ලෝක මුස්ලිම් ලීගයෙන් ශ්‍රීලංකාවට ලබාදුන් රුපියල් කෝටි 90ක මුදලකට සිදුවූයේ කුමක්ද?
Posted on April 21st, 2020

ඒ.ජේ.එම්.මුසම්මිල්

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ ජීවනෝපයන් ගොඩ නැංවීම සඳහා ලෝක මුස්ලිම් ලීගයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් රුපියල් කෝටි 90ක මුදලකට සිදුවූයේ කුමක්ද යන්න ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ විසින් මාධ්‍ය හමුවකදී කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශයක ඒ මහතා මෙසේ සඳහන් කර ඇත.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් යනු මා ඉතාම ගරු කරන භික්ෂූන් වහන්සේ නමකි.  උන්වහන්සේ විසින් සිදු කරන ලද මෙම ප්‍රකාශයට පැහැදිලි කිරීමක් සිදු කිරීම මාගේ වගකීමක් ලෙස දකිමි. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දැකිය යුතු ප්‍රහාරයක් සේම අදටද අමතක නොවන සිදුවීමක් ලෙස මා දකිම් .

පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ඇතිවුණු ජාතිවාදය තුරන් කිරීම දැඩි අවශ්‍යතාවයක්ව තිබූ බව අප කවුරුත් පිළිගන්නා කරුණකි.  ඒ අනුව සියළු ජාතීන් අතර සහයෝගිතාවය සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් ලෝක මුස්ලිම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික සමුළුවක් පසුගිය වසරේ ජූනි මස 30 වන දින  කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පවත්වනු ලැබීය.

මෙම සමුළුව කොළඹදී පැවැත්වීම සඳහා අවශ්‍ය සියළුම කටයුතු බාරවී තිබුණේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානා නමැත්තා හටය. ඔහු ශ්‍රී ලාංකිකයෙකු වන අතර ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ආචාර්ය මොහෙමඩ් අබ්දුල්කරීම් අල්ඊසා මැතිතුමාගේ සමීපතමයෙකු ද වේ. ආචාර්ය අල් ඊසා මැතිතුමාගේ ඉල්ලීමකට අනුව මෙම සම්මේලනය කොළඹදී පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු  සංවිධානය කරදෙන ලෙස බස්නාහිර පළාත බාර එවකට ආණ්ඩුකාරවරයා ලෙසට කටයුතු කළ මාගෙන් ඉල්ලීමක් කර තිබුණි .

ඒ සඳහා වූ ලෝක මුස්ලිම් සම්මේලනයේ  ඉල්ලීම මා වෙත ගෙන එනු ලැබුවේ අබ්දුල් කාදර් අල් මෂූර් මවුලානා කියන මේ පුද්ගලයා විසින්බවද දැන්වීමට කැමැත්තෙමි. ලෝක මුස්ලිම් සම්මේලනය සමග සම්පුර්ණයෙන්ම සබඳතා පවත්වමින් මේ සියළුම කටයුතු සඳහා මූලිකවූ එකම පුද්ගලයා මේ කියන මවුලානා නමැති පුද්ගලයා බවද සඳහන් කරමි .

ඉන් පසුව මෙම සම්මේලනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මා සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා එතුමාගේ පූර්ණ  සහයෝගය සහ අනුග්‍රහය ලබා දීමටද මා හට පොරොන්දු විය . එ අනුව සියළු කටයුතු සිදු කරමින් මෙම සම්මේලනයේ කටයුතු මා විසින් සියළුම පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන සම්බන්ධීකරණය කරනු ලැබීය .

පසුගිය වසරේ ජූනි මස 30 වන දින  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පවත්වනු ලැබූ මෙම සම්මේලනයට ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය අබ්දුල්කරීම් අල්ඊසා මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි විය. මේ සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ආචාර්ය අල්ඊසා මහතාට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමටද හිටපු ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණි. එතුමා ලංකාවට පැමිණියේ ජූනි මස 28 වන දින රාත්‍රියේදීය. ආචාර්ය අල්ඊසා මහතා එදිනම රාත්‍රියේ කාදිනල් හිමිපාණන්ද හමුවිය. එම හමුවේදී ආචාර්ය අල්ඊසා මහතා  මෙම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට තම බලවත් ශෝකය ප්‍රකාශ කර විපතට පත්වූවන්ගේ සුබසාධනය  වෙනුවෙන් යම්කිසි ආධාරයක් ලබාදීමට බලාපොරොත්තු වෙන බවත් එය මෙම සම්මේලනයේදී ප්‍රකාශයට පත් කිරීමට අදහස් කරන බවත් අල්ඊසා මහතා එම හමුවේදී කාදිනල් හිමිපාණන්ට පවසා තිබේ.

මෙම සම්මේලනය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට සියලුම දේශපාලන පක්ෂ නායකයන් සහ ආගමික නායකයින්ද සහභාගි වූහ. එදින ආචාර්ය අල්ඊසා මහතා පාස්කු ප්‍රහාරයට ගොදුරුවී විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා ඩොලර් මිලියන 05 ක් නැතිනම් රුපියල් කෝටි 90ක විශාල මුදලක් පරිත්‍යාග කරන බවට  ප්‍රසිද්ධියේ පොරෙන්දු විය .

සම්මේලනය අවසන් වීමෙන් පසුව එතුමා හිටපු ජනාධිපතිවරයා සහ මේ රටේ අනෙකුත් දේශපාලන නායකයින් රැසක්ද හමුවිය. මේ සම්මේලනයෙන් අනතුරුව මා අවස්ථා ගණනාවකදීම ⁣ආචාර්ය අල්ඊසා මහතා විසින් ලබාදෙන බවට පොරොන්දු වූ ආකාරයට එම මූල්‍ය පරිත්‍යාගය පිළිබඳව මවුලානා මහතාගෙන් විමසා සිටියෙමි. එම මුදල ලැබී නොතිබුණු බැවින් එය ලබා දීමට මැදිහත්වන ලෙසද මා ඔහුට දැනුම් දුනිමි. මා ඒ සම්බන්ධයෙන් විමසූ සෑම අවස්ථාවකදීම මවුලානා මහතා ඒ  පිළිබඳව විවිධ කරුණු නිදහසට කියා සිටි බවද මා ප්‍රකාශ කරමි .

මේ සම්බන්ධයෙන් කොරෝනා වසංගතය ඇතිවීමට පෙර අගමැතිතුමාද මාගෙන් මේ මුදල සම්බන්ධයෙන් විමසා සිටියේය. එම විශාල මුදල මේ රටට ලැබුණාද නැද්ද යන බව මා නිශ්චිතවම නොදන්නා බව එම අවස්ථාවේදී  මා එතුමාට ප්‍රකාශ කර සිටිමි. එබැවින්  ඒ සම්බන්ධයෙන් මවුලානා මහතාගෙන් විමසිය යුතුබවද මා අගමැතිතුමාට දන්වා සිටියා. මේ සම්බන්ධයෙන් අප මවුලානා මහතා ගෙන්වා ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීම සුදුසු බවද මා අගමැතිතුමාට සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාටද දන්වා සිටියා.

ලොක මුස්ලිම් සම්මේලනය පොරොන්දු වූ මෙම මුදල ශ්‍රී ලංකා රජයට,  හිටපු ජනාධිපතිවරයාට හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිහිටුවා ඇති යම් සුබසාධන අරමුදලකට ලැබුණා දැයි මා නොදනිමි. මන්ද එහි පූර්ණ වගකීම පැවරී තිබුණේ ලෝක මුස්ලිම් සම්මේලනයේ මෙම කටයුතු සම්බන්ධිකරණය කළ අල් මෂූර්  මවුලානා නමැත්තාටය. එබැවින් මෙම මුදල සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මේවනවිට මා ශ්‍රී ලංකාවේ සවුදි තානාපති කාර්යාලයට සහ ලෝක මුස්ලිම් සම්මේලනයට මෙන්ම අල්මෂූඩ් මවුලානා මහතාටද දැනුම් දී තිබෙන බවද දන්වමි .

මෙවැනි විශාල මුදල් පරිත්‍යාගයක් ප්‍රසිද්ධියේ සිදුවිය යුතු වන අතර මේවනතෙක් එවැන්නක් සිදුවී නැති බවද මා හොඳාකාරවම දනිමි. එබැවින් පාස්කු ප්‍රහාරයට වසරක් සම්පුර්ණ වන මේ අවස්ථාවේදී ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් ලෝක මුස්ලිම් සම්මේලනය  ලබා දීමට පොරොන්දු වූ මෙම විශාල මුදල අප රටට ලැබුණාද, නොලැබුණානම් එම මුදල රහසිගතවම වෙනත් අයෙකු වෙත ලැබුණාද, එසේනම් ඊට බලපෑ හේතුව කුමක්ද කියා වහාම සොයා බලා ප්‍රසිද්ධ කළ යුතුව ඇතැයි මා ප්‍රකාශ කරමි .

ඒ.ජේ.එම්.මුසම්මිල්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress