කිසිදු රෝහලක ශල්‍යකර්ම නතර කිරීමට උපදෙස් ලබාදී නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
Posted on April 18th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

කිසිදු රෝහලක සාමාන්‍යයෙන් සිදු කරන ශල්‍යකර්ම සිදු නොකරන ලෙසට කිසිදු අවස්ථාවක චක්‍රලේඛ මගින් දැනුම්දී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

කිසියම් පාලනයක් සහිතව අදාළ රෝහල්වලට එම ශල්‍යකර්ම සිදු කළ හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් කල් දැමීමෙන් ගැටළුවක් ඇති නොවන ශල්‍යකර්ම පසුව සිදු කිරීමේ හැකියාව පවතින බව ද අදාළ නිවේදනය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙනවා.

පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝහලේ සැත්කම් සිදු කළ ද අනෙක් රෝහල්වල සැත්කම් සිදු නොකරන බවට ඇතැම් පාර්ශව පළකරන අදහස්වලට ප්‍රතිචාර දක්වමිනුයි අනිල් ජාසිංහ මහතා මෙම කරුණු අනාවරණ කර ඇත්තේ.

මේ අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අවධාරණය කරනවා.

විවිධ ප්‍රදේශවල ජනතාව සහ ජන කණ්ඩායම් විසින් පී.සී.ආර් පරීක්ෂණ සිදුකර දෙන්නැයි කරන ඉල්ලීම් පිළිබඳ කරුණු පැහැදිළි කිරීමක් සිදු කරමිනුයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව කියාසිටියේ.

මෙය ඉල්ලීම් කර සිදු කරගත යුතු පරීක්ෂණයක් නොවන අතර විද්‍යාත්මක සාධක අනුව සෞඛ්‍ය අංශ විසින් තීරණ කර සිදු කරන පරීක්ෂණයක් බව අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙනවා.

විද්‍යාත්මක සාධක අනුව තීරණය කර ලබාගන්නා සාම්පල පරීක්ෂණයට ලක් කිරීමට පැය 5ක් 6ක් වැනි කාලයක් ගත වනවා.

මේ සඳහා ගතවන කාලය යෙදවිය යුතු කාර්ය මණ්ඩලය මෙන්ම වියදම පිළිබඳව ද සලකා බැලිය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මේවන විට පරීක්ෂණ සිදු කරනු ලබන්නේ අවදානම පිළිබඳ සලකා බලා තෝරාගත් පිරිස සහ අවදානම පිළිබඳ සැක සහිත කණ්ඩායම්වලට බව ඔහු කියාසිටියා.

ඒ රෝහල්ගත වී රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් සහ රෝගය ඇතැයි සැක කරන අවදානම වැඩිම පුද්ගලයන් සඳහායි.

එමෙන්ම කොරෝනා වෛරසය වැළඳී නොමැති බවට සහතික ලබාදෙන ලෙසට යම් පුද්ගලයන් ඉල්ලා සිටින බව වාර්තාවන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ යුත්තේ කුමන පුද්ගලයන් සඳහාදැයි සෞඛ්‍ය අංශ සහ නිසි බලධාරීන් තීරණය කරනු ලබන බැවින් එම පරීක්ෂණ සිදුකරන ලෙසට මහජනතාව ඉල්ලීම් සිදු කිරීම අවශ්‍ය නොවන බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා.

මේ වන විට දිවයින පුරා පර්යේෂණාගාර 13ක පී.සී.ආර් පරීක්ෂණ සිදුකෙරෙන අතර මඩකලපුව ශික්ෂණ රෝහලේ ද අදාළ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress