RANJANGATE SCANDAL – විනිසුරු පද්මිණී රණවක ලබාදුන්, දුමින්ද සිල්වා නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු අත්හිටුවන්න – පාර්ශව රැසකින් අධිකරණ කොමිසමට සහ පොලිස් මූලස්ථානයට පැමිණිලි
Posted on January 7th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කරමින් ලබාදුන් නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු ශූන්‍ය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අද පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කෙරුණා.

ඒ, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එවකට සිටි විනිසුරුවරියක සහ රහස් පොලීසියේ ප්‍රධානීන් කිහිපදෙනෙකු සමඟ සිදුකරන සංවාද ඇතුළත් හඬ පට පදනම් කරගනිමින්.

ඒ අනුව නව සිංහල රාවය සංවිධානය, අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.  

එසේම නව සිංහලේ ජාතික සංවිධානයද අද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වරදකරු කරමින් ලබාදුන් නඩු තීන්දුව ඇතුලු අනෙකුත් තීන්දු ශූන්‍ය කළ යුතු බව පවසමින්.  

මේ අතර සිංහලේ සංවිධානයද අධිකරණ සේවා කොමිසන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අනතුරුව සිංහලේ සංවිධානය පොලිස් මූලස්ථානය වෙතද කරුණු 8 ක් යටතේ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක විසින් සාපරාධී ලෙස මරණයක් සිදුකිරීමට කුමන්ත්‍රණය කර ඇති බැවින් ඇයව අත්අඩංගුවට ගත යුතු බව පවසමින්.

ඔවුන් ගොනුකළ පැමිණිල්ලේ ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ හිටපු මහාධිකරණ විනිසුරුවරිය අපරාධ චෝදනා එල්ලවී ඇති සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් වෙනුවෙන් නීතිමය උපදෙස්, රැකවරණ හා නීතිය අවභාවිත කරන ආකාරය පිළිබඳ සැළසුම් සැකසු බවයි.

අභියාචනාධිකරණයට උසස්වීමක් ලබාගැනීම වෙනුවෙන් තම සන්තකයේ පැවති නඩු ගොනුවක් තම අභිමතය පරිදි භාවිත කරමින් චේතනාන්විතව මිනීමැරීම වෙනුවෙන් අධිකරණ බලය අත්තනෝමතිකව යොදාගැනීම හේතුවෙන් මිනිස් ඝාතනයක් සිදුකිරිමට අනුබලදීම හා චූදිතයා තම පෞද්ගලික අපේක්ෂාවක් වෙනුවෙන් මිනිස් පළිහක් ලෙස භාවිතාවේ යෙදවීම හේතුවෙන් වින්දිතයාට නිදහස්ව ජීවත්ව සිටිමට ඇති අයිතිය අහිමි කිරීම හේතුවෙන් මිනිමැරීමට තැත් කිරීමේ චෝදනා එල්ලවිය යුතු බවද සිංහලේ සංවිධානය අදාළ පැමිණිල්ලෙන් කරුණු ගොනුකර තිබෙනවා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුලු දේශපාලන දඩයමට ගොදුරු වූ සියලු දෙනාටම යුක්තිය ඉෂ්ඨවීමට නම් ශානි අබේසේකර විසින් විමර්ශන සිදුකළ, පද්මිණී රණවක විනිසුරුවරිය විසින් තීන්දු ලබාදුන් නඩු යළි විභාග කර විමසා බැලිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර, ජාතික නිදහස් පෙරමුණ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් කියා සිටියේ විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර යොදාගෙන ඇති බවයි.

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධ නඩු තීන්දුවට බලපෑම් එල්ලවී තිබීමේ පසුබිමක් තුළ, ජනාධිපති කොමිසමක් පත් කර දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනයක් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඉල්ලීමක් කරනවා.

අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.<

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress