ඩී. ඒ. රාජපක්ෂ දරුවෝ බණ්ඩාරනායක දරුවන්ට නොහැකි වූ ස්වදේශිකයන්ගේ නිදහස් නැගිටීම ජයග්‍රහණය දක්වා ගෙන යාවිද ?
Posted on August 4th, 2020

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

1956 ආරම්භ කළ ස්වදේශිකයන්ගේ නිදහස් අරගලය විවිධ බාධක මැද ඉදිරියට ගමන් කළේය.

එස්. ඩව්. ආර්. ඩී. බණ්ඩාරනායක එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හී අධ්‍යාපන ලැබුවද, සිංහල රාජ්‍ය භාෂාව කරමින් ස්වදේශිකයන් නිදහසේ නැගී සිටුවීමට ගත් ප්‍රයත්නය ශක්තිමත් වූයේ එදා බණ්ඩාරනායක සමග ගිරුවාපත්තුවේ ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැරදා පාර්ලිමේන්‍තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙනි.

අවාසනාවන්ත ලෙස බණ්ඩාරනායක අගමැතිවරයා වෙඩි උණ්ඩයට සිය දිවි නොපිදුවේ නම් රටේ ස්වදේශිකයන්ගේ දිශානතිය අද පවතින තත්ත්වයට පත් නොවේ.

එසේ වුවත් බණ්ඩාරනායක අගමැතිවරයාගේ බිරිද සිරිමාවෝ මැතිණිය 1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය ලබා සමගි පෙරමුණු ආණ්ඩුව පිහිටුවීම  ස්වදේශිකයන්ගේ දෙවන නිදහස් නැගිටීම විය.  ඒ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව පනවා එංගලන්තය සමග පැවති මෙරට අධිකරණවල අභියාචනා විභාග කිරීම සහ රටේ ආරක්ෂාව සම්බන්ධ බැදීම් සහ බහුජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වය මුදවා ගැනීමෙනි.

යටත් විජ්ත නීතියට එරෙහි

ස්වදේශිකයන්ගේ නිදහස් අරගලයේ නියලි බණ්ඩාරනායක අගමැතිවරයාට වෙඩි උණ්ඩයත්, ඔහුගේ බිරිද සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමත්, බටහිර යටත් විජිත ඉංග්‍රීසි නීතිය පවත්වාගෙන යමින් ස්වදේශිකයන් මෙල්ල කිරීමට ගත් උපායමාර්ග විය.

එදා බණ්ඩාරනායක සමග ඩී. ඒ. රාජපක්ෂත්, සිරිමාවෝ මැතිණිය සමග මහින්ද රාජපක්ෂත් සිටගත් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොදන්නවා විය නොහැකිය.

බණ්ඩාරනායක යුවල ස්වදේශිකයන්ගේ නිදහස් අරගලය ශක්තිමත් කරන පියවර රාශියක් ක්‍රියාත්මක කළද ඔවුන්ගේ පුත් අනුර බණ්ඩාරනායක හෝ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරනායක එකී නිදහස් අරගලය ආපසු හරවන ක්‍රියාන්විතයක නියැලෙමින් අනුර බණ්ඩාරනායක, මවගේ ප්‍රජා අයිතිය අහෝසි කළ වුන්ගේ පැත්තට ගිය අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායක, බටහිර බහුජාතික සමාගම්වලට නැවත මෙරට විවෘත කර දීමත්, බෙදුම්වාදය ශක්තිමත් කරන පැකේජ් ව්‍යවස්ථා සම්මත කිරීමටටද උත්සාහ ගත්තේය.

අද වනවිට බණ්ඩාරනායකලා දේශපාලනයේ දක්නට නැතත් ඩී. ඒ. රාජපක්ෂ දරුවෝ දේශපාලනයේ නියැලෙමින් ස්වදේශිකයන්ගේ නිදහස් අරගලය ජය ගන්නා මානයට/ ඉසව්වට ගෙන එන බව පෙනෙන්නට තිබේ.

2015 යහපාලනය වෙනුවෙන් කියා බලයට පැමිණි ආණ්ඩුව රාජපක්ෂවරුන්ට එරෙහිව නීතියේ හස්තය දැඩිව මෙහෙයවන්නට වූයේ බණ්ඩාරනායක යුවලගෙන් ඉවත් කළ ස්වදේශික නැගිටීම රාජපක්ෂලා දෑතට ගියහොත් ඔවුන්ට විදින්නට වන අප්‍රසන්න තත්ත්වය තේරුම් ගත් හෙයිනි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2018 සිදුකළ බලහත්කාරී අගමැති මාරුවත් සමග ආරම්භ වූ යහපාලනය වෙනුවෙන් වූ කණ්ඩායමේ පාලනයේ බිදවැටීමෙන් නැවත ස්වදේශිකයන්ගේ පිබිදීමට හේතු විය.

මේ ක්‍රියාන්විතය දෙස අවධානයෙන් බැලීමේදී එදා බණ්ඩාරනායකලාගේ ස්වදේශිකත්වයට එරෙහි වූවන් මෙන්ම රාජපක්ෂලාගේ ස්වදේශිකත්වයට එරෙහි වන්නෝ එකම කණ්ඩායම බව පෙනේ.

මේ වනවිට රාජපක්ෂලා ජනාධිපති ධූරයත්, අග්‍රාමාත්‍ය ධූරයත් ලබා දේශපාලනිකව ඉතා ඉහළ තත්ත්වයක සිටියද, 2020 අගෝස්තු 05 පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔවුන් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගත්තද ඔවුන් වටහා ගත යුත්තේ රටේ නීතියේ බලය දරන්නේ ස්වදේශික/ පෙරදිග චින්තකයන් නොවන බවයි.

නිදහස ලැබී වසර ගණනාවක් ගත වී ඇතැයි කියූවද, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා නොදේ, එමෙන්ම නීතියේ බලය අත දරන්නේ බටහිර රටවල සම්බන්ධතා දරන්නන් මිස දේශීය/පෙරදිග චින්තනයෙන් බල ගැන්වූවන් නොවේ.

රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ බටහිර සංස්කෘතිය සහ බටහිර පාලනය ස්ථාපිත කිරීමට හෙයින් මෙය නිසි ලෙස වටහා නොගෙන කටයුතු කළහොත් රාජපක්ෂවරුන්ට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇත්තේ බණ්ඩාරනායකවරුන් (බණ්ඩාරනායක දරුවන් නොවේ) මුහුණ දුන් අප්‍රසන්න තත්ත්වයන්ටම ය.

බලයේ සිටින ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් බලයට පත්වන රාජපක්ෂ ආණ්ඩුවත් එඩිතරව සහ ධෛරයෙන් කල යුත්තේ දේශීය / පෙරදිග චින්තකයන්ගේ උපදේශකත්වයෙන් ස්වදේශිකයන්ගේ නෛතික සුරක්ෂිතත්වය වෙනුවෙන් වහා කටයුතු කිරීමත්, කෘෂිකර්මාන්තය සහ දේශීය නිපැවුම් කඩිනමින් වර්ධනය කරන මාර්ග වෙත අවතීර්ණ වීමත් ය.

බණ්ඩාරනායක දරුවන්ට ජයගත නොහැකි වූ ස්වදේශිකයන්ගේ නිදහස් සටන ඩී. ඒ. රාජපක්ෂ දරුවන්ට ජය ගත හැකි වෙන්නේ මේ තත්ත්වය වටහා ගෙන ස්වදේශිකත්වය ශක්තිමත් කිරීමෙනි.

 <https://www.blogger.com/blog/post/edit/7684828915045310871/7740500239109637289#>

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress