” සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයි “
Posted on June 20th, 2019

වෛද්‍ය විජිත් ගුණසේකර

එක්සත් රාජධානියේ වර්වික් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආර්ථික අංශයේ පර්යේෂක  / ජාතික රුධිර පාරවිලයන  සේවාවේ හිටපු අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාර සේවා හිටපු අධ්‍යක්ෂ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පහසුකම් සැපයීමේදී සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය යොදා ගත හැකි බව වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අවධාරණය කරයි. පසුගියදා එක්සත් රාජධානියේ සිට ZOOM තාක්ෂණය ඔස්සේ මාධ්‍ය ඇමතූ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අවධාරණය කලේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා  නව තාක්ෂණය යොදා ගැනීම තුළින් මෙරට සෞඛ්‍ය පහසුකම් නැංවීමට හැකියාව ලැබෙන බවයි.

සිව්වන කාර්මික විප්ලවයෙන් පසුව මේ වනවිට අධි වේගයෙන් ලෝකයේ තාක්ෂණය දියුණු වෙමින් පවතින බව පෙන්වා දුන් වෛද්‍යවරයා සඳහන් කළේ ලොව බොහෝ රටවල් මේ වනවිට අති සාර්ථක අන්දමින් සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය ක්‍රියාත්මක කරන බවයි. තොරතුරු සන්නිවේදනය දියුණු මට්ටමක පවතින වර්තමානයේ ජනතාව ඉතා ඉක්මනින් නවීන තාක්ෂණය වෙත යොමුවන බවත් සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය වැනි දේ පිළිබඳව ජනතාව දැනුවත් වූ වහාම ඒ සඳහා ජනතාව තුළින්ම ඉල්ලුමක් නැගෙනු ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටක ජනතාවගේ සෞඛ්‍ය පද්ධතියට අරමුදල් සපයනු ලබන්නේ බදු මත පදනම් වූ රාජ්‍ය මූල්‍යකරණ යාන්ත්‍රණයක් නිසා නව තාක්‍ෂණයන් ලබා ගැනීම අපගේ සන්දර්භය තුළ වඩාත් අභියෝගාත්මක වනු ඇති බව වෛද්‍යවරයා මෙහිදී සඳහන් ක‍ළේය. නමුත් තාක්ෂණය යනු වර්තමානයේදී මිල අධික කටයුත්තක් නොවන බව පෙන්වා දුන් වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අවධාරණය කළේ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ සේවා සහ සෞඛ්‍ය පහසුකම් සැපයීම යන කරුණු සඳහා වැය කරන මුදල සහ අත්වන ප්‍රතිලාභ පිළිබඳව සලකා බැලූ විට සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය යොදා ගැනීම වඩා වාසිදායක බව වෛද්‍යවරයා සඳහන් කළේය.

වත්මන් සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය පිළිබඳව අදහස් දැක්වූ  වෛද්‍යවරයා කියා සිටියේ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) වැනි සංකල්ප ඉතා පහසුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය සඳහා යොදාගත හැකි බවයි.

 මෙරට පවතින භූ විෂමතා ලක්ෂන සහ යටිතල පහසුකම් වර්ධනය නොවීම නිසා සෞඛ්‍ය පහසුකම් සැපයීමේ දී ප්‍රායෝගික දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.  විශේෂයෙන් හදිසි අවස්ථාවකදී එන්නත් හා රුධිරය මෙන්ම වෙනත් හදිසි ඖෂධ ප්‍රවාහනය කිරීම සඳහා ගතවන කාලය මෙහිදී විශේෂයෙන් වැදගත් වන බව වෛද්‍යවරයා සඳහන් කළේය. උදා හරණ වශයෙන් 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනය ගෙනහැර දැක්වූ වෛද්‍යවරයා කියා සිටියේ එම අවස්ථාවේ  දිවයින පුරා රෝහල් රැසක හදිසි  සෞඛ්‍ය සේවා අවශ්‍යතා මතුවූ බවයි. එම රෝහල්වල රෝගීන්ට අවශ්‍ය රුධිරය, එන්නත් සහ හදිසි ඖෂධ ආදිය සැපයීම ඉතා දුෂ්කර වූ කාර්යයක් වූ බවත් හෙතම පෙන්වා දුන්නේය. එවැනි අවස්ථාවල භාවිත කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය වැනි තාක්ෂණයක අවශ්‍යතාව පවතින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට සමාන භූගෝලීය තත්වයන් පවතින අනිකුත් රටවල මෙම පහසුකම් සැපයීමේදී ඩ්‍රෝන අනුගමනය කරන බව වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අවධාරණය කරයි. උදාහරණ ලෙස රුවන්ඩාව සහ ගානා වැනි රාජ්‍යයන් පවා මෙම තාක්ෂණය පහසුවෙන් හසුරුවමින් සිටින බව හෙතෙම අවධාරණය කළේය. එම රටවල භාවිත වන සෞඛ්‍ය ආරක්ෂණ තාක්ෂණය මගින් දෛනිකව දහස් ගණනාවක රෝගීන්ගේ ජීවිත ආරක්ෂා වන බවද හෙතෙම පෙන්වා දෙයි. වර්තමානය වන විට එම රටවල අවශ්‍ය වූ සැනින් අදාල ඖෂධ, එන්නත් හා රුධිරය වැනි  සෞඛ්‍ය පහසුකම්  ඉතා කෙටි කාලයක් තුළ සැපයෙන බවත් මේ නිසා එම රටවල ඖෂධ ආදිය අතිරික්තයක් නොපවතින බවත් කල් ඉකුත්වීම නිසා ඒවා ඉවත දැමීමට සිදු නොවන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress