රාජිත බන්ධනාගාර රෝහලට රැගෙන යාමට පැමිණි ගිලන් රථය පැය 04ක් ලංකා පෞද්ගලික රෝහලේ සිට පිටව යයි
Posted on December 29th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රැගෙන යාම සදහා අද (29) පස්වරුවේ රෝහල වෙත පැමිණි බන්ධනාගාර ගිලන් රථය මන්ත්‍රීවරයා රැගෙන යාමකින් තොරව, ඉන් පිටව ගියා.

ඒ අනුව හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න තවදුරටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

එහිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගත් අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා රෝහලට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා හෙට (30) දිනය දක්වා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙසයි නියෝග කළේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විමසීම සදහා බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක ඊයේ (28) අදාල පෞද්ගලික රෝහල වෙත පැමිණි අතර ඇය නිර්දේශ කර තිබුණේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ අවසරය ලැබේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහල වෙත මාරු කළ හැකි බවටයි.  

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න බන්ධනාගාර රෝහලට රැගෙන යාම සඳහා බන්ධනාගාර ගිලන් රථය නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහල් භූමියට පැමිණියේ පස්වරු 1 ට පමණයි.

කෙසේ වෙතත්, ලංකා රෝහලේ වෛද්‍යවරුන්ගේ අවසරය නොලැබීම නිසා පැය 04 කට වැඩි කාලයක් එහි රඳවා තිබූ ගිලන් රථය සහ පැමිණි නිලධාරින් පසුව පිටව ගියා.

>හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සඳහන් කළේ තම පියා ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබිය යුතු බවට එහි වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ  එක්සත් ජාතික පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ සුවදුක් විමසිම සදහා අද (29) රෝහල වෙත පැමිණි බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රෝහලෙන් මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීම නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද අද (29) පස්වරුවේ ලංකා පෞද්ගලික රෝහල වෙත පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress