගොස් ඉතාලියට නිමි ඇඳුම් යවන ලෙස අදාළ සැලසුම සාදා තිබිණි.

සිද්ධියට අදාළ වංචාකරුට අමතරව රේගුවෙන් කන්ටේනරය නිදහස් කර ගැනීමේ මෙහෙයුමේ මොළකරු වූයේ සහකාර රේගු අධිකාරිවරයෙක්මය. මොරටු විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු උපාධිධාරියකුද වන අදාළ සහකාර රේගු අධිකාරිවරයා රේගුවට එක් වී ඇත්තේ 2015 වසරේදීය. එසේම රේගු පරීක්‍ෂකවරයෙක්ද මෙම ජාවාරමට උදවු දී තිබේ.

අදාළ සහකාර රේගු අධිකාරිවරයා කන්ටේනර් නිදහස් කර ගැනීමේ ස්ථානයේ සේවය කිරීමට පෙර සිට ඇත්තේ වෙනත් රටවලට යන බඩු ලංකාවට එන තැන ගුදමකය. මොන රටකට බඩු ගෙනාවත් මෙම ගුදමේ අදාළ කන්ටේනර් ගොඩබාන්නේය. ඉන්පසු අදාළ රටට යන නැව එන තෙක් වරායේ අදාළ කන්ටේනරය තියා ගනී.

මෙම කන්ටේනර් ගැන රේගු නිලධාරීන් දැඩි අවධානයක් යොමු නොකරයි. ඊට හේතුව වන්නේ වෙනත් රටකට යවන කන්ටේනර් නිසාය. හදිසියේ ලැබෙන ඔත්තුවක් මත පරීක්‍ෂා කළොත් හැරෙන්නට වෙනත් සෝදිසියක් නැත. නමුත් අදාළ සහකාර රේගු නිලධාරියා බීඩි කොළ ගෙන ආ කන්ටේනරයද විමර්ශනයට ලක් නොවී ලංකාවෙන් එළියට යවන ක්‍රමයට වැඩපිළිවෙළක් සකසා ඇත.

ලංකාවට එන කන්ටේනරයක් එළියට යවන ක්‍රමවේදයක් පවතී. එම ක්‍රමවේදය වන්නේ රේගුවේ පාස් එකක් දමා සීල් එකක් දමා එළියට යැවීමයි. එතැනින් එළියට එන කන්ටේනරය ව්.ඛ්.ර්ථී. ගේට්ටුවෙන් නැවත පාස් එකක් දමා සීල් එකක් ගසා ගේට්ටුවෙන් පිට කරයි. රේගුවෙන් සාමාන්‍ය බඩු පිටට යවන්නේ එලෙසිනි.

නමුත් ඉතාලි යවන කන්ටේනරයක් මුවාවෙන් කොළඹ වරායට ගෙන ආ බීඩි කොළ කන්ටේනරය රේගු නිලධාරීන්ගේ අවධානයට නතු නොවී එළියට ගැනීම සැලසුම විය. ඒ සඳහා ඉහත කී සහකාර රේගු අධිකාරිවරයා කළේ සාමාන්‍යයෙන් කන්ටේනර් එළියට යවන විදියේ පාස් එකක් ස්කෑන් කර හොරට සාදා ගැනීමය. එදින ඔහු ගේට්ටුව භාරව සිට ඇත. තවත් රේගු පරීක්‍ෂකවරයකුද සහාය ඇතිව පරණ සීල් එකක්ද ගෙන ගේට්ටුවේ සිටි රේගු පරීක්‍ෂකවරයා ලවා සීල් එක ගසා පාස් එක සාදා ඇත. වරායේ ආරක්‍ෂක අංශයටද මේ පාස් එක හොර එකක් යැයි කියා සොයා ගැනීමට බැරි විදියට එය සාදා ඇත. ඉන්පසු ගේට්ටුවෙන් අදාළ කන්ටේනරය වරායෙන් එළියට පිට කර ඇත.

මේ සිදුවීම සොයා ගෙන යන විට අදාළ පරීක්‍ෂක කණ්ඩායම්වලට මේ තොරතුරු ලැබී ඇත. ඉන්පසු අදාළ රේගු නිලධාරීන් දෙදෙනා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

මෙම බීඩි කන්ටේනර් ජාවාරම පිටුපස කිරිබත්ගොඩ පැත්තේ ප්‍රාදේශීය සභාවේ අයකුද අත්අඩංගුවට ගෙන ඇත. මෙම ජාවාරම පිටුපස සිටින මහ මොළකරු වූයේ නූර්ඩීන් ෆයිසාල් අහමඩ්ය. කන්ටේනරය අත්අඩංගුවට ගත් දින සිටම නූර්ඩීන් ෆයිසාල් අහමඩ් ගැන තොරතුරු සොයාගත්තත් මේ ගැන විමසීමට ඔහු රේගුවට ආවේ නැත.

පසුව ඔහුට විරුද්ධව සිතාසි යැව්වද නූර්ඩීන් ෆයිසාල් අහමඩ් නැවත සුමාන දෙකක් කල් ඉල්ලා සිටියේය. සති දෙකකට පසු දෙවන සිතාසිය යැව්වද එය ඔහු භාරගෙන තිබුණේ නැත.

ඉන් පසු නූර්ඩීන් ෆයිසාල් අහමඩ් කළේ සිය දේශපාලන හිතවතුන් මඟින් කන්ටේනරය අත්අඩංගුවට ගත් නිලධාරීන්ට බලපෑම් කිරීමය. ඔවුන් මෙම ක්‍රියාදාමයෙන් ඉවත් කිරීමට ඔහු නොගත් උත්සාහයක් නැත. එහෙත් මෙම වැටලීම සිදුකළ රේගුවේ මධ්‍ය විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.ඩී. ඥානරාජ්, නියෝජ්‍ය රේගු අධිකාරි සම්පත් රාජගුරු, සහකාර රේගු අධිකාරී අරුණ අමරසිංහ යන නිලධාරීන් මධ්‍ය විමර්ශන කාර්යාංශයෙන් මාරු කරවන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරියට බලපෑම් කළේය. මේ බලපෑම කළේ මුදල් අමාත්‍යාංශයේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් බවද වාර්තා වෙයි.

තමන් යටතේ සිටින දක්ෂ නිලධාරීන් එසේ මාරු කිරීමට නොහැකි බව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුම් දීමත් සමඟ ඔවුන් උත්සාහ ගත්තේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට උත්සාහ කිරීමය.

බීඩි කොළ කන්ටේනර පිළිබඳ පරීක්ෂණ දිගටම සිදුවන අතර දැනට වාර්තා වී ඇති අන්දමට අදාළ සැකකරු මහා පරිමාණයෙන් රේගුවට මුදල් වංචා කර ඇති බවයි. මේ නිසා සැකකරු අත්අඩංගුවට ගැනීමේ උත්සාහයේදී වැටලීම් කළ රේගු නිලධාරීන්ගේ ජීවිතවලට මරණ තර්ජන පවා එල්ල වී ඇති බව වාර්තා වෙයි. එසේම මුදල් දමා අල්ලස් ගත්තා යැයි කියා රේගු නිලධාරීන්ව රැකියාවෙන් ඉවත් කිරීමටද අදාළ සැකකරු උත්සාහ කර තිබේ. තවද මෙම වැටලීම සිදුකළ රේගු නිලධාරීන්ගේ ජීවිතවලට දැඩි තර්ජන තවමත් එල්ලවෙමින් පවතියි.

රේගු ආඥා පනතට අනුව රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි වටිනාකමක් ඇති භාණ්ඩ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවකුට ඇප ලබාදීමට බලය පැවරී ඇත්තේ මහාධිකරණයටය. එහෙත් මේ සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රේගු ආඥා පනතේ 127 වැනි වගන්තිය ප්‍රකාරව සැකකරු විසින් රුපියල් ලක්ෂ 10කට වඩා බදු වංචා කර ඇති නිසා ඇප ලබාදිය නොහැකි බව රේගු නිලධාරීහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සැකකරුට ඇප ලැබුණත් පසුගියදා පැවැති නඩු වාරයේදී ලබන 25 තෙක් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.
මේ සිදුවීමට සමගාමීව අදාළ සැකකරු කලක සිට පවත්වාගෙන ආ ගම්මිරිස් ප්‍රතිඅපනයන කොට ඉන්දියාවට විකිණීමේ ජාවාරමක සුලමුලද හෙළිකර ගැනීමට රේගු නිලධාරීහු සමත් වූහ.
ගම්මිරිස් වංචාවේදී ප්‍රධාන සැකකරු වූ නූර්ඩීන් ෆයිසාල් අහමඩ් ලංකාවට 2018 වසරේදී ගෙන ආ ගම්මිරිස් කන්ටේනර් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත. අදාළ සැකකරු ගම්මිරිස් කන්ටේනර් 134ක් ලංකාවට ගෙනවිත් තිබේ. ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි පෞද්ගලික සමාගමක් ලෙස පෙනී සිටිමින් මෙම වංචාව සිදු කර තිබේ. එහිදී මෙරටට කුමන හෝ භාණ්ඩයක් ගෙනැවිත් නැවත ප්‍රති උත්පාදන කර යැවීම මෙම සමාගම හරහා සිදු වී තිබේ.

නමුත් අදාළ සැකකරු භාණ්ඩ ගෙන්වන නීතිවලට යටත්ව ගම්මිරිස් වියට්නාමයෙන් ගෙන්වා පිරිපහදු කොට Made in Sri Lanka  කියා ඉන්දියාවට යවා ඇත. ලංකාවේ නිෂ්පාදනයක් නොවන මෙම ගම්මිරිස් එලෙස යැවීම වංචා සහගත ක්‍රියාවකි. අදාළ සමාගම Made in Sri Lanka  නාමය ගත යුත්තේ අදාළ නිෂ්පාදනයක් මෙරට නිෂ්පාදනය කිරීමෙන් පමණි.

එහෙත් සැකකරු කර ඇත්තේ වියට්නාමයෙන් ගෙන්වන ගම්මිරිස් වරායෙන් පිටතට ගෙනගොස් වෙනත් කන්ටේනරයක බහාලමින් Made in Sri Lanka කියා සහතිකයක් තනා ඉන්දියාවට යවා ඇත.

මෙම ගම්මිරිස් ඉන්දියාවට යන්නේ ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් විදියටය. දැනගන්නට ලැබෙන ආකාරයට මෙම ගම්මිරිස් තොගය ලංකාවේ නිෂ්පාදිත ගම්මිරිස් බවට වාණිජ දෙපාර්තමේන්තුවද සහතිකයක් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. රේගුව ඒ ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් තිබේ.

වාණිජ දෙපාර්තමේන්තුව එවැනි සහතිකයක් ලබාදී ඇත්නම් එය බරපතළ වරදකි. එලෙස සහතිකයක් දී ඇත්නම් ලංකාවේ ගම්මිරිස් විකිණීමට අපහසු වනු ඇත. ලෝකය පුරා ගම්මිරිස් අතිරික්තයක් මේ වන විට දක්නට ලැබෙයි. රජයටද ලංකාවේ ගම්මිරිස් මිලදී ගැනීමේ අවශ්‍යතාවක් මේ විදියට පැන නඟින්නේ නැත. මන්දයත් ලෝකය පුරා ඇති ගම්මිස් ගෙන්වා විකිණීමෙන් ලංකාවේ ගම්මිරිස් මිල පහත වැටී තිබේ.

ලංකාවේ ගම්මිරිස් මිලදී ගෙන ඉන්දියාවට යැව්වේ නම් ඊට අවශ්‍ය මුදල් ලංකාවට ලැබිය යුතුය. නමුත් දැන් අදාළ සැකකරු කරන ක්‍රියාදාමයෙන් එන සල්ලි ලංකාවට එන්නේ කළු සල්ලි විදියටය.

ලංකාවේ ගම්මිරිස් සැරය. නමුත් වියට්නාමයේ ගම්මිරිස් සැර නැත. එනිසා ඉන්දියාව ඉදිරියේදී ලංකාවේ ගම්මිරිස් මිලදී නොගනු ඇත. මන්ද යත් ඉන්දියාව කැමැති ලංකාවේ ගම්මිරිස් සැරටය. එනිසා ලංකාවේ ගම්මිරිස්වලට වැඩි ඉල්ලුමක් පවතියි.

ඉන්දු – ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ වසරකට ගම්මිරිස් මෙටි්‍රක් ටොන් 2500ක් තීරුබදු නොමැතිව ඉන්දියාවට යැවිය හැකිය. ලංකාවේ ගම්මිරිස් ගොවියාට ඉන්දු – ලංකා වෙළෙඳ ගිවිසුම යටතේ ලැබී ඇත්තේ වාසියකි. නමුත් මේ කූට වෙළෙ¼දාම නිසා ඒ වාසිය භුක්ති විඳින්නේ වෙනත් රටක ගම්මිරිස් ගොවීන්ය. එසේම කූට ව්‍යාපාරිකයෙක් පමණි.

ඉන්දු – ලංකා වෙළෙඳ ගිවිසුමෙන් අපට ලැබී ඇති වාසිය මේ නිසා අපේ රටට ගැනීමට නොහැකි වී තිබේ. 2018 ගම්මිරිස් කන්ටේනර් 134 තුළ ගම්මිරිස් මෙටි්‍රක් ටොන් 2800ක් තිබී ඇත. නමුත් ඉන්දියාවට යැවිය හැක්කේ මෙටි්‍රක් ටොන් 2500කි. වැඩි 300 වෙනත් ක්‍රමවේද යටතේ ඉන්දියාවට යවා තිබේ.

මෙම කන්ටේනර් 134න් 131ක් මේ වනවිට ඉන්දියාවට ගොස් ඇත. ඉතිරි තුනෙන් එකක් වරායේ ඇත. ඉතිරි දෙක සැකකරුට අයත් ගුදමේ සීල් කර දමා තිබේ.

ගම්මිරිස් ප්‍රතිඅපනයනය ගැන පරීක්ෂා කිරීමේදී මේ ගැන තොරතුරු ලැබී තිබේ. බීඩි කොළ සහ ගම්මිරිස් වංචාව පිටුපස රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහෝදරයකු සිටින බවට තොරතුරු තිබුණත් ඒවා ඔප්පු කිරීමට ලිඛිත සාක්ෂි නැති බවද වාර්තා වෙයි. නමුත් මේ ජාවාරම පිටුපස බලවත් හස්තයක් තිබෙන බවද වාර්තා වෙයි. මේ සිදුවීමට අදාළ සැකකරුවන් අල්ලා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු උසාවියේ විත්ති කූඩුවේ සිටම එක් සැකකරුවකු රේගු නිලධාරීන්ට තර්ජනය කර තිබේ. ගම්මිරිස් වංචාව හසුකරගත් රේගු නිලධාරීන් මාරු කිරීමටද අදාළ සැකකරු උත්සාහ කර තිබේ. මේ ගම්මිරිස් තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.8ක් බවද වාර්තා වෙයි. නමුත් සැකකරු රේගුවට අදාළ බදු නොගෙවා මෙම ගම්මිරිස් තොගය ගෙන්වා තිබේ.

මේ සම්බන්ධව අදහස් දැක්වූ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන සුදත් සිල්වා මහතා ප්‍රකාශ කළේ කිසිදු බාධාවක් නොමැතිව ගම්මිරිස් වංචාව ගැන විමර්ශන කටයුතු නිසියාකාරව කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය දන්වා ඇති බවයි.

 

One Response to “ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පන්නා ජාවරම් කාර නුර්ඩීන් ෆයිසල් අහමඩ් මුදල් අමාත්‍යාංශයේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් ලවා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමට උත්සාහ කිරීම”

  1. Randeniyage Says:

    Appreciate comment from Dilrook on this.
    He was commenting in support of removal of the custom chief (probably assuming an ex-navy officer should be tougher, but what guarantee we have on that when appointed by Man-Gala who was minister of ports in the past an these things probably happened during is time those days too)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress