බැරිකමේ ශෝකාලාපය
Posted on February 25th, 2019

ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම  මව්බිම

ඊනියා යහපාලනය බලයට ආ 2015ට පෙර වසරේ 7%කට ඉහළින් තිබූ ලංකාවේ ආර්ථික වර්ධන වේගය ආසියාව තුළ දෙවැනි වූයේ චීනයට පමණි. ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස කොළඹ නගරය සම්මානයක් දිනා තිබුණු අතර ආසියාවේ තිරසරම කොටස් වෙළෙඳපොළ ලෙස කොළඹ වෙළෙඳපොළ සම්මානයක් ලබා තිබිණි. යුද්ධය අවසන් වී සාමය උදා වී තිබුණු මේ රට ලෝකයේ ප්‍රබල රටක් කිරීමේ පැහැදිලි වැඩපිළිවෙළක් ආරම්භ වී තිබිණි.

නමුත් ඉන් වසර 4කට පසු ලංකාවේ ආර්ථිකය ආසියාවේ දුර්වලම ආර්ථිකයක් බවට පත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව සමත් වී ඇත. 2018 වසරේ 3.3%ක් පමණ වූ ලංකාවේ ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ බංග්ලාදේශය (7.4%), නේපාලය (7.9%), භූතානය (7.4%), ලාඕසය (6.9%), ඉන්දියාව (6.7%), පාකිස්තානය (5.4%), මාලදිවයින (4.8%) යන සියලු රටවලට පිටුපසිනි. ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්‍රස්තවාදයෙන් බැටකන ඇෆ්ගනිස්තානය සමඟ දකුණු ආසියාව තුළ අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය.

වත්මන් යහපාලන ආණ්ඩුවට පැහැදිලිවම තිබෙන්නේ බැරිකම පිළිබඳ ප්‍රශ්නයකි. වසර 20කට වඩා වැඩි කාලයක් විපක්‍ෂයේ සිටීමේ ප්‍රතිඵලයක් ලෙස අද ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා වන අගමැතිවරයාගේ පාර්ශ්වයට
පළපුරුදු, කළමනාකාරී හැකියාවන් ඇති කණ්ඩායමක් නැත. යන්තම් හෝ හැකියාවක් ඇති අයෙක් පසුගිය කාලයේ හවුල් ආණ්ඩුව තුළ ඉතිරිව සිටියා නම් මේ වන විට ඔවුන්ද ගිලෙන නැව අතහැර යන මීයන් මෙන් ආණ්ඩුවෙන් ඉවත් වී අවසන්ය. දැන් ගැටලුව වන්නේ මුළුමනින්ම වාගේ වැඩ බැරි ටාසන්ලාගෙන් පිරි කණ්ඩායමකට රටක් පාලනය කිරීම වැනි භාරධුර වගකීමක් ඉටු කළ හැකිද යන්නයි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2015 ජනවාරි මස නව පාලකයන්ට භාරදුන්නේ ස්ථාවර ආර්ථිකයකි. ඒ වන විට උද්ධමනය හා පොලී අනුපාතයන් ඉතා පහළ අගයක තිබුණු අතර රුපියල ස්ථාවරව තිබිණි. බදු සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කළේ ලිහිල් ප්‍රතිපත්තියකි. ජනතාවගෙන් බදු අය කළ යුත්තේ ‘මල නොතළා රොන් ගන්නා සේය’ කියා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියන්නට පුරුදුව සිටියේය.

එකල රාජ්‍ය බදු දළ ජාතික
නිෂ්පාදනයෙන් 11%ක් පමණක් වීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශකයන් කෙතරම් මැසිවිලි කීවත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බදු වැඩි කිරීමට මැළි විය. නමුත් 2015 බලයට ආ යහපාලන ආණ්ඩුව බදු සම්බන්ධයෙන් අනුගමනය කළේ සපුරා වෙනස් ප්‍රතිපත්තියකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශකයන් කියනා සියල්ල හිස් මුදුනින් පිළිගත් ඔවුන් කළේ සෑම අය – වැයකින්ම බදු වැඩි කිරීමය. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලය වූයේ 2018 වන විට රාජ්‍ය බදු 2014ට වඩා 100%කින් වැඩි වී තිබීමය. ඉන් 60%ක්ම භාණ්ඩ හා සේවා මත පැටවු වක්‍ර බදු නිසා ජීවන වියදම ඉහළ ගොස් ජනතාව විශාල පීඩනයකට ලක් විය. ව්‍යාපාර මත බදු වැඩි කිරීම නිසා ආයෝජනයන් සීමා වූ අතර අපනයනය දුර්වල විය. කෘෂිකර්මාන්තයට කුඩම්මාගේ සැලකිල්ල දෙමින් පසුගිය ආණ්ඩුව විසින් ලබා දී තිබූ සහන දිගට හරහට කපාහැරීම නිසා කෘෂිකර්මාන්තයේ විශාල කඩාවැටීමක් ඇති විය. මහ බැඳුම්කර කොල්ලයේ ප්‍රතිඵලයක් ලෙස බැංකු පොලී ඉහළ යෑමට පටන් ගැනීම නිසා ව්‍යාපාරවලට විශාල බලපෑමක් එල්ල විය. රටේ මුදල් සංසරණය දුර්වල වීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් වසා දැමීමට සිදුවූ අතර ඒ නිසා රැකියා විශාල ප්‍රමාණයක් අහිමි විය.

බැරිකම වසා ගැනීමට යහපාලකයන් කළේ දිගින් දිගටම පසුගිය ආණ්ඩුවට ‍ෙදාස් කීමය. ඔවුන් කී ආකාරයට ජනතාවට සහන දීමට අපහසු පසුගිය ආණ්ඩුවේ වරදිනි.
නමුත් මෙම තර්කය ඉතා පහසුවෙන් බිඳවැටුණේ 2018 ඔක්තෝබර් 25දා මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස පත්වූ අවස්ථාවේය. නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට අනුව මුලින්ම කළ කාර්යයක් වූයේ බදු අඩු කිරීම හරහා ජනතාවට සහන රැසක් ලබා දීමය.

මෙසේ මුලින්ම ලබාදුන් සහන කිහිපයක් පහත දැක්වෙයි.

පෙට්රල් රුපියල් 10කින් හා ඩීසල් රුපියල් 07කින් අඩු කරන ලදී. මිල සූත්‍රය ගැන බියෙන් සෑම මසකම 10 වැනිදාට අවදි වන්නට මින් පසු අවශ්‍ය නැති බව එම ආණ්ඩුවේ පොරොන්දු විය.
එතෙක් පැවැති දුරකථන බද්ද (විදුලි සන්දේශ සේවා බද්ද) 25% සිට 15% දක්වා අඩු කරන ලදී.

පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 05කින් හා තිරිඟු කිලෝග්‍රෑමයක් සඳහා වූ බද්ද රුපියල් 09කින්ද, සීනි සඳහා වූ බද්ද රුපියල් 10කින්ද පහළට හෙළන ලදී.
රු. 1,500ට තිබූ පොහොර මිටිය රු. 500 දක්වා මිල අඩු කරන ලදී.

බැංකු ගිණුම්වල පොලිය මත අය කරන රඳවා ගැනීමේ බදු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලදී.

ගොවීන්ට හා කුඩා වී මෝල් හිමියන්ට පසුගිය වසර 3දී ලබාදුන් රු.මි. 50 දක්වා වූ ණය මත පොලී සහ දඩ කපා හැරීමට තීරණය විය.

කෘෂිකාර්මික ව්‍යාපාරවල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14% දක්වා අඩු කරන ලදී.

ඒ වන විට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14%ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාළ වූයේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියලු තැනැත්තන්ට අදාළ කරන ලදී. ඒ අනුව වෘත්තීය සේවා සඳහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14% දක්වා අඩු කරන ලදී.

මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරි කිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොලිය රඳවා ගැනීමේ බදුවලින් නිදහස් කරන ලදී.

නමුත් ජනතාවගේ අවාසනාවට ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා යළිත් රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණ ඇත. ජනතාවට සහන දුන් යුගය නිම විය. යළිත් ජනතාවට අසන්නට ඉතිරිව ඇත්තේ ආණ්ඩුවේ බැරිකමේ ශෝකාලාපයයි.

මහින්ද රාජපක්‍ෂ යුගයේ ඉදි වූ ප්‍රධානතම යටිතල පහසුකම් කිහිපයකට වැය වූ මිල පහත දැක්වේ.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය –
ඇ.ඩො. මිලියන 385 (රු. බිලියන 50)
කොළඹ – ගාල්ල අධිවේගී මාර්ගය –
ඇ.ඩො. මිලියන 740 (රු. බිලියන 96)
ගාල්ල – මාතර අධිවේගී මාර්ගය –
ඇ.ඩො. මිලියන 155 (රු. බිලියන 20)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය –
ඇ.ඩො. මිලියන 900 (රු. බිලියන 117)
හම්බන්තොට වරාය –
ඇ.ඩො. මිලියන 1,100 (රු. බිලියන 143)
මත්තල ගුවන්තොටුපළ –
ඇ.ඩො. මිලියන 240 (රු. බිලියන 31)
එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන 3,520
(රු. බිලියන 458)
2014 ලංකා රජයේ විදේශ ණය රුපියල් බිලියන 4,200ක් තිබිණි. යහපාලන ආණ්ඩුව ආවාට පසු පළමු වසර 4 තුළ රුපියල 30%කින් පමණ බාල්දු වීම නිසා පමණක් ලංකාව විසින් ආපසු ගෙවිය යුතු ණයවල දේශීය අගය රුපියල් බිලියන 1,000ට වඩා ඉහළ ගොස් ඇත. රාජපක්‍ෂ යුගයේ ඉහත කී සියලු මෙගා ව්‍යාපෘතීන් කරන්නට ගත වූයේ ඊට වඩා අඩු මුදලකි.

2018දී ලංකාවේ සමස්ත ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් පමණ විය. ඩොලරයේ අගය රුපියල් 41කින් පමණ ඉහළ යෑම හරහා පමණක් මේ ආනයන වියදම 2014ට සාපේක්‍ෂව වසරකට රුපියල්වලින් නම් බිලියන 820කින් එහෙමත් නැත්නම් රුපියල් කෝටි 82,000කින් වැඩි වී තිබිණි. රුපියල බාල්දු වීම නිසා පමණක් වූ මේ මිල වැඩි වීම වර්තමානයේ රටේ ජාතික ආදායමෙන් 50%ක් පමණ වේ. සාර්ථක රටක් අසාර්ථක රටක් බවට පත් කිරීමට ඊනියා යහපාලකයන්ට අවශ්‍ය වූයේ ඉතා සුළු කාලයකි. තවදුරටත් මොවුන් බලයේ සිටීමෙන් රටට වන්නේ අගතියක් පමණි.

ණය ගැනීම, බදු ගැසීම හා රටේ සම්පත් විකිණීම හැර ආදායම් උපයන අන් කිසිදු මාර්ගයක් වත්මන් පාලකයන් නොදන්නා බව දැන්නම් සක්සුදක් සේ පැහැදිලිය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණ වසර 4ක් ගත වනවිට රාජ්‍ය ණය 60%කින් වැඩි වී රාජ්‍ය බදු 100%කි වැඩි වී තිබිණි. හම්බන්තොට වරාය හා ඒ අවට හෙක්ටයාර් 2000ක භූමිය අපිට අහිමි වී අවසන්ය. මත්තල ගුවන්තොටුපළ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, හයට් හා හිල්ටන් හෝටලය ඇතුළු තවත් බොහෝ ජාතික සම්පත් මේ වන විට විකුණුම් ලැයිස්තුවේ ඇත. ආණ්ඩුව ඒවා සඳහා ගැනුම්කරුවන් සොයමින් සිටී. තවත් කලක් වත්මන් ආණ්ඩුව බලයේ සිටියහොත් මේ සියල්ල හා තවත් බොහෝ ජාතික සම්පත් අපට අහිමි වනු නියතය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තිබෙන ඕනෑම රටක ආණ්ඩුව විශාල අර්බුදයකට ලක් වී ජනතා අප්‍රසාදයට ලක් වූ විට පවතින ආණ්ඩුව විසුරුවා දමා නව පාලනයක් සඳහා ජන වරමක් ඉල්ලීමේ සම්ප්‍රදායක් ඇත. උදාහරණයක් වශයෙන් 2001 අවසන් කාලයේ බලයට ආ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව වසර දෙකක් පමණ සුළු කාලයක් තුළ විශාල මහජන අප්‍රසාදයකට ලක් වූ විට හිටපු ජනාධිපතිනිය විසින් ආණ්ඩුව විසුරුවා දමා භාරකාර ආණ්ඩුවකට රට භාර දෙන ලදී. භාරකාර ආණ්ඩුවක වගකීම වන්නේ මැතිවරණයක් පවත්වන තුරු රට පාලනය කිරීමයි. භාරකාර ආණ්ඩුවක් තුළ එක් වී සිටින සියලු පාර්ශ්ව ඊළඟ මැතිවරණයේදී එක්ව තරග කිරීමේ අවශ්‍යතාවක් නැත. ඒ අනුව මැතිවරණයෙන් තමන් කැමැති කණ්ඩායමක් බලයට පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට හිමි වේ.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමටය කියා බලය ගත් වත්මන් යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බරපතළ ලෙස ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කර ඇත. රටේ මොන අර්බුදය ආවත් වසර 4 1/2කට පාර්ලිමේන්තුව විසුරුවන්නට බැරි බවට නීතියක් ගෙන ආවේ මේ ආණ්ඩුවය. මීට අමතරව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයා තමන්ම ඉල්ලා අස්වුවහොත් මිස ඉවත් කළ නොහැකි බවට තවත් අමුතුම නීතියක් හඳුන්වා දී ඇත. බලයට ආ දින සිට ඡන්ද කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ ජනතාවගේ මූලික අයිතිය වන ඡන්දය භාවිත කිරීමේ අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය කොට ඇත.
මෙවැනි තත්ත්වයක් යටතේ කුමන ක්‍රමයකින් හෝ මෙම අකාර්යක්‍ෂම, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ඉවත් කිරීම ජාතික අවශ්‍යතාවක් බවට පත්වී අවසානය.

 

2 Responses to “බැරිකමේ ශෝකාලාපය”

  1. ranjit Says:

    Nalaka go to the far away villages and towns with your patriots to the motherland and explain one by one of the atrocities UNP TNA JVP done to this country after January 8th 2015. Bond scam, Geneva, drugs, underworld and about our war heroes etc should be the main topics you should explain in details. Behaviour and comments of the Tamil and Muslim politicians, their activities against the motherland, Muslim and Tamil terrorism against our country so on. Distribute pamphlets in Sinhalese and Tamil language to make them more understand the danger if this Yamapalanaya continues in governing this country. Start organising pocket movements everywhere to educate the people. We need to get two third majority for Mahinda and pohottuwa.

  2. Hiranthe Says:

    I agree with Ranjith.

    But one more thing has to be added to their explanation. While stressing Yahap’s atrocities and anti-national activities, they have to force MR not to abolish the EP without removing the 13A. According to the news items, even MR is in the camp for abolishing the Executive Presidency all of a sudden.

    This is dangerous as the nation cannot trust the MP’s in the Parliament and any time the Ealam can be declared with the majority because our MP’s can be bought by LieTTE money and other facilities by LieTTE supporting West.

    If the EP system to be abolished, we have to abrogate 13A before that and also the preferential system has to be removed.

    Then the best thing is to go back to NM and Colvin’s “Janaraja constitution” and at the same time abolish the EP.

    Two birds in one stone.

    1.0 Abolish EP and,
    2.0 Bring back Janaraja Constitution of Colvin R

    In the past we only pointed out the shortcoming of the other party. Now the ordinary folks have to tell their supporting party what to do and how to do. Because we cannot trust anybody in the political field. (Gota is an exception because he is not a politician)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress