පැතිර යමින් පවතින කොරෝනා වෛරසය පැතිරීම වලක්වා ගැනීමට ආයතනය තුල වැඩපිලිවෙලක් ඇති කිරීමට කෙරෙන ඉල්ලීම.
Posted on January 29th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය

2020.01.29

සභාපති,
ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය,
කොළඹ

ගරු සභාපතිතුමනි,

පැතිර යමින් පවතින කොරෝනා වෛරසය පැතිරීම වලක්වා ගැනීමට ආයතනය තුල වැඩපිලිවෙලක් ඇති කිරීමට කෙරෙන ඉල්ලීම.


ලෝකයේ විශාල රටවල් ප‍්‍රමාණයකට කොරෝනා වෛරසය පැතිර ඇති අතර ඊට ගොදුරු වූ ආසාධිතයන්ගේ ප‍්‍රමාණයද ඉහල යමින්, එමගින් මිය ගිය සංඛ්‍යාවද ඉහල ගොස් ඇත. ශ‍්‍රී ලංකාව තුලද එම වෛරසයට ගොදුරු බවට මාධ්‍ය තුල වාර්තා කර ඇත. මේ වන විට මෙම මාරාන්තික වෛරසය රටට ඇතුල්වීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය ආමාත්‍යංශයේ විශේෂ වැඩපිලිවෙලක් දියත් කර ඇති අතර ගුවන් තොටුපොලවල් සඳහාද ආසාධිතයන් හඳුනාගැනීම සඳහා වැඩපිලිවෙලක්ද දියත් කොට ඇත.

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියද ජාත්‍යන්තර නාවික කේෂත‍්‍රයේ ක‍්‍රියාත්මක වන වරායකි. වරාය තුලට පැමිණෙන නෞකාවල කාර්යය මණඩල වෛද්‍ය පරීක්ෂාවන් සඳහා කටයුතු කරන සාම්ප‍්‍රදායී ක‍්‍රියාවලියක් පවතින අතර ඒ සඳහා ක‍්‍රියාත්මක වැඩ පිලිවෙලක්ද ඇත. නමුත් මෙම තත්වය යටතේ නෞකා මෙහෙයුම් සිදුකරන, බහළු මෙහෙයුම් සිදුකරන, සාම්ප‍්‍රදායී නැව් බඩු මෙහෙයුම් සිදුකරන  සේවකයන්හට මේ පිලිබඳව අවබෝධයක් ලබා දෙමින් ආරක්ෂිත වැඩපිලිවෙලක් මේ වන තෙක් ක‍්‍රියාත්මක කොට නොමැත. ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෛද්‍ය කොට්ඨාශය තුල මෙම වෛරසය හේතුවෙන් රෝගයට ගොදුරු වූ ආසාධිතයෙකු සම්බන්ද අනුගමනය කල යුතු වැඩ පිලිවෙලක් පිලිබඳව සහ එම සේවකයන් විසින් ආසාධිතකු රෝහල්ගත කිරීමේදී සේවකයන්ගේ ආරක්ෂිතභාවය තහවුරු කිරීමටත්, ගිලන් රථ ඊට මැදිහත්වීමේදී එම සේවකයන් සඳහා ආරක්ෂිත වැඩපිලිවෙලක් සිදුකර නොමැති බව දැනගන්නට ලැබී ඇත. මේ වන තෙක් මේ සඳහා වරාය තුල නිසි වැඩ පිලිවෙලක් නොමැතිවීම කණගාටුවකි.

දිනකට වරාය භූමියට පිවිසෙන පිරිස තිස්දහස ඉක්මවයි. චීන ජාතික ශ‍්‍රමිකයින්ද, සංචාරක නෞකා වලින් පැමිණෙන සංචාරකයින්ද වරාය භූමිය උපයෝගි කර ගනු ලබයි. මේ සියළු දෙනාගේ කාර්යයන් සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා වරාය පොලීසිය, ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාශයත් යන ආයතනයන්ගේ මැදිහත් වීම සිදුවේ. මෙවැනි තත්වයන් යටතේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භුමිය තුල පැතිර යමින් පවතින කොරෝනා වෛරසය ආසාධිතයන් හඳුනා ගැනීම සඳහා ක‍්‍රමවත් වැඩපිලිවෙලක් ආරම්භකර නොමැතිවීමේ හේතුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් හට වරාය තුලට පැමිණෙන සේවාදායකයින් හට අවධානමක් පවතී.  එබැවින් මේ සඳහා පවතින අනතුරුදායක තත්වය මගහරවා ගැනීම සඳහා කොළඹ, ත‍්‍රීකුණාමලය හා ගාල්ල වරාය භූමිය පිලිගත හැකි සෞඛ්‍ය ආරක්ෂිත කලාපයක් බවට තහවුරු කිරීමට ක‍්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කොට වරාය භූමිය තුල නියැලෙන අය සඳහා විශ්වාසය තහවුරු කිරීමට කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි.

මෙයට,
 විශ්වාසී,
චන්ද්‍රසිරි මහගමගේ
ප‍්‍රධාන ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress