පාර්ලිමේන්තුව විසින් සිදුකරන සිංහල භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව කථානායක වෙත නීතිඥවරයෙක් කර ඇති පැමිණිල්ලට මේ වන තෙක් පියවර ගෙන නෑ…..!
Posted on June 14th, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

සිංහල භාෂා පාඨයට ප්‍රමුඛස්ථානය කියා රවටමින් පාර්ලිමේන්තුව විසින් සිංහල ජනතාවට සිදුකරන අවමන් සහගත සැළකිල්ල/ වෙනස්කම පිළිබදව කතානායකට සහ පාර්ලිමේන්තුවට එරෙහිව නඩු පවරන බවට නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2018 නොවැම්බර් මස 05වන දින ජනාධිපතිටත් එවකට අග්‍රාමාත්‍යයව සිටි මහින්ද රාජපක්ෂ මහතාටද, කථානායක කරූ ජයසූරිය මහතාටද ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත වාසුදේව නානායක්කාර මහතාටද, පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙතද, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වෙතද නීතිපති වෙත  පැමිණිලි කර  ඇත.

පාර්ලිමේන්තුව සහ එහි මන්ත්‍රීවරයන් විසින් සිංහල ජනතාවගේ භාෂා අයිතිය උල්ලංඝනය කරමින් සිංහල ජනතාවට වෙනස්කමක් සිදුකිරීමත්, සිංහල භාෂාව භාවිතා කරන්නන් වෙනස්කමකට සහ විශේෂයකට සහ අවමන් සහගත සැළකිල්ලකට භාජනය කර ඇති අතර, සිංහල භාෂාව භාවිතා කරන්නන්ගේ භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, ඇතුළු අදහස් පළ කරීමේ නිදහසද, සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහසද, සමාගමයේ නිදහසද, ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසද අහිමි කර ඇති අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියද උල්ලංඝණය කිරීම සම්බන්ධව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් පෙන්වා දී තිබුණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය විසින් www.parliament.lk අන්තර්ජාල වෙබ් ලිපිනයැති වෙබ් අඩවිය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පවත්වාගෙන යනු ලබන අතර එහි මුල් පිටුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ යනුවෙන් සැබැඳියක් දැක්වෙයි. එකී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ සබැඳිය ක්‍රියාත්මක කළ විට නව වෙබ් පිටුවක් විවෘත වන අතර එහි පාර්ලි‍මේන්තු පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පළ වේ. එම පිටුවට යෑම සඳහා මෙතැන ක්ලික්’ කරන්න’” ලෙස සදහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වන අතර 23 ව්‍යවස්ථාව අනුව නීති පැනවීමේ භාෂාවක් ලෙස සිංහල භාෂාවද විය යුතු බව දැක්වෙන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව මුළුල්ලේම අධිකරණ භාෂාව ලෙස සිංහල භාෂාවද විය යුතු බව දක්වා ඇති අතර 27 සහ 28 ව්‍යවස්ථා මගින්ද සිංහල භාෂාව භාවිත කිරීමටත් භුක්ති විදීමටත් රජය විසින් පහසුකම් සැළසිය යුතු බවත් එය රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්මයක් සහ මූලික යුතුකමක් බවත් දක්වා ඇති නීතිඥවරයා පාර්ලිමේන්තුව පනවන නීති මෙන් උපරිමාධිකරණ තීරණද නීති ලෙස සැළකෙන බවද පාර්ලිමේන්තු පනවන නීති මෙන් එකී තීරණද බලධාරීවන බවත් ඒවාද අනුගමනය කිරීමට බැඳීමක් ඇති බවත් ජනාධිපතිවරයාටත් කතානායකවරයාටත් පෙන්වා දී ඇත.

එමෙන්ම පුරවැසියන්ගේ රාජ්‍ය භාෂා අයිතිය ආරක්ෂා කිරීම සදහා ජනාධිපතිවරයා විසින් ජාතික ඒකාබද්ධතා, සංහිඳයා සහ රාජ්‍ය භාෂා විෂය යටතේ අමාත්‍යාංශයක්ද ස්ථාපනය කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දී ඇත.

නීතිමය කාරණා සහ වෙනත් කරුණු සැළකීමේදී පාර්ලිමේන්තු අන්තර්ජාල වෙබ් අඩවිය මුල් පිටුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ යනුවෙන් දැක්වෙන සබැඳිය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පවත්වාගෙන සිංහල භාෂාව භාවිතා කරන්නන් වෙනස්කමකට සහ විශේෂයකට සහ අවමන් සහගත සැළකිල්ලකට භාජනය කර ඇති අතර, සිංහල භාෂාව භාවිතා කරන්නන්ගේ භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, ඇතුළු අදහස් පළ කරීමේ නිදහසද, සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහසද, සමාගමයේ නිදහසද, ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසද අහිමි කර ඇති අතර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියද උල්ලංඝණය කර ඇති බව නීතිඥවරයා සිය පැමිණිල්ලේ දක්වා ඇත.

එමෙන්ම අග්‍රවිනිශ්චයකාරවරායා ඉවත් කිරීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝග නිකුත් කළ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් 2001 ජූනි මස 20 වැනි සිය තීරණය සිංහල භාෂාවෙන්ද ලබා දෙමින් ජනතාවගේ භාෂා අයිතියත්, තොරතුරු දැන ගැනීමේ අයිතියත්, නීතිමය රැකවරණය ඇතුළු මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ බවත්, ඔබගේ අවධානයට යොමු කරන අතර පනත් කෙටුම්පත් සම්බන්ධව විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අදාල පනත් කෙටුම්පත් සමබන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඉංග්‍රීසි පමණක් පාර්ලිමේන්තුවේ අන්තර්ජාල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීම නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ” යන නීති ආප්තය බිදවට්ටන බවත්, විශේෂයෙන් සිංහල භාෂාවෙන් කටයුතු කරන පුරවැසියන් එමගින් විශේෂ නොසැළකිල්ලකට ලක්කර ඇති බවත්” නීතියේ සමාන රැකවරණය අහිමි කර ඇති බවත්, සිංහල ජනතාව වෙනස්කමකට ලක්කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් අහිමිකර ඇති බවත් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සැළකීමේදී පාර්ලිමේන්තු අන්තර්ජාල වෙබ් අඩවිය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ යනුවෙන් දැක්වෙන සබැඳිය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පවත්වාගෙන යාමෙන් සහ සිංහල භාෂාවෙන් පවත්වාගෙන නොයාමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12.1, 12.2, 14.1.අ, 14.1.ඇ සහ 14.1.ඊ ව්‍යවස්ථ, සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබද ජාත්‍යාන්තර සම්මුතියේ 11 වන 2 වන ව්‍යවස්ථාව, සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබද ජාත්‍යාන්තර සම්මුතියේ 111 කොටසේ 26 වන ව්‍යවස්ථාවද, 1991 අංක 18 දරන රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතද උල්ලංඝනය කිරිමක් වන බවත් එකී අයිතීන් උල්ලංඝනය කිරීම් නතර කර, නිවැරදි කිරීමට නිසි පියවර ගන්නා ලෙසත්, පාර්ලිමේන්තුවේ අන්තර්ජාල වෙබ් අඩවියට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන්ද ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසත්, රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ආරක්ෂා කරන ලෙසත් භාෂා අයිතීන් ආරක්ෂා කරන ලෙසත් ඔබට මෙයින් දැනුම් දෙන අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට එරෙහිව නිසි අධිකරණයේ නඩු පවරා සහන ලබා ගන්නා බවත් නීතිඥවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

එකී පැමිණිල්ල පහත දැක්වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress