මැතිවරණ බලහත්කාරය සමග ගැටගැහෙන ආර්ථික ඝාතනය
Posted on April 20th, 2020

මතුගම සෙනෙවිරුවන්

            සුනාමිය නොහොත් මුහුද ගොඩ ගැලීම සිදු වන කල්හි එවකට සිටි පාලකයන් එම ව්‍යසනය කළමනාකරණය කරන ආකාරය දැන නොසිටියහ. අතීතයේ සිදු වූ මුහුදු ගොඩ ගැලීම් ඉතිහාසයට පමණක් සීමා වීම නිසා දේශපාලකයන් ඒ බැව් නොදත් බව පැහැදිලිය. සුනාමියට මුහුණ දෙන්නට අවශ්‍ය සංනිවේදන උපක්‍රම සූදානම් කර ගැනීමට මෙන්ම ආරක්ෂාව කල් තියා යොදා ගන්නට  ලක ලෑස්ති වීම සිදු වූයේ විනාශයෙන් අනතුරුවයි. මුහුදෙන් වටව තිබෙන දූපතක් වශයෙන් පවතින වාසි අවාසි ගැන තක්සේරුවක් කෙදිනකවත් ලක් රජයට තිබුණේ නැත. වසංගත රෝග වලින් මිදීමට මේ දූපත් ස්වභාවය අතීතයේ සිට යොදා ගන්නට ඇතිවාට නිසැකය. දාසය වන සියවසේ සිට පැතිරුණු ඇතැම් වසංගත ලංකාවට බලපෑම් කරන ලද්දේ විදේශිකයන් මුහුදු බඩ පළාත් අල්ලාගෙන සිටි බැවිනි. ඒ අත්දැකීම් පිලිබඳව හෝ දැනුමක් වත්මන් පාලකයන්ට ඇතැයි සිතිය නොහැකිය. කෙසේ වෙතත් කොරෝනාව වැළදී ඇතැයි සැකකරන විදේශ කාන්තාව හමුවුණ සැනෙකින් දිවයිනට පැමිණෙන මාර්ග වසා දමන්නට රජය නොඑළඹණු බව අපි දනිමු. එයට තරයේම දොස් නැගිය නොහැකිය. රට පත්ව සිටින ආර්ථික අහේනිය ඊට හේතුවයි.පස්වසරක් තිස්සේ රනිල් වික්‍රමසිංහ රජය විසින් කරන ලද ආර්ථික ඝාතනයන් අපට මතක නැතිවා නොවේ. ඒවා හිතාමතාම කළ මෙහෙයුම් බවට නිසැකය. ඇමරිකාවේ බලපෑම මත කළ ඒ දේවල් කොරෝනාව නිසා ජනතාවට දැන් මතක නැත.කෙසේ වෙතත් වසංගත රෝග ඉතිහාසය නොදැන සිටීම ගැන නම් පාලකයන්ට සමාව දිය නොහැකිය. පැරණී රජවරු පාලකයන් බවට පත් වන විට ශිල්ප රාශියක් ප්‍රගුණ කර තිබුණි. ඒ අතර තමන්ගේ රටේ ඉතිහාසයද විය.නමුත් වත්මන් පාලකයන්ට වඩා වැදගත් වනුයේ බ්‍රිතාන්‍ය යන් අප මත බලෙන් පටවා ගිය ප්‍රජාතන්ත්‍රවාදයයි. වසංගත අභීයෝගය ඉදිරිපස මැතිවරණ සිහියෙන් කටයුතු කිරීමද නාමයොජනා සඳහා රට සූදානම් කිරීමද සිදු වන්නේ මේ නිසාය. මේ පසුබිම මත  විදෙස් අසාදිතයන් රට පුරා පැතිරුණු බව පෙනේ.

           කෙසේ වෙතත් වසංගත තත්වය හමුවේ රට ඇඳිරි නීතිය මගින් වසා ගැබීම දිගින් දිගටම කළ නොහැකිය.නොයෙකුත් වෙළඳ ව්‍යාපර වලින් සහ ජනතාවගෙන් රජයට එකතු විය යුතු බදු මුදල් මේ තත්වය හමුවේ ලැබෙන්නේ නැත. මධ්‍ය ගත පාලනය ක් යටතේ සියලු දෙනහට මූලික අවශ්‍යතා සපිරීමද සෑමදා කල නොහැකිය.හමුදා මෙහෙයුම් සාර්ථක වුවද එයටද සීමාවන් ඇතිවේ. එම නිසා ඇඳිරි නීතිය ලිහිල් කරලීමට රජය තීරණය කර තිබේ.ජන ජීවිතය මේ පසුබිම තුළ නැවත ඉක්මනින්  යථා තත්වයට පත් වේ යැයි සිතිය නොහැකිය. ඒ සඳහා ඉතා කඩිනමින් රටේ  නිෂ්පාදන කටයුතු ආරම්භ කළ යුතුය. ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සහ මිලදී ගැනීම වැනි කටයුතු වලදී  ඇඳිරි නීතිය සමයේ දී ආණඩුව දැක්වූ අසමත් බවට හේතුවද පක්ෂ දේශපාලනයයි.නැවත රට ගොඩ නැගීමේ දී පවා මේ අසමත් බව ප්‍රදර්ශණය වීම වැළැක්විය නොහැකිය. ආර්ථික කටයුතු වලදී ප්‍රමුඛතාවය ගත යුතු කරුණු පිළිබඳ රජයට දැක්මක් නොමැත.අප දන්නා පරදි මේ වන විට යල් කන්නය ආරම්භ වී තිබේ ගිය මාස්කන්නයේ වී මිලදී ගැනීම අහවර ව තිබුණද නිෂ්පාදන ආර්ථිකය එතනින් නවතින්නේ නැත.යල් කන්නයේ නියමිත වේලාවට ජලය නිකුත් කළ යුතුය.එයට හේතුව මාස් කන්නයට වඩා  යල් කන්නයේ දී පලිබෝධ හානි පැතිරෙන බැවිනි.

         .රටේ ආහාර සුරක්ෂිතතාවය දීර්ඝ කාලීනව තහවුරු කරලීමට නම් මේ රටේ වී අස්වැන්න මෙන්ම අනෙකුත් භෝග ඇති පමණට වගා කළ යුතුය. විදෙස් වලින් ආහාර ගෙන ඒම කලකට අත්හිටුවා ලීමට නිසැකවම සිදු වේ. විශේෂයෙන්ම පරිප්පු උඳු කුරහන් වැනි ධාන්‍ය වර්ග පමණක් නොව තිරිඟ පිටිද ආනයනයට නිතැතින්ම බාධක ඇති විය හැකිය. එම නිසා මෙම ධාන්‍ය මෙරට වගා කිරීම කෙරෙහි උනන්දුවක් ඇති කළ යුතුය.ඇඳිරි නීති සමය තුළ එවැනි සැලැස්මක් ගැන රජය සාකච්ඡා කල බවක් පෙනෙන්ට තිබුණේ නැත.  ඒ සඳහා කෘෂීකර්ම බලධෘරීන් ගේ ඇස් ඇරුණේද නැත. එළවලු පිළිබඳ දැඩි අවධානයක් යොමු කර තිබුණද බහුතරයක් එළවලු වගා කරන්නන් ධාන්‍ය වගාවට යොමු කරලීම කෙරෙහි සැලැස්මක් මේ කෘෂි විදයාඤයන් අතින් ඉදිරිපත් විය යුතුව තිබුණි.විශේෂයෙන්ම බඩ ඉරිඟු වැනි පිටි ආදේශකයන් මිනිස් පරිභෝජනයට වගා කරලීම කෙරෙහි උනන්දුවක් රට තුළ ජනිත කිරීම ඔවුන් ගේ වගකීම වෙයි. තිරිඟු පිටි වලට සීමා පැනවෙන කල්හි. ඉරිඟු පිටි සහ යම තරමකින් හෝ සහල් පිටි මේ අඩුව පුරවනු නිසැකය. නමුත් අවාසනාවකට මේ නිළධාරීන්ද නිවසට වී සිටියා පමණකි. දේශපාලකයන් ඉදිරියේ මුණිවත රකින ඔවුන් ගෙන් රටට සේවයක් සිදු නොවන බව පැහැදිලිය..

    පරිප්පු සුදු ලූණු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වගා කිරීම ලෙහෙසි නොවන නමුත් කල හැක්කක් නොමැත.විශේෂයෙන්ම මහවැලි ගොවිබිම් සුදුසු තන්හි එක් කන්නයක මේ ධාන්‍ය වගාවෙන් විශේෂයෙන්ම පරිප්පු කුරහන් සහ මෙනේරි ප්‍රචලිත කළහොත්  ආහාර සුක්ෂිතතාවය පිළිබඳ අපට බලාපොරොත්තු තැබිය හැකිය. නමුත් සිදු වන්නේ කුමක්ද ආණ්ඩුව මැතිවරණය ඉලක්ක කර වැඩ කිරීමට පෙළඹීමයි. එයට ප්‍රධාන හේතුව ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රධාන දුර්වල කම්ය.19 වන සංශෝධනය මූලික නීතියක් බවට පත්ව නැති අවස්ථාවක මැතිවරණ කොමිසම මත යැපීම මගින් ව්‍යාජ ව්‍යවස්ථා අර්බුදයක් මවා තිබේ. ව්‍යවස්ථාවන් සකස් කර ගන්නේ ජනතාවගේ සුභ සිද්දිය උදෙසාය. ඒවා පිලිපැදීමෙන් ජනතාව අසීරුවට පත් වන්නේ නම් එම ව්‍යවස්ථාවෙන් වැඩක් නැත. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබෙන අවස්ථාවක හදිසි තත්වයක් යටතේ එය කල් තැබීම සාධෘරණය.  ව්‍යවස්ථාදායකයක් නැති මොහොතක නිතැතින්ම  මහ ජනතාව ව්‍යවස්ථාදායකය බවට පත් වේ. ජනතා පරමාධිපත්‍ය සැමට ඉහළින් පවතී. එම නිසා මැතිවරණ තැබීම කෙරෙහි ජනතාව  ගේ උනන්දුව ඇති කරලීමද පක්ෂ දේශපාලනය තුළ නැවතත් ජනතාව අසහනයට පත් කිරීමද කළ යුතු නොවේ.මෙවැනි සමයක විශේෂයෙන්ම ජනතාව බියෙන් සිටින සමයක චන්දය පිළීබඳ උනන්දුවක් ඇති නොවන අතර ලැබෙන චන්ද ප්‍රතිශතයද අනිවාර්යයෙන්ම පල්ලම් බහී. එයින් සිදු වන්නේ ඇතැම් විට අන්තවාදී චන්ද ප්‍රතිශතයන් ඉස්මතු වීමයි. පසුගිය පස් වසර තුළම රට බෙදීමට මෙන්ම රට ඇමරිකන් කොළ ණීයක් කිරීමට වලි කෑ කල්ලි වලට ක්‍රීඩා කිරීමට හොඳ තණ තිල්ලක් ලබා දීම මෙයින් සිදු වේ. දැනටමත් ඇතැම් කුමන්ත්‍රණකාරී රාජ්‍ය නොවන සංවිධානයන් ජනපති වරයාගේ කාර්ය මණ්ඩලයට කිට්ටු වී ආර්ථික උපදේශ සපයන බව රහසක් නොවේ.නැවත M C C වැනි ගිවිසුම් බල ගැන්වීමට ඔවුන් වලිකනවා විය හැකිය. ජාන තක්ෂණයන් මගින් මුලු ලොව යටපත් කිරීමට උත්සාහ කරන නමුත් බිඳ වැටෙමින් තිබෙන නව ලිබරල් වාදී ගෝලීය ආර්ථික මොඩලයන් තව දුරටත් වලංගු නොවන බව වත්මන් පාලකයන් දැන්වත් තේරුම් ගත යුතුය. මෙම වසංගත තත්වයෙන් අපට කියා දෙන පාඩම එයයි

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress