මේ සිද්ධියට වගකියන්න ඕනේ රජය කියලා හැමෝම කියනවා. රජය කියන්නේ ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලයයි.
Posted on April 29th, 2019

අද දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින්

■             ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා 

■             පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා 

■             පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා 

■             පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා 

■             නීතිවල අඩුපාඩුවක් නෙවෙයි ලැබුණු තොරතුරු වලින් ප්‍රයෝජන ගෙන ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දෙපාර්ශවය අපොහොසත් වීමයි සිදුවුනේ. 

■             රටේ වාසනාවට තව මාස හයයි තියෙන්නේ. ඒ කාලයේ අවම වශයෙන් ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට උත්සුක විය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස් මහතා

මෙවැනි සිද්ධියක් නැවත සිදුනොවිමට වගබලාගත යුතුයි. ඒ සදහා ආණ්ඩුව එකක් ලෙස වැඩ කළ යුතුයි. රටකට ආණ්ඩු දෙකක් තියෙන්න බැහැ. රජයේ පාර්ශවයන් දෙක එකිනෙකාට ඇගිලි දිගු කරනවා පමණය’. එකට එකතු වෙලා රට පාලනය කරන්න වරමක් මොවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා. අද ජනාධිපති ශ්‍රීලනීපයේ. අගමැති එජාපයේ. මොවුන් එකතු වෙලා සාමුහිකව රට පාලනය කරන්නයි ජනතාවගෙන් වරමක් ගත්තේ. ජනාධිපතිතුමා බුද්ධි අංශ දුර්වල කිරීමේ වගකීම රජය භාරගත යුතු බව කියනවා. කවුද රජය. ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලය. රජයේ උච්ඡතම ස්ථානය ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයාට රජයෙන් බැහැර වෙලා රජය විවේඡනය කරන්න බැහැ. 

නිව්යෝක් ටයිම් පුවත්පතේ පළවෙනි පිටුවේ තියෙනවා ශ්‍රී ලංකා රජයට බුද්ධි අංශවලින් තොරතුරු ලැබුණු බව. පුද්ගලයින්ගේ නම් දුරකතන අංක, සාකච්ඡා පැවැත්වූ ස්ථාන පවා එහි සදහන් වෙනවා. මේ තොරතුරු රජය අතට පත්ව තිබුණත් පියවරක් ගත්තේ නැහැ. මේ තොරතුරු අගරදගුරුවරයාට දිලා තිබුණා නම් කිසිදු දේව මෙහෙයක් පවත්වන්නේ නැහැ. යුද හමුදාපතිවරයා කියන්නේ මේ ගැන තොරතුරක් තිබුණා නම් ඔවුන් ක්‍රියාත්මක වෙන බවයි. හොටල් ක්ෂේත්‍රයේ අයට මොන යම් හෝ තොරතුරක් ලැබී තිබුණානම් හෝටල් ආරක්ෂා කර ගන්නවා. මේකට ජනාධිපතිතුමා අගමැතිතුමා වගේම සමස්ත රජයම වගකිව යුතුයි. රජයේ ස්ථාවරය මෙහි වගකීම භාරගෙන ආරක්ෂක ලේකම් හා පොලිස්පතිවරයා ඉවත් වීමයි. අපි එය පිළිගන්නේ නැහැ. දේශපාලන අධිකාරියම වග කිව යුතුයි. මෙවනි නිලධාරීන් පත්කිරීමේදී රජය වගකිව යුතුයි. සිද්ධ වුනු ඛේදවාචකය වගේම හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයත් රටට බලපෑවා. සිද්ධි එකක් දෙකක් වෙයි. මෙතරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැයි එතුමා කළ ප්‍රකාශය ලොව පුරා ප්‍රචලිත වුනා. හදිසි නිතිය නොතිබුණු නිසා හමුදාවෙන් ප්‍රයෝජන ගැනීමේ හැකියාවක් රජයට තිබුනේ නැහැු කියලත් හිටපු ලේකම්වරයා කිව්වා. හදිසි නීතිය තත්ත්පර 30න් ක්‍රියාත්මක කරන්න පුලුවන්. ජනාධිපතිවරයා ලියවිල්ල අත්සන් කිරීම පමණයි ප්‍රමාණවත්. ගැසට් කරන්නේ ජනතාවගේ දැන ගැනිම සදහායි. හදිසි නීතිය නොතිබු බව කියමින් කෙදිරි ගෑමෙන් ප්‍රයෝජනයක් නැහැ. අවශ්‍යතාවය තියෙනවා නම් ඒ බලතල ලබා ගන්න පුලුවන්. නිතියේ අඩුපාඩු නෙවෙයි දේශපාලන අධිෂ්ථානය නැති එකයි වුනේ. 

පොලිස්පති ගැන මුලු රටම දන්නවා. පළමු දවසේ සිට තනතුර දරන්න නුසුදුසු බව එතුමා මැනවින් ප්‍රදර්ශනය කළා. ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත මිසක් හැකියාව හා ජ්‍යේෂ්ඨත්වය අනුව නෙවෙයි ඔහු පත්වුනේ. කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුනු ව්‍යවස්ථාදායකයයි මේ පත්කිරිම කලේ. පටු දේශපාලන වාසිගැන නොහිතා රටේ ජනතාවගේ ජිවිත ගැන සිතා දැන්වත් ජනාධිපති හා අගමැතිවරයා කියන දෙපාර්ශවය සාමුහික වගකීමෙන් කිසියම් විදිමත් වැඩපිළිවෙලකට පැමිණිය යුතුයි. නිලධාරීන් දඩමිමා කරගැනීමකයි මොවුන් යෙදී ඉන්නේ. ඒ අතර අගමැතිවරයා ස්කයි නිව්ස් සමග සම්මුඛ සාකච්ඡාවකදී නීතිවල අඩුපාඩුවක් තියෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒක සම්පූර්ණයෙන් වැරදයි’ එතුමා වගකීමෙන් මිදෙන්න කරන ව්‍යාජ තර්කයක්. ත්‍රස්තවාදය ආරක්ෂා කිරීමේ පනත, මහජන ආරක්ෂණ පනත හා දණ්ඩ නීති සංග්‍රහය කියන පනත් තුනේම ප්‍රමාණවත් විදිවිධාන අඩංගුයි මෙ තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන්න. මිහිපිට තිබුණු භයානක ත්‍රස්තවාදී කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ මර්දනය කලේ  මේ නීතිවලින්. ඒ කියන්නේ නීතිවල අඩුපාඩුවක් නෙවෙයි ලැබුණු තොරතුරු වලින් ප්‍රයෝජන ගෙන ජනතාව ආරක්ෂා කිරීමට රජයේ දෙපාර්ශවය අපොහොසත් වීමයි සිදුවුනේ. 

රනිල් වික්‍රමසිංහ මහතා කියනවා මේ සියලු ප්‍රශ්න ඇති වුනේ ප්‍රති ත්‍රස්තවාදි පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවුනු නිසා. පොල් ගාන්නේ නැතිව ඉක්මනින් මෙය සම්මත කරන්නලු. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නයි මේ යන්නේ. එහෙම කරනවා කියලා ජාත්‍යන්තරයට පොරොන්දුවක් දීලා තියෙනවා. මේ ඛේදවාචකය ඇති වුනාම රජය යොදා ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. අද වෙන කොට 150ක් පමණ සිරභාරයට අරන්. ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙයි. පනත අහෝසි කරලා තිබුණා නම් මේ ක්‍රියාමාර්ග කඩිනම් වෙන්නේ නැහැ. ඒ වගේම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ සමහර වගන්ති හදිසි රිති රෙගුලාසිවලටත් යටත් කළා. ප්‍රති ත්‍රස්ත පනතින් වෙන්නේ ත්‍රස්තවාදින් නලවලා පෝෂණය කිරිමයි. මිනි මැරුමකදි දෙන්නේ මරණිය දණ්ඩනය. හැබැයි මෙම්පනත යටතේ 350ක් මැරුවොත් සිද්ධ වෙන්නේ ජිවිතාන්තය දක්වා සිරදඩුවමට යටත් කිරීම පමණයි. ත්‍රස්තවාදින්ට පුදුම දයාවක් කරුණාවක් මේ පනතින් දක්වනවා. පනතේ දෙවැනි උපලේඛණය අනුව ත්‍රස්තවාදියෙක් අත් අඩංගුවට ගත්තොත් වහාම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂමට දැන්විය යුතුයි. තුන්වැනි උපලේඛණය අනුව පොලිස්පතිවරයාට වහාම දැන්විය යුතුයි. මන්ත්‍රීවරයෙක් අත් අඩංගුවට ගත්තොත් එවැනි අවශ්‍යතාවයක් නැහැ. මේ පනත ගේන්නේ ත්‍රස්තවාදය වළක්වීමේ අරමුණින් නෙවෙයි. වෙනත් අරමුණකින්. විශේෂයෙන් මාධ්‍ය, වෘත්තීය සමිති සිවිල් සංවිධාන මර්දනය කිරීමේ අංග සම්පූර්ණ වැඩ පිළීවෙලක් මේ පනතේ ගැබ්වෙලා තියෙනවා. රාජ්‍ය දේපල වලට හානි කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා තුන්වැනි වගන්තියේ සදහන් වෙනවා. මේ පනත යටතේ අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක්. අවුරුදු 20ක් බන්ධනාගාර ගත කරන්න පුලුවන්. එයට අනුබල දීම වසර 15ක් බන්ධනාගාර ගත කරන්න පුලුවන් වරදක්. එවැනි ක්‍රියාවකට තොරතුරු සැපයිමත් ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාවක් කියලා 10 වැනි වගන්තියේ සදහන් වෙනවා. මේවා බෝම්බ පුපුරන ත්‍රස්තවාදින්ට ගේන නීති නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක තමන්ගේ නිත්‍යාණුකූල අයිතිවාසිකම් වලට පෙනි සිටින මිනිසුන් නිහඩ කිරිමයි. අද රටේ මැතිවරණ නැහැ. පළාත් සභා අකර්මන්‍යයි. මැතිවරණ ඉල්ලා අපේ හිටපු මහ ඇමැතිවරු දෙන්නෙක් අධිකරණයට ගිහින්. මැතිවරණ ඉල්ලා ජනතාව පාරට බැස්සොත් ගන්න දරුණු ක්‍රියාමාර්ග තමයි මේ පනතේ අඩංගු වෙන්නේ. 62 වැනි වගන්තිය පොලිස් රාජ්‍යයක අඩිතාලමයි. අගමැතිවරයාගේ අත්සාහය මෙරට පොලිස් රාජ්‍යයක් බිහිකිරීමයි. 62 වගන්තියෙන් යමම්නිෂ්චිත ප්‍රදේශයකට හෝ පරිශ්‍රයකට ඇතුල් නොවන ලෙස, නිශ්චික ල්‍රදේශයකින් පිට නොවන හෝ රැදදිසිටින ලෙස, යම් මාර්ගයක ගමන් නොකරන ලෙස, නිෂ්චිත ස්ථානයක රැස් නොවන ලෙස එක පෑන් පහරකින් කිරීමේ හැකියාව පොලිසියට ලැබෙනවා. 95 වගන්තිය තවත් භයානකයි. මේ යෝජිත නිතිය සමග ගැටෙන වෙනත් නිති තියෙනවා නම් ඒවා අහෝසි වෙනවා. මේ නිතියයි බලාත්මක වෙන්නේ. එවැනි භයානක පනතක් තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මාධ්‍යවේදින්ට කිසියම් ස්ථානයකට ගිහින් ජායාරූප ගැනීම සටහන් තබා ගැනීම පවා තහනම් වෙනවා. මේ හදන්නේ ආඥාදායකත්වයක් රටේ ඇති කරන්නයි. ජිවිත 350ක් බිලි දීලා භයානක පනතක් සම්මත කර ගැනීමේ උත්සාහයකයි රජය ඉන්නේ. 

පළමු දවසේ ඉදන් අදක්ෂභාවය හා තනතුරට නුදුසුදු බව පෙන්වූ පොලිස්පතිවරයා පිට වගකිම පවරලා මෙයින් මිදෙන්න රජයට හැකියාවක් නැහැ. දැන් මේ රජයේ 6 වැනි ආර්කෂක ලේකම්වරයා පත්කරනවා. හිටපු ලේකම්වරයා පත්කලේ කවුද. පත්කරන අයගේ වගකීම මොකක්ද. ජනතාව තමන්ගේ ආරක්ෂාව භාර දුන්නේ පොලිස්පතිටවත් ආරක්ෂක ලේකම්ටවත් නෙවේ. දැන්වත් එකිනෙකාට චෝදනා කිරිම් නතර කරලා ජනාධිපති හා අගමැති එකතු වෙලා රට කරන්න වෙනවා. රටේ වාසනාවට තව මාස හයයි තියෙන්නේ. ඒ කාලයේ අවම වශයෙන් ජනතාවගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට උත්සුක විය යුතුයි. 

■             පොලිස් මාධ්‍ය ප්‍රකාශය ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ඇතුළත කරපු ප්‍රකාශයේදී නියෝජ්‍ය පොලිස්පති නිකුත් කරපු චක්‍රලේඛණය ගැන දන්නේ නැහැ කිව්වා. ඒ බොරුකාරයෝ තමයි අදටත් මාධ්‍ය ප්‍රකාශයක කිය කිය ජනතාවට කරුණු දක්වන්නේ

■             අගමැතිතුමාට වගකීම ගන්න බැරිනම් පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න.

■             අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නිති සංග්‍රහයට අනුව මනුෂ්‍ය ඝාතනයට සහාය දුන්නේ කවුද කියලා හොයලා නඩු දාන්න. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නිති සංග්‍රහය තියෙනවා

■             මගේ තාත්තා කිව්වා. මම ගියේ නැහැ කියන්නේ සාක්ෂි තමයි. තොරතුරු සැගවීම යටතේ නඩු පවරන්න පුලුවන්.  

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා 

මේ ආන්ඩුව තොරතුරු ජනගත විම වළක්වන්න සමාජමාධ්‍ය තහනම් කරලා, ආන්ඩුවට එන ප්‍රකෝපය හා අවලාද වෙනතකට යැවීමට දරපු උත්සාහය අපි හෙළා දකිනවා. රාජ්‍ය ආරක්සාව සම්බන්ධයෙන් එවැන්නක් කළාට ප්‍රශ්නයක් නැතත් ජනතාවට යම් යම් සත්‍ය තොරතුරු දැන ගැනීමට තිබුණු හැකියාව වැළැක්වූවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශය ප්‍රහාරය එල්ල වී පැය කිහිපයක් ඇතුළත කරපු ප්‍රකාශයේදී නියෝජ්‍ය පොලිස්පති නිකුත් කරපු චක්‍රලේඛණය ගැන දන්නේ නැහැ කිව්වා. බොරු කිව්වා. ඒ බොරුකාරයෝ තමයි අදටත් මාධ්‍ය ප්‍රකාශයක කිය කිය ජනතාවට කරුණු දක්වන්නේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1978 අංක 48. වත්මන් අගමැතිවරයා ඇමැති ධූරය දරපු ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවෙන් තමයි මේ පනත ගෙනාවේ. ඒ පනත හා ඊට පස්සේ ගෙනාපු සංශෝධනත් එක්කයි අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදයක් නැති කරන්න හැකිවුනේ. ඒ පනත ඉතා කෙටි පනතක්. ඒ යටතෙ පාර්ලිමේන්තුවට බෝබ්ම ගහපු විත්තිකරුවන් වෙනුවෙන් පෙනි හිටපු එක නිතීඥවරයෙක් මම. මම අගමැතිවරයාට අභියෝග කරනවා. ඒ අත්දැකිම තියෙන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් අද ඉන්නවාද. ඒ පනත යටතේ නඩු සිය ගණනකට වඩා මම කතා කරලා තියෙනවා. මේ ත්‍රස්තවාදි ව්‍යාපාරයට එකතු වුනු සැකකරුවන්ට,තවත් ඉන්නවා නම් අල්ල ගන්න, මේ කර මර්ධනය කිරීමට මේ පනත ප්‍රමාණවත්. දැන් අගමැතිවරයා කරන්න හදන්නේ මොකක්ද?පුර්විකාවේ ප්‍රතිත්‍රස්ත පනත කියලාවත් නැහැ. දැනට තියෙන පනත ඉවත් කිරීම පිණිසද කියලා තියෙන්නේ.මේකකාගේ වුවමනාවක්ද. මංගල සමරවිර ඇමැතිවරයා විදේශ ඇමැතිවරයා විදියට 2015 සැප්තැම්බර් මාසයේ ජිනිවා වලට ගිහින් 30 යෝජනාව සම්මත කරන්න සහාය දැක්වූවා. එහි කොන්දේසියක් තමයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරිම. ත්‍රස්තවාදින්ට පනත දියාරු කරලා සාමාන්‍ය ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් මැඩ පවත්වන්නයි මේ පනත ගෙනත් තියෙන්නේ. වෘත්තීය සමිති වලට කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න ලැබෙන්නේ නැහැ. මාධ්‍යවේදින්ට තොරතුරු වාර්තා කරන්න ලැබෙන්නේ නැහැ. අගමැතිතුමාගේ පළවෙනි කතාවෙන් කිව්වේ ගෝලීය ත්‍රස්තවාදයක් කියලා විශ්වීය ත්‍රස්තවාදයට සම්බන්ධයි කිව්වා. ඊට පස්සේ ස්කයි නිව්ස් එකට කියනවා මෙම්පනත ගෙනාවේ නැත්නම්නඩු පවරන්න බැහැලු. මම අභියෝග කරනවා අගමැතිතුමාට පුලුවන් නම් පෙන්වන්න තියෙන පනතෙනක් කාටද නඩු පවරන්න බැරි කියලා. පාර්ලිමේන්තුව පොල් ගහන්නේ නැතිව මේක සම්මත කරන්නලු. අගමැති එතුමා. කමිටු පත්කලේ පාර්ලිමේන්තුව. පොල් ගාන්නේ නැතිව සම්මත කරන්නලු. අපිට කියන්නෙ වෙන්නේ පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න කියලයි. 

වගකීම ගන්න බැරිනම් පොල් ගාන්නේ නැතිව අයින් වෙන්න. එතුමාගේ ඇමැතිවරු දෙන්නෙක් ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා කරුණු දැනගෙන හිටියේ නැහැ කියන්න බැහැනේ. පිළිඅරන් තියෙනවානේ. මේ අයට පුලුවන්නේ දැන් තියෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන්න තොරතුරු වසන් කිරිමට එරෙහිව. ඇමැතිවරු දෙන්නෙක් දැනගෙන හිටිය බව කියනවා.ආරක්ෂක ලේකම් දැනගෙන හිටියා. මේ තරම් දෙයක් වෙයි කියලා හිතුවේ නැහැලු. පොලිස්පතිවරයා දැන නොසිටියා කියන්න බැහැ. චක්‍රලේඛණය යැව්වේ පොලීසියෙන්. ජනවාරි 8 වැනිදා මේ විනාශය කරන්න යහපාලනය ගෙනාපු රාජ්‍ය නොවන සංවිධාන නඩයත් මේකට වගකියන්න වෙනවා. අද කෝ ඒ එන්. ජී. ඕ නඩය. 

මේ සිද්ධීයෙන් කියන්නේ ආන්ඩුවට සහාය දෙන අයගේ යෝජනා ක්‍රියාත්මක කරන බවයි. ජිනිවා වලට සහාය දෙන්නේ කොටි ඩයස්පෝරාවේ හා බටහිර වුවමනාවට. ආන්ඩුව පවත්වා ගෙන යන්නේ සමහර ජනවර්ගවල සහාය ඕනේ වෙනවා. විශ්වාස භාගයේදිදිනුවේ කොහොමද. හොයලා බලන්න. බහුතරය පෙන්නුවේ කොහොමද. හොයලා බලන්න. ඒ අයට අත තියන්න කැමැති නැහැ. නොරතුරු දැන ගෙන හිටියත් අත් අඩංගුවට ගන්න හෝ අත් අඩංගුවට ගන්න හැකියාවක් තිබුනේ නැහැ. එහෙම කළා නම් ආන්ඩුව වැටෙනවා. රට බිල්ලට දුන්න ආන්ඩුවක් ඉතිහිසයේ තියෙනවා නම් රනිල් වික්‍රමසිංහගේ මේ ආන්ඩුවයි. අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නිති සංග්‍රහයට අනුව මනුෂ්‍ය ඝාතනයට සහාය දුන්නේ කවුද කියලා හොයලා නඩු දාන්න. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නිති සංග්‍රහය තියෙනවා. දැන් දේශපාලන සිරකරුවෝ කියලානේ කියන්නේ. එහෙම කියන්නේ ලක්ස්මන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්වරුන්ට බෝම්බ ගහලා මරපු පිරිසට. මේ අයට සහාය ලැබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පනත ගෙනාවොත් පමණයි. මේ උත්සාහ කරන්නේත්‍රස්තවාදින්ට උඩගෙඩි දීමට මිසක් ත්‍රස්තවාදය අවසන් කරන්න නෙවෙයි කියන දේ හොදින්ම පැහැදිලියි. 

මේ පනතේ 85න්, සන්නද්ධ හමුදා කැදවීම කරන්න වෙන්නේ මේවගේ අවස්ථාවකදී මහජන සාමය පවත්වා ගෙන යන්න බැරි බව පොලිස්පතිවරයා ප්‍රකාශ කලොත් විතරයි. මේ පොලිස්පති ඉන්න වෙලාවක මෙම්පනත අද තිබුණා නම් ජනාධිපතිතුමාට සන්නද්ධ හමුදාව කැදවන්න වෙන්නේ මේ විහිලුකාර පොලිස්පතිවරයා යටතෙයි. උසාවිවල නඩු කතා කරපු අපිව මෝඩයාට අන්දන්න ද යන්නේ.ජනතාව වගේම ජනතාවත් මුලා කරන්නයි හදන්නේ. බැරිකම හා නොහැකිව හැරෙන්න ිසිවක් අගමැතිගේ මුවින් පිට වෙන්නේ නැහැ. දැන් ඉන්නේ මාරපන විදේශ ඇමැතිවරයා. මේ ජායාරූප අරන් ගිහින් අපේ රටේ මානව හිමිකම් අහිමි වෙන හැටි පෙන්වන්න පුලුවන්. අපිට කටු ඔටුනු දාන්න එනවා වෙනුවට අපේ මානව හිමිකම් අහිමි වීම් දැකගන්න කියන්න පුලුවන්නේ. අපේ ජනතාව මියගියාම මැනව හිමිකම් වලට යන්න මැලිද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. එහෙම කලොත් රණ විරුවන්ට” බුද්ධි අංශවලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.ප්‍රශ්නයක් වෙන්නේ අගමැතිතුමාටයි ඔහුව බලයේ තියාගන්න හදන අයටයි. මගේ තාත්තා කිව්වා. මම ගියේ නැහැ. කියන්නේ සාක්ෂි තමයි. තොරතුරු සැගවීම යටතේ නඩු පවරන්න පුලුවන්.  

■             ලෝකේ දරුණුම ත්‍රස්තවාදින් කියපු අයව, රටවල් 193ක් එක්ක සම්බන්ධකම් තිබුණු ධනවත්ම ම්ලේඡ්ඡ සංවිධානයක් අවුරුදු දෙකහමාරක් ඇතුළත පාලනය කලේ මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්.  අගමැතිතුමාට ඒ පනතෙන් වැඩක් කරන්න බැහැලු. 

■             දැනගෙන පුරවැසියන් ගැන අනුකම්පාවක් නැතිව ඡන්ද පදනමට හානියක් නොවන විදියට වැඩ කිරීම නිසයි මේ ඛේදවාචකය වුනේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා 

මෙවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හා ජනාධිපතිවරයාගේ හැසිරිම දිහා බැලුවම හිතෙන්නේ මේකියන කරුණු ඇත්තද කියලයි. මේකරුණු සත්‍යයද, ඇයි මෙහෙම හැසිරෙන්නේ. 2015 ජනවාරි 8 වැනිදා ජනතාවට අහසක් උසට බලාපොරොත්තු දිලා මේ ආන්ඩුව පත්කර ගත්තේ. තිස් අවුරුදු යුද්ධය අවසන් කරපු හමුදා සහ බුද්ධි අංශ වගේම මහින්ද රාජපක්ෂ රජය ලෝකය ඉදිරියේ අවමානයට ලක්කිරිමයි සිද්ධ වුනේ. මානව හිමිකම් යෝජනාවේ සිට රටේ ස්ථාවරත්වය බාල්දු කිරීමට මොවුන් කටයුතු කරලා තියෙනවා. අතුරුදන්වූවන්ගේ පනත හරහා ගෙනයන වැඩපිළීවෙල වගේම ප්‍රතිත්‍රස්ත පනත කියන එක ගේන්න යන ගමන් කියන කතා බලන්න. ලෝකේ දරුණුම ත්‍රස්තවාදින් කියපු අයව, රටවල් 193ක් එක්ක සම්බන්ධකම් තිබුණු ධනවත්ම ම්ලේඡ්ඡ සංවිධානයක් අවුරුදු දෙකහමාරක් ඇතුළත පාලනය කලේ මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන්. ජිනීවා වලට දුන්න පොරොන්දුවක් මේ ඉටු කරන්නේ. ඒ වගේම ත්‍රස්තවාදියෙක් අල්ලගත්ත ගමන් මානව හිමිකම් කොමිෂමට දැන්වීම වගේම නිතිපති දෙපාර්තමේන්තුවට අධීචෝදනා නැගීම වසර 10ක් පමා කරන්න පුලුවුන්. දේශපාලන වශයෙන් ඛේදනිය තත්ත්වයකට මේ වෙද්දි රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දිලා තියෙනවා. වොක්ස්වැගන් සිට සාවද්‍ය තොරතුරුයි කිව්වේ. සීතලයි කියලා කියන යුද්ධයක් එජාපයේ තියෙනවා. එහි දුර්වල තැනකයි රනිල් අගමැතිවරයා ඉන්නේ. ඔහුගේ ස්ථාවරය ඇති කර ගන්න නම් මෙම්සිද්ධිය වෙස් වලාගත්ත ආශිර්වාදයක් විදියට යොදා ගන්න උත්සාහයකයි ඉන්නේ. මේ වනවිටත් විදේශිය හමුදාවන් මෙරටට ඇවිත්. සිරියාවේ හිටපු අගමැතිවරයා පවත්වා ගෙන යන මුවාවෙන් කරන විනාශයයි අද සිරියාවේ දකින්න තියෙන්නේ. එවැනි විනාශයක් වුනත් තනතුර ආරක්ෂා කරගැනීමයි රනිල් වික්‍රමසිංහය අවශ්‍ය. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශ හා පාලකයින් දැනුවත් නැති බව කියන්න පුලුවන්ද. පවතින පාලනයට ඇලුම් කරන අයට වුනත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න පුලුවන්. දැනගෙන පුරවැසියන් ගැන අනුකම්පාවක් නැතිව ඡන්ද පදනමට හානියක් නොවන විදියට වැඩ කිරීම නිසයි මේ ඛේදවාචකය වුනේ. මේ ඛේදවාචකය කොහොන් කොහොම නැවත ඇරfඹිදිද කියන්න බැහැ. 

දෙමුහුන් ආණ්ඩුව රජය නම් රජය එකිනෙකාට චෝදනා කරන්න බැහැ. ආරක්ෂක මණ්ඩලයට මාස 6ක් තිස්සේ කැදවුයේ නැත්නම් ඒක පාර්ලිමේන්තුවට කියන්න තිබුණා. වෙන දෙයක් වෙන්න කියලා බලන් හිටියා. අපි ඒකාබද්ධ විපක්ෂය විදියට අපිට හැකි උපරිම පරිත්‍යාගයක් කරමින් නැවත නගා සිටුවීම්වලට සහාය දෙනවා. අපි දැවැන්තම මැයි රැළිය කරන්න සූදානමින් සිටියා. නමුත් මේ තත්ත්වය මත අපිට මැයි දින රැළිය පවත්වන්න වෙන්නේ නැහැ. 

■             ත්‍රස්තවාදයක් තුරන් කරපු හමුදාවක් බුද්ධි අංශයක් හිටපු රටක් වෙලත් අගමැතිතුමාට ජාත්‍යන්තරය තමයි විශ්වාස.

■             මේ සම්මත කරගන්න හදන පනත තිබිලාද 30 වසරක යුද්ධය අවසන් කලේ. තිබුණු නිතියයි, හැකියාව හා නායකත්වය තිබිලයි යුද්ධය අවසන් කලේ. මීට වැඩි පනතක් ගෙනාවත් මේ ආන්ඩුවට කවදාවත්ම බැහැ. මේක නොහැකියාව.

■             අල්හාජ් මොහොමඞ් ඉබ්‍රහිම් අපේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහිම් හිටියා නම් මොකද වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා 

මේ අවස්ථාවේ රටේ වගකීම දරණ ආන්ඩුවේ අගමැතිතුමාගේ හැසිරීම රටම බලා සිටිනවා. ගිය ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වුනා. කතෝලික දේවස්ථාන වගේම හෝටල්වලට බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දි අගමැතිතුමා හිටියේ කොහෙද කියලා අපි දන්නේ නැහැ.නමුත් බෝම්බ ප්‍රහාරයේ ශබ්දයෙන් දැන් එතුමා කම්පනයට පත්වෙලා. යම් අනතුරක් වුනාම ඒ කම්පනයෙන් කරන්නේ මොනවාද කියලා දන්නේ නැහැ. විදේශීය හමුදාවන් ගෙනත් මේ සම්බන්ධයෙන් හොයන්න පුදුම වුවමානවක් තියෙන්නේ. ත්‍රස්තවාදයක් තුරන් කරපු හමුදාවක් බුද්ධි අංශයක් හිටපු රටක් වෙලත් ජාත්‍යන්තරය තමයි එතුමාට විශ්වාස. මේ ඊළග තුරුම්පුව. මේ තුළින් විදේශීය හමුදාවන් ගෙන්වා ගෙන රට තළ අස්ථාවරභාවයක් තියෙන්නේ කියලා මේ ආන්ඩුවම ගෙනියන්නයි හදන්නේ. අගමැතිතුමනි මේ සම්මත කරගන්න හදන පනත තිබිලාද 30 වසරක යුද්ධය අවසන් කලේ. තිබුණු නිතියයි, හැකියාව හා නායකත්වය තිබිලයි යුද්ධය අවසන් කලේ. මීට වැඩි පනතක් ගෙනාවත් මේ ආන්ඩුවට කවදාවත්ම බැහැ. මේක නොහැකියාව. තමන්ට රට ආරක්ෂා කරගන්න බැරි බව එතුමා පිළීගන්න වෙනවා. 

දිගන සිද්ධයේදී මාධ්‍ය වාර්තා කළා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයාව පැය 18ක් ප්‍රශ්න කිරිම ගැන.  මොන විදියකින් හරි දේශපාලන දඩයමක් කර ගන්නයි බැලුවේ..මේ සිද්ධි දෙක අහසයි පොළවයි වගේ. ආන්ඩුවේ අයගේ නම් තුනක් ප්‍රසිද්ධියේ කියැවෙනවා. එක රිෂාඩි බදියුදීන්. දෙක අසාත් සාලි ආන්ඩුකාරවරයා. තුන මුජිබර් රහුමාන්. අද වෙනතුරු මොවුන්ගෙන් එක ප්‍රශ්නයක් ඇහුවද. ඒ ඡන්ද මල්ලට. ගෙනත් ප්‍රශ්න කලොත් ඔවුන් ඡන්දෙ දෙන්නේ නැහැ. ආන්ඩුව ඉවරයි. දේශපාලන පොතෙන් සිද්ධිය වැහෙනවා. ජවිපේ නායක අනුර කුමාර දිසානායක කට අල් කරගෙන ඒක වුනේ කොහොමද. කියලා කියනවා. ඒ අනුර කුමාර දිසානයක නායකයාගෙන් අපි අහන්නේ එතුමාලාගේ ජාතික ලයිස්තුවේ 11 වැනියා අල්හාජ් මොහොමඞ් ඉබ්‍රහිම්. අපේ ජාතික ලයිස්තුවේ ඉබ්‍රහිම් හිටියා නම් මොකද වෙන්නේ. දැන් කියනවා එතුමාට සම්මානයක් මහින්ද රාජපක්ෂ මහත්තයා දීලාලු. එතුමාලාගේ ජාතික ලයිස්තුවට දාන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා සම්මාන දුන්න අයද. මේ කන්න ඕනේ වුනාම කඹරගොයා තලගොයා කර ගන්න උන්නැහැලා ටිකක්. මේවාට වගකියන්න ඕනේ නොහැකියාව තියෙන රූකඩ පාලකයින් රටට දායාද කරපු ජනතා විමුක්ති පෙරමුණත්. රාජ්‍ය ආරක්ෂාව බිංදුවට දාලා අද වැඩිය ශබ්ද නැහැ. මාධ්‍ය ඉස්සරහට වැඩිය එන්නෙත් නැහැ. මහානායක හාමුදුරුවෝ ප්‍රකාශ කළා චෝදනා විරහිතව ඉන්න බුද්ධී අංශ නිලධාරින් නිදහස් කරන්න කියලා. රට අස්ථාවර කරන ස්වාධිනත්වය නැති කරන තින්දුවක් ගත්තා නම් ඒ මංගල සමරවිර තමයි. අපේ ගෙවල්වල දරු පැටව් ඉන්නවානේ සමරවිරට පැවැත්මක් නැති වුනාට. බුද්ධි අංශය විනාශ කිරීමේ වගකිමත් මේ රජය ගන්න වෙනවා. රජය බලයට පත්වුනු දා ඉදන් බුද්ධි අංශවල චිත්ත ධෛර්යය වැටෙන දේ කලේ. අපි කියන්නේ මේ ආන්ඩුවට ඉදිරියට යන්න බැහැ. රටේ ආර්ථිකයත් දැන් කඩා වැටිලා. සංචාරයට එන්න හිටපු සංචාරකයෝ සියල්ල අවලංගු කරලා. මිනිස්සු රුකියාවට එන්නේ නැහැ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress