වතු කම්කරුවන් සඳහා සහන සැලසීම
Posted on March 26th, 2020

මුනියණ්ඩි කාලිදාස් කැඳවුම්කරු කඳුකර සහෝදරත්ව ව්‍යාපාරය

ඉතා බිහිසුනු ලෙස කොරෝනා වෛරසය ලොවපුරා ජීවිත දහස් ගණනින් බිලිගනිමින් තිබෙන මොහොතක ලාංකික අප ද එම භයානක තත්වයට මුහුණදී සිටින්නෙමු. මෙම වෛරසය පැරදවීම සඳහා ආණ්ඩුව විසින් තීන්දු තීරණ ගණනාවක් ගෙන තිබුනද මෙරටේ විශාල පිරිසක් ජීවත්වන වතු ආශ‍්‍රිත ජනතාවගේ ජන ජීවිතය පිළිබඳ කිසිදු සාධාරණ තීන්දුවක් නොගැනීම සම්බන්ධව අපට තිබෙන්නේ මහත් කණගාටුවකි.

සියවස් දෙකක ඉතිහාසයකට හිමිකම් කියන වතු කම්කරු ජනතාව මේ මොහොත වන විට ඉතා අසරණ තත්වයකට පත්ව සිටී. එසේම ඔවුන්ට සේවයට පැමිණෙන ලෙසට වතු සමාගම් බලපෑම් කරමින් ඇත. පෙර පාසල් ද ඇතුළුව සියලූ අධ්‍යාපන ආයතන වසා දමා තිබෙන තත්වයක් තුළ දරුවන් නිවාස තුළ හුදකලාකොට වැඩට යෑම නිසා දරුවන් අනතරුවලට ලක්වීමට තිබෙන අවස්ථාව වැඩිය. වතු කම්කරුවන් සමූහයක් ලෙස අඩු පහසුකම් මධ්‍යයේ පේලි නිවාස තුළ ජීවත්වන නිසාම ඔවුන්ට ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිය. එමෙන්ම කොරෝනා වැනී ඉක්මනින් පැතිරයන වසංගත තත්වයකට මොවුන් ලක්වීමට තිබෙන දැඩි අවදානම කෙසේවත් නොසලකා සිටිය නොහැකිය.

මෙම අවදානම් තත්වය හමුවේ රටේ වෙසෙන විවිධ තෝරාගත් කොටස් වෙනුවෙන් රජය විසින් නොයෙක් වර්ගයේ සහන කීපයක් යෝජනා කර ඇත. එහෙත් වතු කම්කරු ජනතාව සඳහා කිසිදු සහනාධාරයක් රජය විසින් ඉදිරිපත් කර නැත. අමතර කිසිදු ආදායම් මාර්ගයක් නොමැති වතු කම්කරුවන් මේ මොහොතේ ඉතා අසරණ තත්වයකට පත්ව සිටී. එබැවින් රටේ ජාතික ආදායමෙන් වැඩි පංගුව රටට ලබාදෙන වතු කම්කරු ජන ජීවිත අඩපන නොකර වැවිලි කර්මාන්තයේ ඉදිරි දියුණුව සම්බන්ධයෙන් ද සලකා රජයේ බලධාරීන් වගකීම් සහගත පියවරක් ගතයුතුය. වැවිලි සමාගම් හා රජය මගින් සහතික කළ නිසි සනීපාරක්‍ෂක වැඩපිළිවෙලක් නොමැතිව වතු සේවකයන් වැඩට නොකැඳවිය යුතු බව අප ඉල්ලා සිටින අතර වතු කම්කරුවන් වසර ගණනාවක සිට ඉල්ලා සිටි වර්තමාන කැබිනට් මණ්ඩළය විසින් ද අනුමත කළ බව ප‍්‍රසිද්ධ කළ රු 1000/= වැටුප ගෙවීම සඳහා නොපමාව කටයුතු කළ යුතුයැයි අප දැඩිව ප‍්‍රකාශ කර සිටිමු. එමෙන්ම අනෙකුත් ක්‍ෂේත‍්‍රයන් සඳහා ලබාදීමට පොරොන්දු වූ සහනාධාර වතු කම්කරුවන් වෙනුවෙන්ද ලබාදී ඔවුන් මුහුණ දී සිටින ඛේදවාචකයෙන් ගලවාගැනීමට කටයුතු කළ යුතුයැයිද වැවිලි ක්‍ෂේත‍්‍රය ආශි‍්‍රත කඳුකර ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන අප ව්‍යාපාරය, වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නෙමු.
ස්තුතියි.
මෙයට,
මුනියණ්ඩි කාලිදාස් කැඳවුම්කරු කඳුකර සහෝදරත්ව ව්‍යාපාරය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress