පාස්‌කු ප්‍රහාරයේ වගකීම ව්‍යවස්‌ථාදායක සභාවටයි… විජයදාස රාජපක්‍ෂ මැතිසබයේදී කියයි
Posted on January 25th, 2020

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා උපුටා ගැන්ම දිවයින

wij

පාස්‌කු බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූ මිනිස්‌ ඝාතනවලට මූලිකවම වගකිව යුත්තේ පූජිත් ජයසුන්දර පොලිස්‌පති ධුරයට පත් කරනු ලැබූ ව්‍යවස්‌ථාදායක සභාව යෑයි මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවසීය.

 එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එස්‌. එම්. වික්‍රමසිංහ මහතා පොලිස්‌පති ධුරයට පත්වූයේ නම් එම මිනිස්‌ ඝාතන සිදු නොවන බව ද හෙතෙම සඳහන් කළේය.

 එදා යුද්ධය කාලයේවත් ඝාතනය නොවුණු ආකාරයට පාස්‌කු ඉරිදා අමු අමුවේ, කෑලි කෑලි වලට යන්න ජීවිත විනාශ වුණා. ඒ මිනීමැරුම් සියල්ලටම ව්‍යවස්‌ථාදායක සභාව වගකිව යුතුයි. මම එහි සිටි සාමාජිකයෙක්‌.

 පොලිස්‌පති පත්කරන වෙලාවේ එදා නම් නිර්දේශ කරන කොට මම කිව්වේ ඒකට එක නමයි නිර්දේශ කළ යුත්තේ කියලා. නමුත් ජනාධිපතිතුමාට බලපෑම් කරලා නම් තුනක්‌ ගෙනල්ලා පූජිත් ජයසුන්දරව නම් කළා. එතැන සිටිය යුතු සුදුස්‌සා එස්‌. එම්. වික්‍රමසිංහ මහතායි. නමුත් ඒකට සභාව විරුද්ධ වුණා. ඒකට හේතුව වුණේ වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා වුණු නිසායි. මම කිව්වා ඒකම තමයි සුදුසුකම. එතරම් යුද කාලයක්‌ තිබිලත් ජනාධිපතිගේ ජීවිතය ආරක්‍ෂා කරපු ඒ නිලධාරියාට පොලිස්‌පති ධුරය නොදීම පාපයක්‌ කියා.

 එදා එජාපය කිව්වා අපට පක්‍ෂපාතී පොලිස්‌පතිවරයෙක්‌ පත්කරන්න ඕනෑ කියලා. පූජිත් ජයසුන්දර පත් කළ නිසා තමයි පාස්‌කු ප්‍රහාරය සිදුවුණේ. ඒකට ව්‍යවස්‌ථාදායක සභාවේ සියලුම සාමාජිකයන් වගකිව යුතුයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress