මහාචාර්ය සෝමදේවගෙන් අලුත් භූගත ස්කෑන් වාර්තාවක් උසාවියට
Posted on May 27th, 2026

The Leader

අහඹු ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරවම සමූහ මිනීවළක් ලෙස සැකකොට අධිකරණ නියෝග යටතේ රජයේ වියදමින් හාරා සුවිශේෂී යමක්

සොයා ගැනීමකින් තොරවම කැනීම් අවසන් කළ නැගෙනහිර පළාතේ භුමියක් සමීපයේ තව දුරටත් සැකයට භාජනය වී ඇති ස්ථානයක සිදු කළ ස්කෑන් පරීක්ෂණයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම් මැයි 26  වැනිදා පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් හි භුමි භාගයක පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් මැයි 15, 16 සහ 17 යන තෙදින තුළ සිදුකළ ස්කෑන් පරීක්ෂණයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

“මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ කමිටුව විසින් සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණයේ අවසන් වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කරා. වාර්තාව පරීක්ෂා කළ විනිසුරුවරයා, වාර්තාවේ අඩංගු නිර්දේශ සැලකිල්ලට ගනිමින්, මේ සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා නඩුව ජුනි 15 වැනි දින විවෘත අධිකරණයේ කැඳවීමට නියෝග කරා.”

LTTE සංවිධානය විසින් මරා වල දමන ලද බවට චෝදනා කෙරුණු 150කට අධික මුස්ලිම් හජ්ජි වන්දනාකරුවන් පිරිසක සිරුරු ඇති බව පැවසුණු භුමියේ විමර්ශන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 28 ක මුදලක් වෙන් වීමෙන් අනතුරුව ආරම්භ කළ කැනීම් කටයුතු 2026 අප්‍රේල් 1 වැනිදා හවස් යාමයේ නතර කර තිබුනේ හදුනාගත් භුමිය අඩි හයක් පමණ ගැඹුරට හෑරීමේදී මුහුදු ජලය මතු වීම නිසාවෙනි.


ඉස්ලාම් භක්තිකයන් එකසිය පනහකට වැඩි පිරිසක් තිස්පස් වසරකට ඉහතදී සමුලඝාතනය කර වළ දමා ඇති බවට සැක කෙරෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් හි භුමි භාගයක කැනීම් කටයුතු 2026 මාර්තු 30 වැනි සඳුදා ආරම්භ කෙරුනේ කලුවන්චිකුඩි මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ හා වෛද්‍ය සහ නීති විශේෂඥයන් එකොලොස් දෙනකුගේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් සහභාගිත්වයෙනි.


කැනීම් කටයුතු ආරම්භ කර තෙදිනක් සම්පුර්ණ වන 2026 අප්‍රේල් 1 වැනිදා හවස් යාමයේ  වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුබාරක් මුගසම් පළාත් බද මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබුනේ කැනීම් කටයුතු සදහා හදුනාගත් භුමිය අඩි හයක් පමණ ගැඹුරට හෑරීමේදී මුහුදු ජලය මතු වීමත් සමග විශේෂඥ උපදෙස් පරිදි කැනීම් කටයුතු නවතා දැමු බවයි.

කණින ලද ප්‍රදේශය අවට තවත්  ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදු කළ යුතු බවට පැමිණිලිකාර අබ්දුල් මජීඩ් අබ්දුල් රවුෆ් විසින් අධිකරනයෙන් කර ඇති ඉල්ලීම අනුව එම නඩු විභාගය 2026 මැයි 15 වැනිදා යළි  කැදවු අවස්ථාවේ  මිනී වලක් ඇති බවට සැක කෙරෙන භුමියේ Magnetotelluric Audio-frequency යොදාගෙන ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීම සදහා අධිකරණය අවසරය ලබා දී තිබුනි.

එම අධිකරණ නියෝගය අනුව මිනි වලක් පවතින බවට අලුතින් සැක කෙරෙන ස්ථානයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් මැයි 15, 16 සහ 17 යන තෙදින තුළ භුමිය ස්කෑන් පරීක්ෂණයක් සිදු කර කළේය. නීතිඥ මුබාරක් මුගසම් පළාත් බද මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් පවසා තිබුනේ  මැයි 18 වැනිදා නඩුව යළි කැදවු අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් වන වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව අධිකරණය මහාචාර්යවරයා දැනුම් දුන් බවයි.


සමුහ මිනීවළක් සෙවීම සඳහා අහම්බෙන් ඇටසැකිලි හමු නොවී අධිකරණ අධීක්ෂණයෙන් කැනීම් ආරම්භ කොට අපරාධයක් සිදුවූ බවට සාක්ෂි නැතිව වසා දමන්නට සිදුවූ ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය වන්නේ මඩකලපුවේ කුරුක්කල්මඩමයි. මීට ඉහතදී උතුරේත්, කොළඹත්, සාම්පුර්හිත්,  මාතලේත් එවැනි විමර්ශන ආරම්භ කෙරුනේ අහම්බයකින් මිනිස් ඇටකටු මතුවීමෙන් අනතුරුවයි.


සමුහ මිනී වළක් ඇති බව පැවසෙන ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය මුලික පියවර ගන්නා ලෙස 2025 අගෝස්තු 25 වැනිදා කලවංචිකුඩි මහේස්ත්‍රාත් ජේ.පී.ඒ. රංජිත්කුමාර්  රජයේ නිලධාරීන්ට  නියෝග කර තිබුනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress