ප්‍රජා -තන්ත්‍ර-වාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු! (පස්‌‌වෙනි කොටස)
Posted on May 5th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

වැව් බැඳි රාජ්‍යය

ඉහතින් පෙන්වන ලංකාවේ වියලි කලාපයේ වාරි කර්‌මාන්ත සිතියම 1909 වර්‌ෂයේදී පිළියෙල කරණ ලද්දකි. ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය ලංකාවේ ඉතිහාසය හා භූගෝල ‌විද්‍යාව නොවේද (ඉතිහාසය යනු අතීත භූගෝල විද්‍යාවය) යන්න මේ සිතියම දකින විට එන සිතුවිල්ලකි. තෙත් කලාපයේද වාරි කර්‌මාන්ත බෙහෙවින් පැතිරී ඇත. මේ සිතියමින් දෙන තවත් පණිවුඩයක් නම්, ලංකාවේ හද බිම ලෙස සුදත් ගුණසේකර විසින් හඳුන්‌වන මධ්‍යම කඳුකරය අනුසාරයෙන් තෙත් කලාපය හා වියලි කලාපය අතර තිබෙන ස්‌වාභාවික බැඳීමය. මිනිසා පරිසරයේ අංගයක් මිස එහි අධිපතියා නොවේය යන බෞද්‌ධ සංකල්පය, කෝරෝනාව විසින් ලෝකයටම ශාක්‍ෂාත් කරදී ඇත. තිරසර සංවර්‌ධනය ලෙසින් දැන් හැඳින්‌වෙන්නේ අපගේ මේ අනාදිමත් ත්‍රිත්‌වයය. දුප්පත් රටවල් ගොනාට අන්ඳන, බටහිර රටවල් හා කොම්පැණි ගේන මෙග ව්‍යාපාර නමැති උගුල් වෙනුවට (උදාහරණ: අක්කරදාස් ගණන් එකම භොගය වවන ගොවිපලවල්, අධිවේගී මා‌ර්‍ග පිස්සුව, මෙග සිටි) පරිසරයට කිට්ටුවන <හියුමන් ස්කේල්> යනු නියම ජනහිතකාමී හරිමඟය.

ලංකා කොරෝනා හා ඇමෙරිකන් කොරෝනා

මෙම ලිපි මාලාවේ මෙම අවසන් කොටසින් පෙන්‌වාදීමට සදන්නේ ලංකාවේ ප්‍රජා-තන්ත්‍ර-වාදය නමැති ලෙඩා සනීප කරවා ගැනීමට ඇති ඉඩකඩ ගැනය. මෙසේ යෝජනා කරණ බේත්, එක් එක් පුද්ගලයින්ට, පක්‍ෂ දේශපාලකයින්ට, එන්.ජී.ඕ. ඩොලර් මුදලාලිලාට හා කළුසුද්දන්ට, තිත්ත හෝ පැණිරස (වහ කදුරු) ලෙස පෙනී යනු ඇත්තේ, ඔවුන්ගේ දැණුම, දැකුම, ආත්මාර්‌ථකාමිද නැද්ද, යටිහිතේ ද්වේෂ සහගත අරමුණු, ආශා තිබේද යනාදී නොයෙක් සාධක මතය. සුද්දන්ගේ ආයත-නිර්‌යාත වානිජ ක්‍රමය අනුව නැවෙන් එන දේ කා-බී ඔහේ ජීවත්‌වු ලාංකිකයාට, දෙවන ලෝක යුද්‌ධ කාලයේදී බලවත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවිය. වී, අල, බතල වගාවට අමතරව ආණ්ඩුවේ දෙපාර්‌තමේන්තු වශයෙන් කර්‌මාන්ත ශාලා කීපයක්ද (මට්ටක්කුලිය හම් පදම් කිරීම වැනි!) ආරම්භ කරන ලදී. දැන් 2020 වන විට මෙම බෞද්‌ධ විරෝධී ජීවන ක්‍රමයට කොරෝනාව විසින් ලෝක මට්ටමෙන් තිත තියා නැත්නම් බෝම්බයක් ගසා ඇත. ඩොනල්ඩ් ට්‍රම් පවා දැන් අතට අත දීම වෙනුවට ආයුබෝවන් ආචාරය කරයි! බෞද්‌ධ රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලවන පරිපාලන යාන්ත්‍රණයක් පි‌හිටුවීමට මීට වඩා සුදුසු කාලයක් තිබේද?

1931 දී සර්‌වජන චන්ද බලය දීම, වඳුරන්ට දැලිපි‌හි දීමක් යයි කී එකල සිටි දේශපාලක කළුසුද්දන් (ඒ. ඊ. ගුණසිංහ හැර), ඇත්තටම වඳුරන්‌වූයේ තමන්ම නේද යන බව ක්‍රියාවෙන්ම ඔප්පුකර ඇත. වඳුරන්ගේ චන්ද ගැනීමට මොවුන් බොහොොය ඉබේම ඩොනමෝර් බෞද්‌ධයින් විය. එහෙත් මේ <වඳුරන්> අනුරාධපුර හිටපු දිසාපති ෆ්රීමන් නම් සුදු මහතාව දෙපාරක්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවට යැව්වේ, (දෙවනවර නිතරඟයෙනි) සුදුසුකම, අවංක භාවය ගැමියා ඉවෙන් මෙන් දැන සිටි නිසාය. ඉඩක් දුන්නොත් අද වුනත් ඔවුන් මෙසේ ක්‍රියාකරණ බව දන්නා දේශපාලකයෝ ඊට වෙට්ටු දමමින් සිටී. කොසොල් රජතුමාගේ සීන සැබෑවෙලා, මුන් 225 ම එලවන්න ඕනෑ, දියවන්නාවට බෝම්බ ගහන්න ඕනෑ යන කියමන් ජනප්‍රිය ඒ නිසාය. කොළඹට කිරි, අපිට කැකිරි (ජේ.වී.පී, 1971), කොළඹට දෙන දේ අපිටත් දෙන්න (කරුණා අම්මන්, 2008), සුද්දගෙ නීතිය අපිට එපා (බොදු බල සේනා,2012) යනාදි දේශපාලන විද්‍යාත්මක ප්‍රකාශ, බිම් මට්ටමින්ම, ප්‍රායෝගික වශයෙන් ප්‍රජා-තන්ත්‍ර-වාදයේ අසාර්‌ථකවීම සනාථ නොකරන්නේද? අන්තිමේදී නැතිවූ ප්‍රජා-තන්ත්‍ර-වාදය <යලි පණගන්වනවා> යයි 2015 දී, ඇමෙරිකාවේදී, ජෝන් කෙරී ඉදිරියේ නිවට නිවාළූ ලෙස කතාකල මංගල සමරවීරලා <යහපාලනය>නමැති සංකල්පය පවා වෙසඟනක් කලේය.

ස්ත්‍රී ශ්‍රමය සූරා කන ලංකාවේ දුෂ්ට ත්‍රිකෝණය

ලංකා සමාජය කෙතෙක් දුරට අශීලාචාර වෙලාද, අවිනීතද යන කරුණු ප්‍රසිද්‌ධියේම දැක ගැනීමට ලැබෙන්නේ කොරෝනා හරහාය. ඉදහිට එලියට එන පුද්ගලික ජීවිතයේ සවුත්තු පැති (ලිංගික අපරාධ, හොරකම්, මිණීමැරුම්..) මෙන්, මේ මහපාරේ සිදුවන නාටකයද, ජේ. ආර්. විසින් 1978 බිහිකල නිදහස්, ලොකු මාළුවා පොඩි මාළුවා ගිලගන්නා ඩොලර් ආර්ථිකයේත්, මිනිසුන්ගේ යටි හිතේ මරණ බිය ජනිත කල 30 අවුරුදු, කවදාවත්ම දිණන්න නම් බෑ කියූ, යුද්‌ධයේත් පල විපාක විය. මේ සමාජය මෙසේ බල්ලාට යාමට හේතුවූ තවත් කරුණු තිබේ. ඉන් එකක් නම් විශේෂයෙන් සිංහල ගෑණු අරාබිකරයේ බැලමෙහෙවරට යැවීමය. මොවුන් වැසිකිලි ශොධකයින් මෙන්ම ලිංගික භාණ්ඩද නොවීද? මොවුන් ආපසු ලංකාවට එන්නේ දීන-හීන, මානසිකව බෙලහීන‌වූ අය ලෙසය. ඔවුන් ලංකාවේ දමා ගිය පිරිමි, ගෑණු එවන සල්ලි වලින් දුරාචාරයේ හැසිරෙයි. දරුවන් අනාථ අසරණ බවට පත්වේ.

මේ කාණ්ඩ තුනට අමතරව මේ විදේශ සේවා සේවයට සම්බන්‌ධ නිලධාරීන් දූෂිතය, විදේශ රක්‍ෂා සපයන ඒජන්සි දූෂිතය. මේ ගෑණුන් එවන විදේශ විනිමයෙන් සැප විඳින්නේ මන්ත්‍රීලා, ඇමතිලා, ඔවුන්ගේ දරුවන් හා බලය ඇති කළු සුද්දන් නොවේද? මෙතරම්ම උග්‍ර නොවුවත්, මහ උජාරුවට කතා කරණ ඇඳුම් මැහීමේ කර්‌මාන්තය සිහිකරන්නේ 1840 ගණන් වල එංගලන්තයේ තිබූ, එංගල්ස් විසින් පොත් ලියූ ස්ත්‍රී පැක්ටරිය. ගමේ ගෑණු ළමයි මේවාට බිලි වෙන්නේ මුළු ජීවිතයම පාවා දෙමිනි. ඉද හිට හමුවන ශුභදායක කතාවකින් මේ අඳුරු ලංකාවට (ජේ. ආර්ලා, ප්‍රේමදාසලා අටවාදී ගිය) ආලෝකය ලැබෙන්නේ නැත. තමන්ට මීට වෙනස් දර්‌ශනයක් තිබුණත්, තන්ත්‍රවාදය යටතේ එයට අතගැසීමට හිතන දේශපාලකයෙක් නැත. බණ්ඩාරනායක අගමැතිට 1956 දී මහජනයා පැතූ ආකාරයේ දියසේන කුමාරයෙක් වීමට බෞද්‌ධ පසුබිමක් නොවීය. ජනාධිපති ගෝඨාභය මීට වෙනස් ඉරණමක් සහිත පුද්ගලයෙකි.

අඳුරු නීති කඩමින්, මුකවාඩම් නැතිව පාරේ යන්නේ මෙසේ පිරිහුණු ජනයාය. මෙය හෝ මුළු රටම වෙලාගෙන ඇති ටියුෂන් වසංගතය හෝ දොස්තර, නීතීඥ, ග්‍රාම සේවක සිට ඉහළට දුවන නිලධාරී මාෆියාවල් දමණය කල හැක්කේ බෞද්‌ධ විනය (හිට්ලර්?) ක්‍රමයකින් පමණය. කොරෝනා නිසා මිනිසුන් ගාල් කර නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙනයාම සිහිකරන්නේ හිට්ලර්ගේ හමුදා යුදෙව්වන් ගාල් කලා පෙන්‌වන පරණ චිත්‍රපටිය! ඉන්දියාවේ ප්‍රජාතන්‌ත්‍රය මෙන් පොලිසිය හතිදමමින් මිනිසුන්ට පොලු වලින් පිටට ගැසීමෙන් නොවේ. මීට අමතරව, 1968 කාලයේ ජේ. ආර්. ඇමති විසින් කලaෙලියට ගෙනා සංචාරක ව්‍යාපාරය යයි කියනා <සල්ලි ගහ>, අද වන විට සමාජය දූෂණය කිරීමේ තවත් ප්‍රධාන පාරක් වී තිබේ. සංචාරකයින් වශයෙන් එන සමරිසි හා අනිකුත් කාමාතුරයින් කොටස යන්නේ කොළඹ රාත්‍රී සමාජ ශාලාවලට පමණද?

අමන දේශපාලකයින්

මේ සමාජය මේ පවතින තන්ත්‍රවාදය යටතේ නම් ගොඩගත නොහැකි බවට උදාහරණ දෙකක් පමණක් සඳහන් කල හැකිය. හමුදාපති කොරෝනා ගැන කතාකරණ විට බිමාල් නම් ජේවීපීකාරයා අසන්නේ ඔහුට එසේ කතාකරන්නට දෙන්නේ, දැන් රටේ තිබෙන්නේ හමුදා පාලනයක්ද කියාය. කොරෝනාව ජයගැනීමට දිවි පරදුවට තබා ක්‍රියාකරණ හමුදාපති ගැන මේ හොරු මෙසේ අසන්නේ යුද හමුදාව යුද්‌ධ කිරීමට අමතර වෙනත් ජාතික ආපදාවලදී ඉදිරියට ආ බව නොදැනද? අනිත් අතට රනිල් කියන්නේ දැනට කොරෝනා ටෙස්ට් කරන්නේ දිනකට 1,000 කටත් අඩුවෙන් බවත් එය අඩු තරමින් 3,000 ක් වත් වියයුතු බවත්‌ය! ඒ සඳහා රජයට නැති වියදම ඔහු දෙන්නේ මහ බැංකු මංකොල්ලයේ සල්ලි වලින්ද? මෙවැනි හිස් මිනිසුන්ව දියවන්නා බිල්ඩිමේ නිවාස අඩස්සියේ තියනවා හෝ වැව් සුද්දකිරීමට දානවා හෝ හැර වෙන කල හැකි දෙයක් නැත.

ලංකාවේ රූපවාහිනී මන්ත්‍රී විවාද දකිණ විට හා විද්‌වත් ගනයේ කියන විවාද දකිණ විට මොවුන් අසත්‍ය හා අර්‌ධ සත්‍ය වපුරනවා මිස අ‌වංකව කතා කරණවාද කියා සිතේ. ඇමෙරිකාවේ වුනත් මේ බොරු තන්ත්‍රවාදය රජ කරයි. ඇමෙරිකන් වැසියා අහිංසක හා මේ තන්ත්‍රවාදය පැත්තෙන් බොහෝ විට මෝඩය. කොරෝනා ලොක් ඩවුන් වලට විරුද්‌ධව පාරේ ප්ලැකාඩ් උස්සාගෙන ඉන්නා හා ඔවුන්ට කාර් වලින් යන අය හෝන් ගසා සපෝට් කරනා වෙන රටක් ලෝකයේ තිබෙනවාද? ඇමෙරිකාවේ පක්‍ෂ දෙක, තම ජනාධිපති අපේක්‍ෂකයාගේ නම තෝරන ඒ ඒ පක්‍ෂයේ මහා සම්මේලනයේදී, එහි කරණ‌‌ ඕනෑම කතාවකට දහස් ගණන් අත්පුඩි ගහන්නේ හරියට වයින්කල බොනික්කන් වගේය. එපමණක් නොව ජනාධිපති විසින් වාර්ෂිකව කොන්ග්‍රස් සභාවට කරණ රාජාසන (?) කතාවේ හැම වාක්‍යයටම වගේ ඔහුගේ පක්‍ෂයේ මන්ත්‍රීන් මිනිත්තුවෙන් මිනිත්තුවට නැඟිට නැඟිට අත්පොලොසන් දෙන්නේ පරලවෙලා වගේය.

ජර්‌මන් හිට්ලර් හා බෞද්‌ධ හිට්ලර්!

පාර්ලිමේන්තු චන්දය කල් දාන්නට කියන ගමන් පරණ 225 ආපසු කැඳවන්න කියන්නේ රටට ආදරේටද? දේශපාලකයා-නිලධාරියා-එන්.ජී.ඕ. කාරයා යන දුෂ්ට ත්‍රිකෝණයක් වන ලංකාවේ තන්ත්‍රවාදය ක්‍රමයෙන් මහජන සුබසෙත හා සතුට ගෙන දෙන ක්‍රමයක් බවට පෙරලීමට සවභාව ධර්‌මය හෝ දෙවියන් හෝ දුන් මේ අවස්ථාව ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අතහැරියොත් එය මේ දිවයිනේ විනාශය වන්නේය. ඔහු වරක් මේ රට දෙකඩවී පලස්තීනයක්‌ වීම වැලක්‌වූයේය. යුද්‌ධය ජය ගැනීමෙන් පසු සිදුවූයේ පක්‍ෂ දේශපාලකයින් විසින් හසලක වීරයාගේ මව පාවාදීම වැනි දෙයකි. ඉන් පාඩම් ඉගෙන ගෙන නැවතත් රට බේරා ගැනීමට රටේ දෛවය විසින්, ගෝඨාභයව, රටට ඉතුරුකර දුන්නා වැනිය. පිත්තල හන්දියේ බෝම්බය මතකද?

මෙහි කලින් ලිපි වලින් පෙන්වා දුන්නේ දසරාජ ධ‌ර්‍මය, ලිච්චවි පාලනය යන යහපාලනකාරයින්ගේ බොරු මනස්ගාත නොව, සරල බෞද්‌ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති අනුව යමින් රටට විනයක්, සදාචාරයක්, සමෘධියක් ලඟා කරගත හැකි බවය. ඒ සඳහා, පැලැස්තර දානවා වෙනුවට, යම් යම් සාධාරණ, යුක්තිගරුක තීරණ නිර්භීතව හා සද්භාවයෙන් ගැනීමේදී ලීක්වාන්ලා හෝ ජර්‌මන් තාලයේ හිට්ලර්ලා අවශ්‍ය නැත. බොහෝ අය නොදැන සිටි දෙයක් නම් ජනාධිපති ප්‍රේමදාස හිට්ලර් ඇදහූ කෙනෙක් බවය. ඔහුගේ හිතුවක්කාර, හීනමානයෙන් පිරි, දඩබ්බර, දූෂිත තීරණවලට හේතුව වූයේ මේ හිට්ලර් ඇදහිල්ලය. සදාම් හුසේන්ට, ලිබියා ගඩාෆිට මෙන් නොවුනත් (ඒවා ඇමෙරිකන් කුමණ්ත්‍රනය) ප්‍රේමදාස ත්‍රාසජනක ලෙස මියගිය විට ජනයා පාරේ කිරිබත් කා රතිඤ්ඤා පත්තු කලේ ඒ නිසා වියයුතුය. සමාජයේ වැඩි කොටසක් ඒ වන විට එතරම් පිරිහී ගොස්‌ය. ලංකාවේ මොනම රජෙකුටත් වඩා වෙහරවල් සංඛ්‍යාවක් මේ ප්‍රේමදාස සැදූ බව රටවැසියා දැන සිටියාද? මෙහි තේරුම නම් බෞද්‌ධ ප්‍රතිපත්ති මිස, බෞද්‌ධ ඇමති, බෞද්‌ධ දෙපාර්‌තමේන්තුව, විහාර සැදීම යනාදී ආගමික තිරපට දමා මහජනයා රැවටිය නොහැකි බව නොවේද? පිරිත් නූල් දේශපාලකයාගෙන් සැබෑ බෞද්‌ධයා වෙන්කර ගැනීම පිළිඹඳව දැන් රට වසියාට මනා දැනීමක් තිබෙනවා සේය.

මිලේනියම් රන් කූඩුව

රනින් හැදූවත් ගිරවාට කූඩුව හිරගෙයක් මය. මේ නිසා කුමණ හේතුවක් නිසාවත් ලංකාව ඇමෙරිකන් කූඩුවක් කරණ මිලේනියම් ට්‍රෝජන් අශ්වයාට මීට කලින් අය කෙසේ හසිරුණත් ජනාධිපති ගෝඨාභය අසු නොවිය යුතුමය. මිලින්ද මොරගොඩගේ පාත් එක ඇහැලෙපොල අදිකාරම්-පිලිමතලාවේ පාත් එකය. මේ ලණුව ගිල නොගත යුතුමය. ඊට හේතුව මිලේනියම් ඇමෙරිකන් නිලධාරියෙක් විසින්ම අ‌වංකවම කියා සිටියේය. ඔහු කිව්වේ, නොමිලේ කෑමවේලක් කියා දෙයක්, (ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හැර?) නැති බවය (නෝ ෆ්රී ලන්ච්). අපි මීට කියන්නේ මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේද කියාය. 1987 දී ජේ. ආර් , 2002 දී රනිල් වික්‍රමසිංහ, 2015 න් පසු රනිල්-සිරිසේන (හම්බන්තොට වරාය තුට්ටු දෙකට විකුණාගෙන කෑම), මංගල සමරවීරගේ ජීනීවා පාවාදීම මෙන් නොව, මිලේනියම් පාවාදීමක් යනු ලංකාව ලෝක සිතියමෙන් මකා දැමීමේ පාරය. අළුයම් ලූ කෙළපිඬක් සේ, බල්ලාගේ පිටිපස්සේ බැඳි තුට්ටුව සේ ගෝඨාභය මහතා මිලේනියම් <දීමනාව> ඉවත දැම්මා කියා ගමේ රටේ කතාවීමට ඉඩ ලබාදිය යුතුව ඇත. මීට ඈඳා ඇති, පාඨලී චම්පිකලා ගෙනා ජාතික භෞතික සැලැස්ම කුමක්දැයි අළුතින් විමසා බැලිය යුතුය.

ප්‍රජා-තන්ත්‍ර නොහොත් නාස්ලණු වාදයෙන් ගොඩ ඒම

කාති උසාවි

මුළු රටටම එක නීතියක්, ඒකීය රටක්, එක විවාහ නීතියක්, මද්‍රසා පාලනයක්, සදාචාර විරෝධී අන්‍යාගමීකරණය, නොයෙක් ජාතික ප්‍රතිපත්ති යනාදී කතාවලින් පක්‍ෂ දේශපාලකයින් විසින් මහජනයා මුලා කර ඇත. හැම විටම සිදුවී ඇත්තේ සිංහල බෞද්‌ධයා පාගා දැමීමය (ලංකාවේ මුස්ලිම් විවාහ නීතිය, ගර්‍භාෂය මඟින් රටවල් අල්ලා ගැනීමේලා ඇතැයි කියන ලෝක වහාබි මතයට සහතිකයක් දුන්නා වැනිය. එක බිල්ඩිමේ තට්ටු හතරේ ලමයින් හදන පැක්ටරි තිබෙනවා සොයාගත් බව බොදු බල සේනාව පෙන්‌වා දෙයි. පර්‌චස් 20 ක ඉඩමක 200 දෙනෙක් ඉන්නේ දුගී නිසාද, වර්‌ගයා බෝ කිරීමටද? ඔවුන් නඩත්තු කරන්නේ මොස්ක්වලට ලැබෙන සවුදි ආධාර මුදලිනි). උදාහරණයක් වශයෙන්, හාමුදුරුවරුන් උසාවි කොරිඩෝර් වල රස්තියාදු කිරීම අශීලාචාර, අශොභන ක්‍රියාවක් බවත්, ඔවුන් සඳහා වෙනම උසාවි ක්‍රමයක් තිබිය යුතු බවත් ඉංග්‍රීසි නඩුකාරවරු පවා කලක සිටම පෙන්නා දුන්නත් (විහාර නීති විත්ති, ප්‍රින්ස් ගුණසේකර, 1957), එතෙක්, මෙතෙක්, ගල් ගිල්ලා මෙන් සිටි සිංහල පක්‍ෂ දේශපාලන කල්ළුසුද්දෝ, මේ වන විට මුස්ලිම් පිරිමින් මුස්ලිම් ස්ත්‍රීන් දූෂණය කරණා යන්ත්‍රයක් බව ඔප්පුවී ඇති, කාති උසාවි සදා දීමට ප්‍රමාද නොවීය (1951 දී ටී. බී ජයාගේ ඉල්ලීම උඩ). ශාරියා බැංකු මෑතම උදාහරණය.

මෙම පරිවර්‌තන ගැන උඩු මහලේදී සාකච්චාවෙද්දී, බිම් මට්ටමෙන් නොපමාවම සිදුවිය යුතු දෙයක් නම් කුඩා පරිමාණයේ සිවිල් පරිපාලන ඒකක හරහා මහජන ප්‍රජාතන්ත්‍රවාදයක් යලි ගොඩනැඟීමය. මේ මඟින් ලංකාවේ දැනට ඇති දැවෙන හා නොදැවෙන ප්‍රශ්ණ සියේට 70 ක් පමණ විසඳාගත හැකිය. උපරිම විනයක් නැතිව උපරිම නිදහසක් නැත (ෆ්රීඩම් ඊස් ද රෙකොග්නිෂන් ඔෆ් නෙසසිටි-හෙගල්) යන අදහස හොඳින්ම ක්‍රියාවට නැංවිය හැකි හියුමන් ස්කේල් හෙවත් ගම් මට්ටමෙන්‌ය. තින්ක් ග්ලෝබලි, ඇක්ට් ලෝකලි යන අදහස, ලංකාව වැනි කුඩා දූපතකටද පොදුය. රටේ පවතින්නේ, ස්වාභාවික හා මානව සම්පත් අසමාන ලෙස විසිරී තිබීමේත්, ඒ සම්පත් ප්‍රයෝජනයට ගැනීමට මිනිසුන්ට ඇති අවස්ථා අසමාන වීමේත් ප්‍රශ්ණයක් බව අවභොධ කරගත් විට, එය විසඳීමේ හොඳම විධිය ගම් මට්ටමෙන් බව ශපථ වන්නේය. එසේ නම් මෙම ක්‍රියාවලිය ආරම්භ විය යුත්තේ ගමේ (බිමෙන්) ඉඩම් වලින්‌ය. ගුණදාස අමරසේකර මහතා විසින් රටට මතක් කර දෙන්නේ,(අයිලන්ඩ්, මැයි 4, 2020), 1960-70 තරම් ඈත කාලයක සිට මෙම ගම හා ගොවිතැන රටේ දියුණුවට කෙතරම් අවශ්‍යද යන්න, දිවයිනේ විශිෂ්ට ආර්ථික විද්‍යාඥයෙකුවූ ජී. වී. එස්. ද. සිල්වා මහතා (පිලිප් ගුණවර්‌ධන යටතේ 1958 දී කූඹුරු පණත සැදූ) විසින් පෙන්‌වා දුන් බවය.

ක්‍රියාවලීන් හා මතුපිට රටාවන් (ප්‍රොසෙසස් ඇන්ඩ් පැටර්න්ස්)

භූගෝල විද්‍යාවෙන් විමසා බලන්නේ පොලොව මතුපිට සිදුවන, සිදුකරණ ක්‍රියාවලීන් (භූමි කම්පා, ජල ගැලීම්, නායයාම් වැනි ස්‌වාභාවික ක්‍රියා දාමයන් හා මිනිසා විසින් කරණ කඳු කපා දැමීම, පාරවල්, නගර, වාරි මා‌ර්‍ග, කැළෑ කැපීම, ගංඟා ජල දූෂණය වැනි ක්‍රියා) අතර ඇති සම්බන්‌‌ධය හා ඒ නිසා පොලොව මතු පිට ඇතිවන ප්‍රතිඵලය. මෙයට ලෑන්ඩ්ස්කේප් යයි කියනු ලැබේ. අතීතයේ සිදුවූ ක්‍රියා ඉතිහාසය ලෙසත්, ඒවා හා වත්මන සිදුවන දේ භූගෝල විද්‍යාව කියාත් (පොලෝ තලය මත ඇති විවිධ‌ත්‌වය) සැළකේ. මේ අනුව සිතන විට යම් ඉඩමක, යම් නගරයක, ගමක හෝ ප්‍රාදේශීය සභා ඒකකයක යටින්ම ඇත්තේ භෞතික (නැචුරල්) පදනමය. මීට උඩින් ඇති ස්ථරය (තට්ටුව) මිනිසා විසින් ජීවත්‌වීම සඳහා ඇතිකරගත්, ඇතිකරමින් ඉන්නා ස්ථරයය.

මෙම සංස්කෘතික ස්ථරය උඩට ආගම, භාෂාව හෝ කුලය මත අනු ස්ථර සටහන් කල හැකිය. දුප්පත්, පොහොසත් වශයෙන්ද එය කල හැකිය. මේ අන්දමට පලාතක්, රටක් වුවද ස්ථරගත කර, පහසුවෙන් අවභොධ කරගැනීම සඳහා එහි මොඩලයක් (ආකෘතියක්) පිලියෙල කල හැකිය. ලංකාවේ අද තිබෙන නොනවතින වසංගතය නම් මේ සංස්කෘතික අනු ස්ථරය පක්‍ෂ පාට අනුව එකිනෙකා මරා ගන්නා රටාවක් ලෙස ගම් මට්ටමින් බිහිකර තිබීමය. ක්‍රියාවලිය කොළඹ කළු සුද්දන්ගේ පක්‍ෂ දේශපාලනයය. ප්‍රතිඵලය කොල-නිල්-රතු වශයෙන් බෙදුණු (මරා ගන්නා?) ගමේ නගරයේ පවුල්-ගෙවල් ය. මෙම විෂබීජය විනාශ නොකර රටට ගැලවීමක් නැත. චන්ද කොට්ඨාශ සීමා නිර්‌ණය කරණ කොමිෂම් දමාගෙන දේශපාලකයා කරන්නේ, සෙසු සියළු ස්ථර (තට්ටු) අමතක කර මේ පාට බෙදුම ඉස්මතු කරවා ගෙන තම පවුල් වල හොද්ද බොරකර ගැනීමය. ලංකා පොලෝතලය මත ඇති මෙම සංකීර්‌ණ තලවල එකතුව ලිහිල් කර තේරුම් ගැනීමට සුද්දන් අතගැසුවේ කෙසේද?

බේස්ලයින් පාර

සුද්දන් ලංකාව අල්ලාගත් පසු මුලින්ම කලේ මිනිදෝරු දෙපාර්‌තමේන්තුවක් සදා රටේ භූමිය (ඉඩම්) මැනීමය. නෝත් ආණ්ඩුකාරයා එය කලේ 1800 දීය. මෙය පණ්ඩුකාභය රජතුමා (ක්‍රි. පූ 437-367) රට එක්සේසත් කිරීමට කල දේ සිහියට නංවයි. ඇමෙරිකාවේ 1803-4 කාලයේ සිදුවූ ලුවිස් හා ක්ලාර්ක්ගේ ගවේශණයද මෙවැන්නකි. රටක භූමිය ගැන අවභොධයක් ලබාගැනීම එහි අරමුණය. ලංකාවේ බේස්ලයින් පාර කියන්නේ සුද්දා මෙම මැනීම ආරම්භ කල පාදයටය. මේ අනුව යමින් ඉඩ ලැබුණු වහාම (1931 හෝ 1948) ලංකාවේ කළු සුද්දන් කලයුතුව තිබූ දෙයක් නම් රටේ ගම් සභා ක්‍රමය නිසි ලෙස යළි සක්‍රිය කිරීමය. 1856 දී වෝඩ් ආණ්ඩුකාරයාගේ 1856 ගම් සභා පණත, රොබින්සන් ආණ්ඩුකාරයා විසින් 1879 දී තවත් ශක්තිමත් කරන ලදී. සුදු ආණ්ඩුකාරයින්ට තිබූ මේ වැටහීම කළු සුද්දන්ට නොතිබුණේය! ඩොනමෝර් කාලයේදී පලාත් පාලන විෂය බදාගෙන සිටි බණ්ඩාරනායක ඇමති උදාසීන පුද්ගලයෙක් විය. එංගලන්තයේ කවුන්ටි සභා ක්‍රමය දැන සිටි ඔහුට, ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය අමතක වූයේ ඔහු දැන සිටියේ ලංකාවේ ඉතිහාසය හෝ භූගෝල විද්‍යාව හෝ නොවීමත්, ඔහු උපතින් බෞද්‌ධයෙකු නොවීමත්‌ය. පොත් කියවා බෞද්‌ධ යෙකු වීමත්, කුඩා කාලයේ සිට පන්සල් යෑමත් අතර වෙනස විශාලය.

රට හා ගම (අධිවේගී පාරවල් හා ගමේ පාරවල්)

කලින් ලිපි වල සඳහන් කර ඇති කරුණු නැවත සඳහන් කිරීම අවශ්‍ය නැත. කෙටියෙන් කියනවා නම්, වෙනත් රටේ උඩු මහළේ සිදුවන දේ වලින් බාහිරව, ඉක්මණින්ම කල යුතු දෙයක් නම් දැනට ඇති ග්‍රාම සේවා වසම් 14,020, ස්වාභාවික මායිම් සහිත ඒකක බවට පෙරලීමය. 4,000 ක් ලෙස තිබූ මේවා මෝඩ ලෙස 14,000 කලේ ජනාධිපති ප්‍රේමදාසය. පරිසර, භූගෝල විද්‍යා නිර්‌ණායක අනුව නැවත මායිම් කිරීමේදී මෙම සංඛ්‍යාව බෙහෙවින් අඩුවනු නිසැකය. වත්මන් තාක්‍ෂණ දියුණුව ඉදිරියේ මෙය ඉතාමත් පහසු කාර්යයකි. මේ සඳහා ඇමෙරිකන් කොම්පැනි අවශ්‍ය නැත. ජාතිය, කුලය, ආගම, භාෂාව වෙනුවට මෙම ඒකක නැචුරල් ඒකක වන්නේය. නිව්සීලන්තයේ මෙන් ඒවා ජලය ආශ්‍රිත (හයිඩ්‍රොලොජිකල්) ඒකක හෙවත් ගංඟා නිම්න හෝ භූගත ජල ද්‍රෝණි හෝ මත පදනම්වූ භෞතික ප්‍රදේශ වන්නේය.

යම් චන්දයකදී තමන්ට වාසියක් ගන්නේ කෙසේද යන ඒකායන අරමුණින් පක්‍ෂ දේශපාලකයින් විසින් දැනට කරගෙන යන සීමා නිර්‌ණය කිරීමේ ජරමරය වෙනුවට කොරෝනාව හරහා නිදහස ලබන ලංකාව කල යුත්තේ මෙයය. චම්පිකලා මහ උජාරුවෙන් දොඩවන ලද ජාතික භෞතික සැලැස්ම, මෙම අළුත්, එහෙත් කළු සුද්දන් විසින් අමතක කල, පාරට දමා ගත යුතුය.

ලංකාවේ ගංඟා නිම්න 103 හා හඳුනාගත් භූගත ජල ද්‍රෝණි, පරිසර-භූවිද්‍යා-භූගෝල විද්‍යා විශේෂඥයින්ගේ කමිටුවක් මඟින් මෙසේ ගම් මට්ටමින්, ග්‍රාම සේවා ඒකක ලෙස හඳුනාගත් විට එම පරිසර ඒකක, රටේ සෙසු සෑම අංශයකම භෞතික (භූමි/ඉඩම්) පදනම වන්නේය. රාජ්‍ය පරිපාලන අංශයෙන් ගත්තොත්, ග්‍රාම සේවා නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා අවසානයේදී අමාත්‍යාංශ ලේකම් වශයෙන් ඉහළට යන්නේ මූලික ස්වාභාවික මායිම් සහිත ග්‍රාම සේවා ඒකක එකට එකතු කරමින්‌ය. චන්ද දේශපාලනය සඳහා පහල සිට උඩට ප්‍රාදේශීය සභා කොට්ඨාශය, (මිය ගිය?) පලාත් සභා චන්ද කොට්ඨාශය, පාර්ලිමේන්තු චන්ද කොට්ඨාශය වශයෙන් එකතු කල යුතුවන්නේ මෙම අළුත් මූලික පරිසර ඒකකය. පොලිස් වසම්, සෞඛ්‍ය සේවා, වන ජීවි, වනාන්තර, අධ්‍යාපන සේවා, ගොවිජන සේවා, ආපදා කළමනාකරණ සේවා යනාදී ජාතික මට්ටමේ ක්‍රියාකාරී ආයතනද, අනු ඒකක වලට බෙදිය යුතු මෙම පරිසර ඒකක එකතු කරමින්‌ය.

ධ‌ර්‌මපාල පරපුර යන සංවිධානයේ මූලික නිර්‌මාතෘවරයෙකු වන මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිඳුන් විසින් ග්‍රාම රාජ්‍ය සංකල්පය වශයෙන් බක් මස (2020 අප්‍රියෙල්) අරලියගහ මන්දිරයේ ධ‌ර්‍මානුශාසනාවේදී යෝජනා කලේ මේ අදහසමය. ගෝඨාභය චන්ද ප්‍රකාශනයේ ජන මූල සභා කියන්නේද ඊටය. මහින්ද ජනාධිපති කාලයේ හම්බන්තොට පැත්තේ අත්‌හදා බැලූ ජන සභාද එයමය. සර්වෝදයේ ග්‍රාමෝදය සභා කියන්නේත් එයටමය. එකම වෙනස නම් මෙම ඒකක වල මායිම්, නිව්සීලන්තයේ මෙන් ස්‌වාභාවික නිර්‌ණායක මත නොවීමත්, භාෂාව හෝ ආගම හෝ කුලය අනුව වීමත්‌ය. යම් ආකාරයකට ගංඟා මායිම් යෙදී තිබුණ අවස්ථාද ඇතත් එය ජාතික ප්‍රතිපත්තියක් නොවීය.

පලාත් සභා නම් සුදු අලියාව යහපාලනකාරයින් විසින්ම මරා දැමීම ලංකාවේ භාග්‍යයකි. ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීන්ගේ හැසිරීමෙන් පෙන්‌වන්නේ මොවුන් දැළිපි‌හි ගත් වඳුරන් බවය. මොවුන් විනයගරුක, පගාවට යට නොවුණ සමාජයට යහපතක් කරන පිරිසක් බවට පත් කල නොහැක්කේ, හුදෙක් බලයේ සිටීම සදහා පක්‍ෂ දේශපාලන කළු සුද්දන් සෙට් ඔවුන්ව අතකොළුසේ පාවිච්චි කිරීමය. මේ ක්‍රමයෙන් රටකට කවදාවත්ම ගොඩ ඒමක් නැත. මේ නිසා රටට අවශ්‍යවන්නේ බිම් මට්ටමින් ජන සභා (ග්‍රාම සේවා ඒකක කීපයක් එකතුකල) ක්‍රමයක් හා මධ්‍යම අණ්ඩුවක් පමණය. පහත සඳහන් සංඛ්‍යා ගැන හිතා බලන්න.

දැනට ඇති ග්‍රාම සේවා වසම් 14,000 ට, එක වසමකට 5 දෙනා වශයෙන් (ග්‍රාම සේවක, සමෘධි නිලධාරී, ආර්ථික සංවර්‌ධන නිලධාරී, කෘෂි පර්යේෂක, සෞඛ්‍ය නිලධාරිණී) පූර්‍ණකාලීන සේවකයින් 70,000 සිටී. දෙකම එකතු කල විට 600 කට වැඩිවන ප්‍රාදේශිය සභා හා ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්‍යාලවල සේවකයින් 100 බැගින් ඉන්නවා යයි සැළකුවොත් තවත් 60,000 ක් සිටී. මේවායේ ඉන්නා රජයේ ගුරුවරුන්ගෙන්ද සතියකට පැය කීපයක හෝ ජන සභා සේවයක් අපේක්‍ෂාකලොත් කෙතරම් ශ්‍රම බලකායක් එකතුවේද? මේ ආකාරයේ අළුත් සිතීමක් රටට අවශ්‍ය නැද්ද? මුදල් පාලනය සම්බන්‌ධයෙන් ප්‍රාදේශීය සභාවලට විශේෂ බලයක් දී ඇතත්, ප්‍රාදේශීය සභා යනු වඳුරන්ට දැළි පිහි දීමක් වී ඇත. අයවැය පැරදුනත්, දිගටම බලයේ සිටීමට අවකාශ ඇති එකම නියෝජිත මන්ත්‍රී ඒකකය මේ ප්‍රාදේශීය සභාය.

මුලින්ම දකුණු ආසියාවේ මෙම ජන සභා (පීපල්ස් කවුන්සිල්) අදහස නීතියක් මඟින් ඉදිරියට ගෙනාවේ පකිස්ථානයේ අලි ජින්නාට පසු ජනාධිපතිවූ ආයුබ් ඛාන් (1958-69) විසින්‌ය. බේසික් ඩිමොක්‍රසීස් නමින් හැඳින්‌වූ මේවා 1960 දී ආරම්භ විය. මේවායේ සාමාජිකයින් තෝරා පත්කරණ ලද්දේ, 800-1000 අතර චන්දදායකයින් පිරිසක් සිටින ඒකක විසිනි. තම කොට්ඨාශයේ පරිපාලන කටයුතු කල මෙම කවුන්සිල්, මහජනයා හා ආණ්ඩුව සම්බන්‌ධකල පුරුක විය. කවුන්සිල් සාමාජිකයින් විසින් රටේ ජනාධිපති තෝරන්නේය. උදාහරණයක් වශයෙන් 1965 දී ජින්නාගේ සහෝදරිය පරදා ආයුබ් නැවත තේරී පත්‌විය.
මේ පකිස්ථාන් ක්‍රමය සඳහන් කලේ, ලංකාවේද සෙනේට් සභාව වැන්නක් ජන සභා නියෝජිතයින් මඟින් සදාගත හැකි බව පෙන්‌වාදීමටය.

නැවතත් සඳහන් කල යුත්තේ මෙම ජන සභා, පක්‍ෂ දේශපාලනයෙන් තොර වියයුතු බවය. අන්තිමේදී පාර්ලිමේන්තුව පවා පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරාගත් ආයතනයක් විය යුතුය. 1940 ස් ගණන් වල කළුකොඳයාවේ ප්‍රඥාශේඛර නාහිමියන් විසින් අපරාධ මර්‌ධන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නමින්ද, 2000 පමණ සිට ගැමි දිරිය වැඩසටහන වශයෙන්ද මෙසේ දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීමකින් තොරව ග්‍රාම සංවර්‌ධන කටයුතු සාර්‌ථක ලෙස රටේ සිදුවිය. සර්වෝදය සංවිධානය විසින් කරණ ගම් මට්ටමේ ක්‍රියාද ඉබේම මෙසේ පරිසර ඒකක අනුව ප්‍රතිසංවිධානය වනු නිසැකය. තවද, ඔවුන්ගේ ක්‍රියාවලින් ලැබී ඇති, ලැබෙන ප්‍රතිඵල (පර්ෆෝමනන්ස් ඉවැලුවේෂන්, කරගෙන යනවා යයි කියන දේ කෙතෙක් දුරට කර තිබේද) රටට දැනගැනීමට සැලැස්වීමේ කාලය පැමිණ තිබේ.

මෙම ජන සභා ක්‍රමය 13 වන සංශොධන මර උඟුලෙන් ගැලවීමටත්, දෙමළ හා සිංහල ජනයාට ගම් මට්ටමේ උපරිම ස්‌වයංපාලනයක් ලබා ගැනීමටත්, ශාරියා-වහාබි අන්තවදීන් විසින් මුස්ලිම් බලකොටු රටපුරා පිහිටුවමින් ගෙනයන ව්‍යාපාරයට තිත තැබීමටත් උපකාර වන්නේ පරිසර හිතකාමී ආර්‌ථික සංවර්‌ධනයකටද අවකාශ පාදා දෙමින්‌ය. දේශපාලන පක්‍ෂ වලින්, ගම බදාගෙන, නොයෙක් නම් දමාගෙන කරගෙන යන නාඩගම වෙනුවට, ගමේ වැඩ ගමේ මිනිසුන්ට භාර දීමට අවශ්‍යය යන කාරණාව කොරෝනා මර්‌ධනයේදී අණ්ඩුව, මහජනයා, පොලිසිය හා රට දැන් ලබමින් සිටිනා නානා ප්‍රකාරයේ අත්දැකීම් වලින් ප්‍රත්‍යක්‍ෂ නොවේද? සුදත් ගුණසේකරගේ හදබිම සංකල්පයත්, ගාර්වින් කරුණාරත්නගේ දිස්ත්‍රික් සංවර්‌ධන කවුන්සිල් හරහා කරන ලද හා කල හැකි ග්‍රාමීය කර්‍මාන්ත-තරුණයින්ට ස්‌වයංරැකියා සැපයීමත් මෙම ජන සභා සංකල්පයටම අදාලය.

නව ලිබරල් ආර්ථික ක්‍රමය නම් හුටපටය, ගමේ කුඹුරු පුරන් කරවා, ගමේ ජීවන ක්‍රමය විනාශ කලේය. ප්‍රේමදාස යුගයේ ගම් උදාවෙන් කලේ ගමේ කැළෑ කපා තිබුණ ජීවන ක්‍රමයත් විනාශ කර දමා කටු නොකැරකෙන ඔරලෝසු කණු දමා යෑමක් පමණය. මෑතදී සජිත් පුතා කල නිවාස වැස්සද එවැනිම ප්‍රෝඩාවක් විය. මැදපෙරදිගට ගෑණු යැවීම, පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්වා ගම්බද ගෑණු ළමයින් ගාල් කිරීම, සංචාරක ව්‍යාපාරය මත අධික බලාපොරොත්තු තැබීම, රටේ සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් (අගය වැඩි කිරීමකින් තොරව) අපනයනය කිරීම හැර, මේ ලිබරල් පාරේ යෑමෙන් සිදුවුනේ ලෝකෙට ණයවූ හිඟන රටක් බිහිවීම නොවේද? එංගලන්ත ඉස්පිරිතාලවල ජරා කුණු ලංකාවට ගෙනෙ ඒමේ අකරතැබ්බෙන් පසු ධම්මික පෙරේරා දැන් නිහඬය. ඒ වෙනුවට උදය ඉන්ද්‍රරත්න නම් එමිරේට්-ඩුබායි වීරයා ලංකාවට උදව් කිරීමට කොළඹට පැමිණ සිටී. මිලින්ද මොරගොඩලා වෙනුවට මෙවැනි පුද්ගලයින් කෙතරම් වටීද? උදයගේ කතා අසණ විට ඒවා හා ජන සභා සංකල්පය අතර ගැටුමක් නොපෙනේ.

මෙය මෙම ලිපි මාලාවේ අවසාන ලිපිය වුවත්, මෙම ජන සභා ක්‍රමය ක්‍රියාවට නඟන්නේ කෙසේද යන්න ගැන 2005 දී මහින්ද චින්තනය ඇට්ලස් යන නමින්ද, පසුව 2010 දී සංහිඳියා කොමිෂමට දුන් ශාක්‍ෂි වශයෙන්ද පිලියෙල කල සැලස්ම හයවන කොටස වශයෙන් පසුව ඉදිරිපත් කරමි. මෙම රචනා කුඩා පොතක් වශයෙන් මුද්‍රණය කර රටේ පන්සල් වලටවත් බෙදා හැරීම මගේ බලාපොරොත්තුවය. මේ ගැන ඔබට කීමට දෙයක් ඇත්නම් ඒවා පහතින් ඇති ඊමේල් ලිපිනයට එවන්න. ලංකාවෙබ් වෙබ් අඩවිය විසින් මෙම ලිපි මාලාව පලකිරීම ගැන මගේ කෘතඥතාවය පිරි නමමි. මෙවැනි අදහස් ප්‍රසිද්‌ධ කරන්නට ලෝකයේ වෙන කිසිම වෙබ් අඩවියක් නැත. මීට පෙර අයිලන්ඩ් පත්‍රයේ කතෘ ප්‍රභාත් සහබන්‌දු මහතා විසින් මේ විෂය සම්බන්‌ධයෙන් කලකට පෙර ලියූ ලිපි ප්‍රසිද්‌ධ කලත් එය හදිසියේම නතර විය. ලංකාවේ සිංහල හෝ ඉංග්‍රීසි පත්තර වල අයිතිකාරයින්ට මේ අදහස් අරහංය යන්න මගේ නිගමනයයි.
cwije77@outlook.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress