පාස්කු ප්‍රහාර ගැන සොයන කොමිසමේදී ශානි අබේසේකරට තවත් චෝදනාවක්
Posted on January 31st, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

මාවනැල්ලේදී බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ප්‍රදේශයට පැමිණියද, නිල වශයෙන් එම විමර්ශන භාර ගැනීමක් සිදුනොකර එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව අද අනාවරණ වුණා.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේදීයි.

එම කොමිසම හමුවේ අද ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණියේ කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්. කමල් පෙරේරායි.

එහිදී ඔහු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු කිසියම් විමර්ශනයක් සඳහා පැමිණෙන්නේ එය විශේෂ විමර්ශනයක් නම් පමණක් බවයි.

එමෙන්ම, එලෙස අධ්‍යක්ෂවරයා පැමිණෙන්නේ අදාළ විමර්ශනය භාර ගැනීමට පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශානි අබේසේකර එලෙස පැමිණ විමර්ශන භාර නොගෙන පිටව යෑම පිටුපස යම් දේශපාලන මැදිහත්වීමක් පවතින්නට ඇති බවට තමාට සැකයක් මතුවන බවයි සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

ඔහුගෙන් හරස් ප්‍රශ්න විමසීම සඳහා හිටපු ආණ්ඩුකාර අසාද් සාලිිට ද අවස්ථාව හිමිව තිබූ අතර, ඒ අනුව, අද ඔහු ද කොමිසමට කැඳවා තිබුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පළමුව සැකකරුවන් කොපමණ පිරිසක් අත්අඩංගුවට ගත්තේ දැයි කොමිසම මෙහිදී ප්‍රශ්න කළා.

සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළේ පළමුව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සාදික් හා සිද්ධික් යන පුද්ගලයින් දෙදෙනා මෙයට ඍජුවම සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වූ බවයි.

ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කිරීමට පෙර සාදික් හා සිද්ධික් ඔවුන්ගේ දරු පවුල් සමග ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව ද මෙහිදී සහකාර පොලිස් අධිකාරිවරයා කියා සිටියා.

කෙසේ වෙතත්, පලාගිය සාදික් හා සිද්ධික් මව්ලවිවරයෙකු හරහා පොලීසියට භාර දෙන බවට එකල ආණ්ඩුකාර අසාද් සාලි පොලිස්පතිවරයාට දැනුම් දුන් බව නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සම්මන්ත්‍රණයකදී තමන් ඇතුළු කණ්ඩායමට පැවසූ බව ද සහකාර පොලිස් අධිකාරිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි භාරදීමක් පසුව සිදු නොවූ බවයි.

එමෙන්ම, තමන් ඇතුළු කණ්ඩායම ඒ වනතෙක් සිදුකරමින් පැවති විමර්ශනවල තොරතුරු අසාද් සාලිට ලැබී තිබූ බවට තමන්ට සැක මතු වූ බවද සහකාර පොලිස් අධිකාරිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඔහු කියා සිටියේ 2018 වසරේ දෙසැම්බර් 26 වනදා කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක කාර්යාලයට අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පැමිණ තමන් මුණ ගැසුණු බවයි

එහිදී කොමිසම පොලිස් අධිකාරීවරයාගෙන් විමසා සිටියේ ශානි අබේසේකර පැමිණ කුමක් විමසා සිටියේද යන්නයි.

පරීක්ෂණ පිළිබඳව වැඩිදුර විමසා බැලීමට තමා එහි පැමිණි බවට ශානි අබේසේකර එහිදී ප්‍රකාශ කළ බවත්, පැය හතරහමාරකට පමණ පසුව එම ස්ථානයෙන් පිටව ගිය බවත් ඔහු ප්‍රකාශ කළා.

එහිදී තමාගේ නිලධාරීන් පිරිසක් පරීක්ෂණ සඳහා කෑගල්ලේ රඳවා යන බව ශානි අබේසේකර ප්‍රකාශ කර ඇති අතර,එය සාමාන්‍යයෙන් සිදුනොවන ක්‍රියාවලියක් බව පොලිස් අධිකාරිවරයා පෙන්වා දුන්නා.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළා.

තමා ඇතුළු පිරිසටද තවදුරටත් පරීක්ෂණ සිදුකරගෙන යන ලෙසට නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන දැන්වූ බවයි ඔහු කියා සිටියේ.

>අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයාට තිබූ අවිශ්වාසය ඊට හේතුව විය හැකි බව පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළා.

සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පියා වන ඊබ්‍රාහිම් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ විමර්ශන කටයුතු තමාගෙන් ඉවත් කළ බව ද කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්. කමල් පෙරේරා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress