දිනක වැඩිම කොරෝනා ආසාදිතයින් අද වාර්තා වෙයි – කොළඹ – බණ්ඩාරනායක මාවතෙන් ආසාදිතයින් 32ක්
Posted on April 20th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

දිනක් තුළ මෙරටින් හමු වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද වාර්තා වුණා. එම සංඛ්‍යාව මේ වන විට 32ක්.

වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පෙරවරුවේ තහවුරු කර ගත් රෝගීන් 24 දෙනාට අමතරව අලූතින් ආසාදිතයින් 8 දෙනෙකු පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

ඔවුන් ද කොළඹ – කෙසෙල්වත්ත – බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක්.

මේ සමඟම එම ප්‍රදේශයෙන් මේ දක්වා සොයා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 57 දක්වා ඉහළ ගියා.

බණ්ඩාරනායක මාවතෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ පසුගිය 15 වන දායි.

59 හැවිරිදි කාන්තාවක් වන ඇයට වෛරසය වැළදී ඇති බවට කොළඹ ජාතික රෝහලේදී තහවුරු වුණේ පවුලේ සමාජිකයින් සමග දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණ දින 33කට පමණ පසුවයි.

එදින සිට එම ප්‍රදේශයෙන් අඛණ්ඩව ආසාදිතයින් වාර්තා වන අතර, මේ දක්වා වාර්තා වන  රෝගීන්ට පූර්ව රෝග ලක්ෂණ නොපෙන්වීම ද විශේෂත්වයක්.

වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් ඊයේ සහ පෙරේදා මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් ජෛව සාම්පල ලබාගෙන පරීක්ෂණ සඳහා යොමු කෙරුණා.

ඒ අනුවයි අද දිනයේ අලූතින් රෝගීන් තිස් දෙදෙනෙකු සොයා ගැනුණේ.

ඊයේ දිනයේ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයට සබඳතා ඇති දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වුණා.

ඉන් එක් අයෙකු, දඹදිව ගොස් පැමිණි කාන්තාවගේ ස්වාමි පුරුෂයා සේවය කරන ස්ථානයේ සේවකයෙකු වන අතර, ඔහු කොළඹ 12, ගෝමස් පටුමගේ පදිංචිකරුවෙක්. ග්‍රැන්ඞ්පාස් ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා කාන්තාවගේ පුත්‍රයෙකුගේ මිත්‍රයෙක්.

මේ අතර, ගෝමස් පටුමග සහ බණ්ඩාරනායක මාවත යන ප්‍රදේශ වල වෛද්‍ය පරීක්ෂණ සඳහා සම්බන්ධ වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පුද්ගලයින් 50 දෙනෙකුගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ ලබා ගැනීම අද සිදුකෙරුණා.

වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සොයා ගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය වන්නේ ද බණ්ඩාරනායක මාවත පිහිටි මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයයි. මීට පෙර වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ බේරුවල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වන අතර එම සංඛ්‍යාව 36 ක්.

කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී රුවන් විජේමුණි කියා සිටියේ බණ්ඩාරනායක මාවතේ අධික ජන ඝනත්වයක් පැවතීම ද වෛරසය ව්‍යාප්ත වීමට හේතුවන් වී ඇති බවයි.

මේ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමඟ එම දෙපාර්තමේන්තුව නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුවේ සේවය නිරත පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරින් සියලූදෙනාට දෛනික ආහාර වේල් සපයා ඇත්තේ බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරිනියක් වන ඇය විසින්.

අවට පවතින තත්ත්වය සලකා අලූත්කඬේ අධිකරණය විවෘත නොකිරීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සදහන් කළා. එසේම, අලූත්කඬේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩු සියල්ල කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress