සේනක බිබිලේටත් කොකා පෙන්වූ රූමිගේ ඖෂධ මාෆියාව…
Posted on December 29th, 2019

කුෂාන් සුබසිංහ උපුටා ගැන්ම ඉරිදා දිවයින

mafiya

එම ඖෂධය අනුමත නොකරන වෛද්‍යවරුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ

ශ‍්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රාජ්‍ය ආයතනයකි. වෙනත් රාජ්‍ය ආයතනවල කාර්ය භාරයද ඉක්මවා රටේ හදවත බඳු ජනතාවගේ සෞඛ්‍යයට බද්ධව පවතින ආයතනයකි. එවැනි ආයතනයක් වංචාවක්, දූෂණයක් සිදුකරන්නේ නම්, බෙහෙත් පෙත්තෙන්ද ගසා කන්නේ නම් එය රටේම අභාග්‍යයකි.

මුළුමහත් රටේ ජනතාවගේ නිරෝගි බව උකසට තබා තමාගේ කූට අරමුණු ඉටුකර ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා දැරූ නීච ප‍්‍රයත්නය අද මුළු රට ඉදිරියේම අනාවරණය වී තිබේ. ඉන් ප‍්‍රධාන තැනක් ගන්නේ තත්ත්වයෙන් බාල පිළිකා ඖෂධ මෙරටට ආනයනය කිරීමයි.

පියයුරු පිළිකා සඳහා භාවිත කරන ට‍්‍රස්ටුසුමැබ් (Trastuzumab) ඖෂධය සහ වෙනත් පිළිකා රෝගීන් සඳහා ලබා දෙන බෙවැසිසුමැබ් (Bevacizumab) යන ඖෂධ දෙක තමාට හිතවත් සමාගමක් හරහා ආනයනය කිරීමට ඔහු කටයුතු කර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඞ් කුප‍්‍රකට සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනාට ලක්‍ෂ විස්සක මුදලක් ලබාදුන් බවට ද මේ වන විට චෝදනාවට පාත‍්‍ර වී ඇත. එය වෙනම කතාවක් වුවද රූමි තම බල පරාක‍්‍රමය යොදාගෙන මෙතෙක් කර ඇති වරදවල් වලට සාපේක්‍ෂව ගත්කළ සුදු වෑන් කතාව ඉතා සුළු එකකි. එහෙත් රූමිගේ නම ඉදිරියේ ඇති කළු සටහන් සුදු වෑන් කතාව හමුවේ. යට කරන්නට ඉඩ දිය නොහැක. ඔහු සෙල්ලම් කර ඇත්තේ මිනිසුන්ගේ ජීවිතත් සමගය.

පළමුව සඳහන් කරනවා නම් අදාළ පිළිකා ඖෂධ මෙරටට ගෙන්වූ රූමිගේ හිතවත් සමාගම මීට ඉහතදී ‘බ්ලැක් ලිස්ට්’ වූ සමාගමකි. එය පසුව වෙනත් නමක් යටතේ ලියාපදිංචිය ලබාගෙන ඇත. එසේ ලියාපදිංචිය ලබාගත් අදාළ සමාගම එකී බාල පිළිකා ඖෂධ මෙරටට ගෙන්වීම හරහා රටට අහිමි කර ඇති මුදල රුපියල් බිලියන ගණනකි. පසුගිය ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා පමණක් ඒ හරහා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන හාරසිය පනහ ඉක්මවයි. ඒ ට‍්‍රස්ටුසුමැබ් ඖෂධය ආනනය කිරීමෙන් මිලියන 300 ක් ලෙසත් බෙවැසිසුමාබ් ඖෂධ ආනයනය කිරීමෙන් මිලියන 155 ක් ද ලෙසයි.

mafiya2

මිලි ග‍්‍රෑම් 440 ට‍්‍රස්ටුසුමැබ් එන්නත් කුප්පි 1875 ක් ආනයනය කිරීමට එම ටෙන්ඩරය රූමි තමාට හිතවත් සමාගමට ලබා දෙන්නේ ද අපූරු ආකාරයටය. ඒ සඳහා ඔහු කරන්නේ ටෙන්ඩර පිරිවිතර වල නොතිබුණු කොන්දේසියක් තරගකාරී සමාගම් වෙත පසුව ඉදිරිපත් කිරීමය. ඒ වන විට තමාට හිතවත් අදාළ සමාගම එම ටෙන්ඩරය ලබාගෙන ඇත. එකී ටෙන්ඩරය අදාළ සමාගමට පිරිනැමීමෙන් පසුව පනවා තිබුණු කොන්දේසිය වූයේ ‘නැව්ගත කිරීමට පෙර සාම්පල ඔස්ටේ‍්‍රලියාවේ ටී.ජී.ඒ. පරීක්‍ෂණාගාර තුළ තම වියදමින් පරීක්‍ෂණයට ලක්කළ යුතුය’ යන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලද එවැන්නක් සඳහන් නොවේ. සාම්පල නැව්ගත කිරීමට පෙර පරීක්‍ෂාවට ලක්කළ යුතුය යන කොන්දේසිය හිතාමතාම අනෙක් සමාගම් රැවටීම සඳහා යෙදූ එකක් බව මනාව පැහැදිළිය.

එසේම අදාළ ට‍්‍රස්ට‍්‍රසුමැබ් ඖෂධය ඇතුළත් ඖෂධ කාණ්ඩය ටීජීඒ පරීක්‍ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය නොවන බව කැබිනට් මණ්ඩල තීන්දුවකින් 2019-09-15 වැනි දින ප‍්‍රකාශයට පත්කර ඇත. රූමි මෙම කොන්දේසිය අදාළ ටෙන්ඩරය සඳහා පනවන්නේ ඊට පසුවය. ඒ අනුව කැබිනට් මණ්ඩල තීන්දු සහ තීරණද ලෝක සෞඛ්‍ය සංවිධානවල නිර්දේශද ඉක්මවා යමින් රූමි කටයුතු කර ඇත. රූමි මෙම දූෂණ ක‍්‍රියාවලි විගණකාධිපති වාර්තාවෙන්ද කෝප් කමිටු වාර්තාවෙන්ද, ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභා වාර්තාවෙන්ද හෙළිදරව් වී ඇත. රාජ්‍ය ආයතනවල 2015-01-15 දින සිට 2018-12-31 දක්වා කාලය තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන්ද රූමිගේ කෙරුමන් හෙළි වී ඇත. එහෙත් රූමිට විරුද්ධව තවමත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග නැත.

වරෙක අදාළ එන්නත් කුප්පි 1500 ක් ගෙන්වීමේ අවශ්‍යතාවයක් රට තුළ පැනනැ`ගී ඇත. එය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු ටෙන්ඩරයකි. රූමි ඒ සඳහා අපූරු උපක‍්‍රමයක් භාවිත කරයි. එනම් අදාළ ඉල්ලූමට සරිලන ඖෂධ ප‍්‍රමාණය දින තුනක් යටතේ කාණ්ඩ තුනකට ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමයි. රූමිට අතපෙවිය හැක්කේ එන්නත් කුප්පි 500 කට අඩු ටෙන්ඩර් සඳහා පමණි.

2018-05-11, 2018-05-15 සහ 2018-05-24 යන දිනවල එසේ තම බලපරාක‍්‍රමය තුළ ටෙන්ඩර් කැඳවයි. අඩුම ටෙන්ඩර් ඉල්ලූම්කරුවාට අදාළ ටෙන්ඩරය ලබා නොදී තම හිතවත් සමාගමට ටෙන්ඩර් පිරිනැමීමට රූමි කටයුතු කරයි. ඒ හරහා රූමි රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් රජයට පාඩු කර ඇත. මේ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන ජාතික ප‍්‍රසම්පාදන කොමිසම මෙකී ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, ඒ පිළිබඳව පරීක්‍ෂණ කරන ලෙසත් මෙම ඖෂධය ගෙන්වීම නතර කර පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් දන්වා සිටී. එහෙත් එවැනි පරීක්‍ෂණයක් සිදුවූයේ නැත. රූමි සිටියතාක් කල් එකී ඖෂධය එකී සමාගම හරහා ලංකාවට පැමිණියේය.

එසේම ට‍්‍රස්ටුසුමැබ් ඖෂධ නාමය යටතේ අදාළ සමාගම රුසියාවෙන් ආනයනය කරන හර්ටිකැඞ් ඖෂධය අපේ රටට ගෙන්වීමට සුදුසු බවට සහතික කළ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ නමක් නැත. ඒ වෙනුවට තිබෙන්නේ කාගේ දැයි සොයාගන්නටත් බැරි අත්සනක් පමණි.

ට‍්‍රස්ටුසුමැබ් යටතේ හර්ටිකැඞ් වෙළෙඳ නාමයෙන් යුතු ඖෂධ පමණක් රජයේ රෝහල්වලට ලබාදීම නිසා සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 3.8 ක් බව ඉහත සඳහන් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දැක්වේ. මුල් අවස්ථා සහ පැතිරුණු අවස්ථාවෙහි පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට 2004 වසරේ සිට 2016 වසරේ මුල් අවධිය තෙක් කිසිදු පැමිණිල්ලක් නැතිව ට‍්‍රස්ටුසුමැබ් ඖෂධය ලබාදී තිබේ. එහෙත් 2016 න් පසු මේ දක්වා ‘හර්ටිකැඞ්’ නම් වෙළෙඳ නාමයෙන් යුතු ඖෂධ පමණක් ලබාදී ඇති බව ඉහත කොමිෂන් සභා වාර්තාවේ නිරීක්‍ෂණවල දැක්වේ.

එසේම මෙරටට පළමු වරට ආනයනය කළ එකී ඖෂධය සියලූම පියයුරු පිළිකා රෝගීන්ට ලබාදීමට සුදුසුද යන්න සලකා බැලීමට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වූ ඖෂධ ඇගයීම් කමිටුවකට යොමු කර නොතිබූ බවද ජනාධිපති කොමිෂන් සභා වාර්තා නිරීක්‍ෂණවල සඳහන්ය. රුසියාවේ බයෝකැඞ් ආයතනය විසින් නිෂ්පාදිත මෙකී ‘හර්ටිකැඞ්’ ඖෂධය මෙරටෙහි ලියාපදිංචි කර ඇත්තේ එකී ඖෂධයෙහි ගුණාත්මකභාවය පිළිබඳව සෙවීම සම්පූර්ණයෙන් ඉවත දමමින් බවද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිරීක්‍ෂණවල වේ.

තාක්‍ෂණික කමිටුව හෝ ප‍්‍රසම්පාදන කමිටුව හෝ ඉහත කරුණු සොයා බැලීමට උත්සාහ නොදරා මිලි ග‍්‍රෑම් 440 ‘හර්ටිකැඞ්’ කුප්පි 5000 ක් ආනයනය කිරීමට රුපියල් 720,500,000 ක මුදලක් වැයකර තිබූ බවද එම නිරීක්‍ෂණවල දැක්වේ.

ඖෂධයක් යම් රටක ලියාපදිංචි කිරීමේදී ඒ සඳහා Coop (Certificate of Pharmaceutical Products) ලබාගත යුතු අතර බොහෝ රටවල එය නිකුත් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් මගිනි. එහෙත් ඉහත ඖෂධය සඳහා රුසියාවේ මෙම සහතිකය නිකුත් කර ඇත්තේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශය මගින් බව ඖෂධ නියාමන අධිකාරියේ නියාමන ඖෂධවේදී පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවේදී ප‍්‍රකාශ කර ඇත.

පිළිකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය කෝප් කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇති පරිදි හර්ටිකැඞ් ඖෂධය ලබාදුන් රුසියාවේ රෝගීන් 44 දෙනාගෙන් 05 දෙනකු මියගොස් ඇත. එසේම මෙම බෙහෙත පැතිරුණු පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන බෙහෙතක් වන අතර එය මූලික අවස්ථාවේ පියයුරු පිළිකා රෝගීන්ටත් ලබා දීම හානිදායක නිසා එයට තම සංගමය විරුද්ධ වූ බවත් සභාපතිනිය කෝප් කමිටුව හමුවේ ප‍්‍රකාශ කර ඇත. තවත් ඛේදනීය කරුණක් වන්නේ එසේ එම ඖෂධය අනුමත නොකරන වෛද්‍යවරුන් සඳහා විනය පරීක්‍ෂණවලට මුහුණ දීමට සිදුවීමත්ය. මෙම කරුණු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2017-07-07 වැනි දින පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී අනාවරණය වූ බව කෝප් කමිටු වාර්තාවේ සඳහන්ය.

පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ කොලේජය විසින් මෙකී ඖෂධය පිළිබඳව සඳහන් කරන්නේ මුල් අවස්ථා පියයුරු පිළිකා රෝගීන්ට පාවිච්චි කිරීම සඳහා මෙම ඖෂධය සුදුසු නොවන බවයි. එමෙන්ම මෙකී ඖෂධයෙහි ගුණාත්මකභාවය සහ කාර්යක්‍ෂමභාවය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශක අනුගමනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අපොහොසත් වී ඇති බවද අදාළ වාර්තාවේ දැක්වේ.

රුසියාවේ උපත ලබා 2015.12.31 දින එරට ලියාපදිංචිය ලැබූ එම බෙහෙත දින 48 ක් තුළ එනම් 2016.02.18 අපේ රටේ ලියාපදිංචිය ලබයි. මේ පිළිබඳව පරීක්‍ෂණ කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සඳහන් කරන්නේ ඒ වන විට එම ඖෂධය පාවිච්චි කර තිබුණේ පැතිරුණු පිළිකා රෝගීන් 44 ක් වැනි ඉතා සුළු පිරිසකට බවයි. එසේම සායනික පරීක්‍ෂණයක් ඇරඹී තිබුණේද 2016 ජනවාරි මසදී බවත් මෙම නිරීක්‍ෂණ සඳහා අවම වශයෙන් වසර පහක්වත් අවශ්‍ය වන බව අනාවරණය වේ. ඉදින් මේ කුමන හදිසියකින් කළ කටයුත්තක්ද යන්න ප‍්‍රශ්නයකි.

විගණකාධිපති වාර්තාවෙන්ද, කෝප් කමිටු වාර්තාවෙන්ද, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන්ද, ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාවෙන්ද මෙහිදී වරදක්, දූෂණයක් සිදුවී ඇති බවට කරුණු කාරණා සාක්‍ෂි සහිතව ඔප්පු කර ඇත. 

එමගින් ඖෂධ හි`ගයක්ද රට තුළ නිර්මාණය වුණි. පිළිකා රෝගීන්ද අනතුරේ වැටුණි. ජාතික ධනය නිරපරාදේ නාස්ති විය. එහෙත් අදාළ සමාගමටවත්් රූමිටවත් විරුද්ධව තවමත් ක‍්‍රියාමාර්ග නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress