හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උදා ගම්මාන 2,500 කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කළ බව පැවසුවද, රට පුරා වැඩ අවසන් කර ඇති ගම්මාන සංඛ්‍යාව 367 ක් පමණයි
Posted on December 18th, 2019

නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය

හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගිය රජය තුළ උදා ගම්මාන 2,500 කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කළ බව පැවසුවද, රට පුරා වැඩ අවසන් කර ඇති ගම්මාන සංඛ්‍යාව 367 ක් පමණ  බව, නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

ජනතාවට නොමිලේ නිවාස ලබා දෙන බවට පසුගිය කාලයේදී රටට පෙන්නුවද එසේ සිදු වී නොමැති බවත්, අද ජනතාව ණයකාරයින් බවට පත්ව ඇති අතර පසුගිය කාලයේදී නිවාස අමාත්‍යංශය හරහා රජයට විශාල වැය බරක් සිදු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් නිවාස ණය වාරික අයකර ගැනීම නතර කරන ලෙස දේශපාලන අධිකාරිය විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවට මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ බවත් එය නීති විරෝධී ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.  

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය රජය සමයේදී නිවාස අමාත්‍යාංශය මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘති පිළිබ විශේෂ සාකච්ඡාවට ඊයේ (17) දින සහභාගී වෙමිනි. පුත්තලම දිසාපති කාර්යාලයේදී මෙය පැවත්විණි. 

මෙම සාකච්ඡාවට ධීවර හා මිරිදිය ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාද සහභාගී විය.

පසුගිය රජය සමයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තුළ පවතින ගැටළු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

පසුගිය රජය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් 2015 වසරේ සිට 2019 වසර දක්වා පුත්තලම දිස්ත්‍රික්කය තුළ ප්‍රතිලාභී පවුල් 8,393 දෙනෙකු සදහා නිවාස ණය ලබා දී ඇති අතර ඒ සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 926 කි. මෙම කාලය තුළ ප්‍රතිලාභීන් 409 දෙනෙකු වෙත නිවාස ආධාර ලබා දී ඇති අතර ඊට වැය වූ මුදල රුපියල් මිලියන 61 කි. 

පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස අධිකාරියේ සේවකයින් සදහා වැටුප් ගෙවීම වෙනුවෙන් කොපමණ මුදලක් වෙන් කර තිබෙනවාද කියා මෙහිදී නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කළමණාකරු කියා සිටියේ සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු පුනරාවර්තන වියදම් සදහා මාසයකට රුපියල් මිලියන 6.5 ක් වෙන් කළ බවයි.

මෙහිදී අමාත්‍යවරයා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ණය අයකර ගැනීමේ ඉලක්කය පිළිබදව දිස්ත්‍රික් කළමණාකරවරයාගෙන් විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් දිස්ත්‍රික් කළමණාකාරවරයා මුලින් ණය අයකර ගැනීමේ ඉලක්කය වුණේ මිලියන 11.5 යි. නමුත් මේ වසරේ ජුනි මාසය වන විට එම ඉලක්කය මිලියන 16 ක් දක්වා වැඩි වුණා. එයට හේතුව වුණේ 2018 සහ 2019 වසර වලදී නිවාස අධිකාරිය විසින් ලබා දුන් ණය ප්‍රමාණය වැඩි වීමයි. නමුත් පසුගිය ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ණය අයකර ගැනීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමට හැකි වුණේ මිලියන 6.5 ක් පමණයි” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පසුගිය කාලයේ රටට පෙන්නුවේ ජනතාවට නොමිලේ නිවාස ලබා දෙනවා වගේ. නමුත් එහෙම සිදුවෙලා නැහැ. රටේ ජනතාව ණයකාරයින් බවට පත් කරලා. පුත්තලම දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 926 ක ණය ලබා දීලා. ආධාර ලබා දී ඇත්තේ මිලියන 6.5 ක පමණයි.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නිවාස වැඩපිළිවෙල සදහා ජාතික ප්‍රතිපත්තියක් අපි දියත් කරනවා. පසුගිය කාලයේ සෑම ප්‍රදේශයකම පාහේ කැලෑ එළි පෙහෙළි කර ගම්මාන ඉදිකර තිබුණා. එය කිසිදු ඵලක් නැහැ. එම ජනතාව පුත්තලම, හලාවත, නාත්තන්ඩිය වැනි නාගරික ප්‍රදේශවලට ගෙන්වා ගැනීමට අපි ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. මෙම ගැටළු සියල්ලම අප ඉක්මනින් විසදා ගත යුතුයි. ණය වාරික අයකර ගැනීම ප්‍රමාද නම් එය වේගවත් කර ගැනීමට නිසි ක්‍රමවේදයක් අප දියත් කළ යුතුයි.

අපේ නිවාස වැඩසටහන තුළ එක් ග්‍රාම නිළධාරී වසමකින් දුප්පත් පවුල් 5 බැගින් තෝරාගෙන ඔවුන් සදහා නොමිලේ නිවාස සාදා දීමේ වැඩසටහන කඩිනමින් ආරම්භ කරනවා. එය දීප ව්‍යාප්තව දියත් කිරීම අපේ අරමුණයි. තට්ටු නිවාස ක්‍රම නාගරික ප්‍රදේශවල දියත් කිරීමට අප පියවර ගන්නවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩකටයුතු අප ආරම්භ කළා. පසුගිය කාලය තුළ සෑම දිස්ත්‍රික්කයකම රාජ්‍ය නිළධාරීන් සිය ග්‍රහණයට ගෙන දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීමේ වැඩ පිළිවෙලක් සිදු වී තිබෙන බව අපට පෙනී ගියා. අළුත් වැඩපිළිවෙල හරියට හදා ගන්න නම් අපි පරණ වැඩපිළිවෙල ගැනත් අධ්‍යනය කිරීම අවශ්‍යයි. පරණ වැරදි අපෙන් නොවිය යුතුයි” යනුවන් පැවසීය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ධීවර හා මිරිදිය ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මම 2010 – 2013 කාලය තුළ වයඹ පළාත් නිවාස ඇමතිවරයා ලෙස කටයුතු කළා. එම කාලයේදී වයඹ පළාතේ නිවාස අවශ්‍යතාවය වුණේ 27,000 ක් පමණයි. නමුත් අද වන විට නිවාස අවශ්‍යතාවය 31,000 ක් වී තිබෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ඇති සම්පත් නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන මේ සදහා නිසි වැඩපිළිවෙලක් දියත් කළ යුතුයි. 2020 වසර පුත්තලම දිස්ත්‍රික් නිවාස වසර ලෙස නම් කර නව නිවාස 31,000  ඉදිකිරීම ඊළග වසර තුළ අප ආරම්භ කළ යුතුයි. මේ සදහා අපට වසර කිහිපයක් ගත වේවි. නමුත් වැඩේ ආරම්භ කිරීමයි වැදගත්. දිස්ත්‍රික් නිවාස කම්ටුවක් සකස් කර මසකට වරක් අප රැස් වී මෙම වැඩපිළිවෙල සාර්ථකව ඉදිරියට ගෙන යමු” යනුවෙන්ද පැවසීය.

පසුගිය රජය සමයේ දී ආරම්භ කළ ප්‍රජා නිවාස කමිටු අහෝසි කර, නව නිවාස කමිටු පිහිටුවා එය අධීක්ෂණය කිරීම සදහා සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීමට කටයුතු කරන ලෙස මෙහිදී නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා විසින් නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මෙම සාකච්ඡාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, නිවාස අමාත්‍යාංශයේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ විවිධ රාජ්‍ය ආයතන නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress