පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ථ ප්‍රහාරයන් සම්බන්ධ සැකකරුවෙකුගේ නීතීඥභාවය අත්හිටුවීම පිළිබද ඉල්ලීමකි.
Posted on April 17th, 2020

රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

ගරු අග විනිසුරු ජයන්ත ජයසූරිය මැතිතුමා,
සභාපති,
අධිකරණ සේවා කොමිෂන් සභාව,
කොළඹ. (අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම් තුමාගේ මාර්ගයෙන්)
2020/04/17 ගරු මැතිතුමනි, පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ථ ප්‍රහාරයන් සම්බන්ධ සැකකරුවෙකුගේ නීතීඥභාවය අත්හිටුවීම පිළිබද ඉල්ලීමකි. නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා 2019 අප්‍රේල් මස 21වන පාස්කු ඉරුදින සිදු කරන ලද ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අත්අඩංගුවට පත්ව ඇති බව මේ වන විට අප සියලු දෙනාම දැනුවත් කරුණකි.   මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව 2020 අප්‍රේල් මස 15වන දින කරුණු පැහැදිලි කරමින් සඳහන් කර සිටියේ  එම නීතීඥවරයා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු සමග සබඳතා පැවැත් වූ බවටත්, බෝම්බකරුවන් සමග විවිධ සංවිධානවල නිළතල දරා ඇති බවත් එපමණක් නොව පාස්කු ඉරුදින සිය ගණනක් වන අහිංසක ජනතාව සමූල ඝාතනය කරනු ලැබූ  ම්ලේච්ඡ ත්‍රස්ථ ප්‍රහාරයෙහි සැලසුම් ක්‍රියාවලියට පවා දායක වී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවයි.   ගරු අග විනිසුරුතුමනි,   යමෙක් අධිකරණයක් මගින් වරදකරුවෙකු කරනු ලබන තෙක් එකී තැනැත්තාගේ නිර්දෝෂීභාවය පිළිබදව පූර්ව නිගමනයක් ඇති බව අප දනිමු. නමුත් මෙම නීතිඥවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන්ගේ බරපතළ භාවය හමුවේ විමර්ෂණ නිලධාරීන් ඔහුගේ නිර්දෝශී භාවය තහවුරු කරන තෙක් හෝ අධිකරණයක් ඉදිරියෙහි ඔහුගේ නිරවද්‍යභාවය ඔප්පු කරන තෙක් හෝ මෙම නීතීඥවරයාට නීතීඥ වෘත්තියෙහි නියැලීමට ඉඩකඩ සැලැසීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි කරුණක් බව අප විශ්වාස කරමු.   විශේෂයෙන්ම ආගමික මුලධර්මයකින් ආරම්භ වූ ත්‍රස්ත කණ්ඩායමක් විසින් එල්ලකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තත්වයක් යටතේ මෙම පුද්ගලයාට අධිකරණ පද්ධතියට ඇතුළත් වීමට ඉඩකඩ සැලැසීම විනිශ්චයකාරවරුන්  ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ මෙන්ම නීතීඥවරුන් හා සාමාන්‍ය ජනතාවගේ ද ජීවිත අනතුරෙහි හෙළිමක් බව අප තරයේ විශ්වාස කරමු.   විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදීන් විසින් ෂරියා නීති පද්ධති ක්‍රියාත්මක කිරීම සදහා ඇති බාධකයක් වශයෙන් සාමාන්‍ය නීතින් ක්‍රියාත්මක කරනු ලබන අධිකරණ පද්ධති සළකන බව ද ඔබතුමන්ගේ අවධානයට යොමු කරමු. මේ සම්බන්ධයෙන් එක් පූර්ව නිදර්ශනයක් වශයෙන් 2005 වසරේ ජමාත් උල් මුජහිදීන් සංවිධානය විසින් බංගලාදේශ ජනරජයේ අධිකරණ පද්ධතියට එල්ල කරන ලද මරාගෙන මැරෙන ත්‍රස්ථ ප්‍රහාර මාලාව පිළිබදව ද සිහිපත් කරමු.
තවද මෙවන් තැනැත්තෙකු හට ඔහුගේ නිර්දෝෂීභාවය තහවුරු වන තෙක් නීතීඥ වෘත්තියෙහි නියැලීමට ඉඩකඩ සැලසුනහොත් අධිකරණ පද්ධතිය කෙරෙහි පවත්නා ජනතා විශ්වාසය බිද වැටීමකට ලක්වනු ඇති බව ද ගරු මැතිතුමන්ට සිහිපත් කර සිටිමු.   ගරු අගවිනිසුරුතුමනි,   මෙකී කරුණු සියල්ලම සළකා බලා නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතීඥභාවය විමර්ෂණ නිලධාරීන් ඔහුගේ නිර්දෝශී භාවය තහවුරු කරන තෙක් හෝ අධිකරණයක් ඉදිරියෙහි ඔහුගේ නිරවද්‍යභාවය ඔප්පු කරන තෙක් හෝ අත්හිටුවීමට පියවර ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.   ස්තූතියි,
මෙයට විශ්වාසී, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි,
මහ ලේකම් – බොදු බල සේනා
පිටපත් –     අතිගරු ජනාධිපතිතුමා,
               අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම් තුමා,
               අධිකරණ අමාත්‍යවරයා,   Email: info@bodubalasena.org Web:   www.bodubalasena.org Hot Line:
        076 6880030         011 866090

Office:
No 615, Nawala Road, Rajagiriya.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress