දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානය සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය කඩිනමින් ස්ථාපනය කිරීමට ඇමති තිලංග සුමතිපාල මහතා උපදෙස් දෙයි.
Posted on January 9th, 2020

මාධ්‍ය ඒකකය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය.

ශ්‍රී ලාංකීය දැව කර්මාන්තය සඳහා අගය එකතු කිරීමේ අරමුණෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානයක් සහ දැව පිරිසැකසුම් නවෝත්පාදනමධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතු කඩිනම් කරන ලෙස තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා විසින් අදාල නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

ශ්‍රී ලාංකීය දැව කර්මාන්තය සඳහා අගය එකතු කිරීමේ අරමුණෙන් තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI), මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල එක්ව මෙම දැව නිර්මාණ නවෝත්පාදන මධ්‍යස්ථානය (TDIC) සහ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානය (TPIC) ස්ථාපනය කිරීමට නියමිතය.

                                                                                                                                                                                                                                                                                                                                                               මෙම මධ්‍යස්ථාන සාර්ථක අයුරින් ක්‍රියාත්මක වීමෙන් ශ්‍රී ලාංකීය දැව හා දැව පදනම් කරගත් නිෂ්පාදන හා නවෝත්පාදන නිර්මාණයන් තරගකාරී නවීන ගෝලීය වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට හැකියාව උදාවන අතර, ශ්‍රී ලාංකීය දැව කර්මාන්තයේ උන්නතිය සඳහා අංග සම්පූර්ණ සේවා සපයන මධ්‍යස්ථාන ලෙස ද මේවා ඉදිරි අනාගතයේ දී ක්‍රියාත්මක වනු ඇත.

මධ්‍යස්ථාන ද්විත්වයෙහි සාර්ථක ක්‍රියාත්මක වීම හරහා,

දැව නිෂ්පාදන නිර්මාණ හා ආශ්‍රිත විශේෂ කලාපයක් බවට මොරටුව ප්‍රදේශය පත්කිරීම, ශ්‍රී ලාංකීය කුඩා දැව නිෂ්පාදන කර්මාන්තයන් වැඩිදියුණු කිරීම සහ ඒ සදහා නව අර්ථකථනයක් සැපයීම, පුහුණුකිරීම්, දැනුම හා තාක්ෂණය පවරා දීම හරහා ධාරිතා ගොඩනැංවීම, දැව කර්මාන්ත අංශයේ රැකියා උත්පාදනය, ශ්‍රී ලාංකීය දැව නිර්මාණ සඳහා අනන්‍ය වූ සුවිශේෂී සන්නාමයක් නිර්මාණය කිරීම හා බුද්ධිමය දේපළ හිමිකම් මගින් එය සුරක්ෂිත කිරීම, ශ්‍රී ලාංකීය දැව සහ දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා උසස් තත්වයේ අපනයන වෙළඳපොළක් නිර්මාණය කරදීම, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන මගින් දළ දේශීය නිෂ්පාදිතය සඳහා දායකත්ව ප්‍රතිශතය ඉහළ නැංවීම සහ ආර්ථික සංවර්ධනය උදෙසා දැව නවෝත්පාදන අපනයනය ඉහළ නැංවීම වැනි දිගුකාලීන අරමුණු ඉටුකර ගැනීම අමාත්‍යාංශයේ ඉලක්කයයි.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාවට නැංවීම උදෙසා මෙම දැව නවෝත්පාදන මධ්‍යස්ථාන ද්විත්වය ස්ථාපිත කිරීම වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය වෙනුවෙන් ඒ යටතේ ක්‍රියාත්මක වන COSTI අංශය අතර ත්‍රෛපාර්ශ්වික  අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. ක්‍රියාකාරී සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති අදාළ ක්‍රියාකාරකම් සිදු කරනු පිණිස අමාත්‍යාංශය විසින් මෙම මධ්‍යස්ථාන ද්විත්වය සඳහා අවශ්‍ය මූලික මූල්‍ය ප්‍රතිපාදන අදාළ විශ්වවිද්‍යාල වෙත ලබාදී ඇති අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ දැව පිරිසැකසුම් නවෝත්පාදන මධ්‍යස්ථානයට අදාල පර්යේෂණ හතරක් මේ වන විටත් සාර්ථකව පවත්වමින් සිටි. ඒ යටතේ අන්තර්ජාලය හරහා සියලු මට්ටම් වල කර්මාන්තකරුවන්ට සම්බන්ධ විය හැකි වේදිකාවක් දියත් කිරීමට ඔවුන් සූදානමින් සිටී.

මේ හා සමගාමීව ශ්‍රී ලාංකීය දැව කර්මාන්තය සහ ඒ හා අදාළ නව ව්‍යාපෘති ශක්තිමත් කිරීමේ අරමුණින් ජාත්‍යන්තර ඝර්ම කලාපීය දැව සංවිධානයේ (ITTO) සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මාධ්‍ය ඒකකය

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress