RANJANGATE SCANDAL – රන්ජන් රාමනායක 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
Posted on January 15th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

>එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කට හඬ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත මෙහිදී නියෝග කළේ.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද පස්වරු 1.30 පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් සිදුකර තිබූ දුරකථන සංවාද ඇතුළත් ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයවල වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසය නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා.

එම විමර්ශන උදෘත සහ හඬ පට සම්බන්ධයෙන් සිය උපදෙස් ලබාදෙමින් නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  111 ව්‍යවස්ථාවේ ඇ 2 වගන්තිය යටතේ අධිකරණ වරෙන්තුවක් ගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මේ එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයයි.

“කවර හෝ විනිශ්චයකාරවරයෙකුගේ, මූලාසනාරූඪ නිලධාරියෙකුගේ, රජයේ නිලධාරියෙකුගේ හෝ මේ ව්‍යවස්ථාවේ (පළමු වැනි) අනු ව්‍යවස්ථාවේ සඳහන් යම් නිලධාරියෙකුගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේදී හෝ කර්තව්‍ය ඉටු කිරීමේදී හෝ ඒ විනිශ්චයකාරවරයා, මූලාසනාරූඪ නිලධාරියා, රජයේ නිලධාරියා හෝ නිලධාරියා කෙරෙහි නීත්‍යානුකූල බලයක් නොමැතිව යම්කිසි බලපෑමක් කරන හෝ බලපෑමක් කිරීමට තැත් කරන සෑම තැනැත්තෙක්ම වරදක් කරන අතර මහාධිකරණය විසින් ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් දක්වා දීර්ඝ වියහැකි කාලසීමාවකට දෙයාකාරයකින් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාර ගත කිරිම හා දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් වන්නේය. ඊට අමතරව, එසේ වරදකරු කරනු ලැබූ දින සිට ඒ තැනැත්තා අවුරුදු 7ක් නොඉක්මවන කාලයකට ඡන්ද හිමියෙකුවීමට ද ජනමත විචාරණයකදී හෝ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තෝරාපත් කර ගැනීමේ මැතිවරණයකදී හෝ පළාත් පාලන ආයතනයක සභිකයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමකදී හෝ ඡන්දයදීමට හෝ රජයේ කවර හෝ ධූරයක් දැරීමට නැතහොත් රජයේ නිලධාරියෙකු වශයෙන් සේවයෙහි නියුක්ත කරනු ලැබීමට ද නුසුදුස්සෙකු කරනු ලැබිය හැක්කේය”

උපුටා ගැනීම අවසන්….

එසේම රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් විනිශ්චයකාරවරුන්වන පද්මිණී රණවක ගුණතිලක, ගිහාන් පිලපිටිය, ධම්මික හේමපාල යන නිලධාරීන්ගේ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යයට බලපෑමක් කිරීමෙන් හෝ ඊට තැත් කිරීමෙන් අපරාධයක් සිදුකළ බවට  සැකකරුවෙකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවද නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වල සඳහන්.

එබැවින් ඉහත උපදෙස් පරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබුණා.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතාට කරුණු දැක්වීමක් සිදුකළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයාගෙන් වරෙන්තුවක්ද ලබාගත්තා.

මන්ත්‍රීවරයා එම අවස්ථාවේ සජීවි දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැරියා

ඒ අනුව ඊයේ පස්වරු 6.15 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙතයි.

කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ අද පස්වරු 1.30 පමණ වන තෙක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රංජන් රාමනායක මන්ත්‍රීවරයා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress