ලංකාවේ හිත හොඳ ගෑණු හා 2020 පාර්ලිමේන්තුව – 2 කොටස
Posted on August 16th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

මාළු ඔතන්නවත් නොවටින හැන්සාර්ඩ් වා‌ර්තා

දැන් ඇමෙරිකාවේ ජීව‌ත්‌වන සන්ඩේ ලීඩර් කතෘව සිටි, ෆෙඩ්‍රීකා ජෑන්ස් වරක් කියා සිටියේ ලංකාවේ පත්තර හොඳ, මාළු ඔතන්නටය කියාය. දියවන්නා හෝටලය නඩත්තුවට යන වියදම, මන්ත්‍රී ප්‍රාණ විසින් කරණ කුණුහරුප කතා හා විෂයට අදාල නැති කතාද ඇතුළු මුළු කතාවල වචන ගණනින් බෙදුවොත් එක වචනයකට යන වියදම කෙතරම් විය හැකිද? මේ ප්‍රජා-තන්ත්‍ර (නාස්ලනු) වාදයට රටවැසියා ගෙවන බිල නොවේද? ලංකාවේ මෑත ඉතිහාසය පන්සල හා කළුසුද්දන් අතර අරගලයේ ඉතිහාසය ලෙස සළකණ විට, පසුගිය අවුරුදු 72 න් පසු නොව, 1960 න් පසුව, 1970 න් පසුව හෝ 2005 න් පසුව සිංහල හෝ සිංහල බෞද්‌ධ මන්ත්‍රී පඬරැල් කී දෙනෙක්, 1956 සිට 2002 ද‌ක්වා කාලය තුල රටේ රජයෙන් ප්‍රසිද්‌ධ කල බෞද්‌ධ කොමිෂන් සභා වා‌ර්තා ගැන පාර්ලිමේන්තුවේදී එක වචනයක් හෝ කතා කර තිබෙනවාද? එතෙක්, මෙතෙක්, මුස්ලිම් මන්ත්‍රීලා පාර්ලිමේන්තුවේදී ආගමික පණත් ගෙනාවිට මේ සිංහල බෞද්‌ධ මන්ත්‍රී ප්‍රාණ අඳ, ගොළු බිහිරන් සේ සිටියේ නැද්ද? මේවා ගැන රටේ මහානායක හිමිවරු දන්නවාද?

9 වගන්තිය නමැති ප්‍රෝඩාව

බුද්‌ධාගම රකිනවා, පෝෂණය කරනවා යන 9 වෙනි වගන්තිය මොන තරම් ප්‍රෝඩාවක්ද යන්න එලිදරව් වන්නේ මෙවැනි අළුත් ප්‍රශ්ණ අසන්නට අපට ශක්තියක් තිබෙනවා නම් පමණය. ජනාධිපති ගෝඨාභය රුවන්වැලි මහසෑය ඉදිරියේ දිවුරුම් දීමේ අව්‍යාජ බවත්, අනිත් අය ඒ අනුව කොපිකරමින් කැළණියේ හා දළඳා මාළිගාව අසල දිවුරුම් දීමත් අතර වෙනසක් පේන්නේ, දේශපාලකයින් සහභාගී වූ විට රටේ සෑම තැනම කියවෙන පිරිත් ප්‍රමාණය සුළුපටු නොවන නිසාය. ඒවා ඒ කණෙන් අසා මේ කණෙන් පිටවී ශබ්ද පමණක් නොවීද? දශමයක හෝ අවධානයක්, පිළිපැදීමක් වූවා නම් රට පින් කෙතක් නොවන්නේද?එන්න එන්නම අතේ බැඳ ගත් පිරිත් නූල් ප්‍රමාණය කඹ තරම් මහත් වන්නේද මේ න්‍යායට අනුවය. පිරිතෙන් පාලියෙන් කියන්නේ සියළු සත්‌වයෝ සුවපත්වේවා කියාය. මුස්ලිම් පල්ලියේ පාරට හැරවූ ලවුඩ් ස්පීකර් වලින් අරාබි බසින් යා‌ඥාකරන්නේ ලංකාව අල්ලාගේ රට කියා නොවේද?

කුරගල පුරාවිද්‍යා පුදබිමේ අනවසර මුස්ලිම් පල්ලියට හෙන වැදීම

මා දන්නා අන්‌දමට, තම අතේ <දේශපාලන> පිරිත් නූල් බඳින අය අතරින් ඉන් පිහිටක් ලැබෙන බව එලිපිටම කිව්වේ, සොල්දාදුවන් 400 ක් මුදවා ගැනීමට කල පුනරින් ආක්‍රමණයේදී, සතුරාගේ කාලතුවක්කු වලින්, මහ දවල්, තම නැව් දෙක බේරා ආවරණය ලබාදුන් ධාරානිපාත වැස්ස හා වළාකුළු ගැන සඳහන් කල රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර පමණය. මෙය දෙවන ලෝක යුද්‌ධයේදී ජෙනරාල් ජෝර්ජ් පැටන් විසින් වැස්ස නතරකර ගැනීමට ඔහුගේ චැප්ලින් ලවා ලියවා ගත්, අදටත් ඇමෙරිකාවේ පල්ලි වල ගයන <පැටන් යාඥාවට> සමානය! චන්දය දිණුවාට පෙර හෝ පසු පවිත්‍රාදේවි වන්නිාරච්චිද ඈ එහි ගියවිට රත්නපුරේ මහ සමන් දේවාලයේ දෙතැනකින් හමා ආ මල් සුවඳක් ගැන සඳහන් කරනවා මම දුටුවෙමි!

සිංහල බෞද්‌ධයින්ගේ ස්වයංමුලාව

අගමැති බණ්ඩාරනායක කාලයේ විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්ව විද්‍යාල කර සංඝ සමාජයට දිගුකාලීනව කල හානිය, මිසිස් බී ගේ කාලයේ ඉතිහාසය පාසැලෙන් ඉවත් කිරීම, සිලෝන්/සිංහලේ වෙනුවට ශ්‍රී ලංකා යයි රටේ නම් වෙනස් කිරීම, ඩඩ්ලි විසින් ඉරිදා සෙනසුරාදා වෙනුවට, පෝය පෙරපෝය නිවාඩු කිරීම, පාරේ භාෂාවෙන් කියනවා නම්, සිංහල බෞද්‌ධයාට යම් <මෝඩ සුදියක්> දුන් පරිදිම, 9 වගන්තිය කියන්නේ කුමක්දැයි නිර්‍වචනය නොකිරීමද මේ රැවටීමටම අයත්‌ය. මේ වගන්තිය හා බුද්‌ධ ශාසන ඇමති හා අමාත්‍යාංශය යනු, බෞද්‌ධයින්ව රටතුලත්, පිට ලෝකයේදීත් අමාරුවේ දැමූ මුග්‌ධ ඉල්ලන් කෑම් විය. උදාහරණයක් වශයෙන්, ලංකාවේ බුද්‌ධාගමට විශේෂ වරප්‍රසාද දෙනවා කියා ඊළම්කාරයින් හා ලෝකල් එ‌න්.ජී.ඕ කාරයින් කෑ ගසයි. ආණ්ඩුවෙන් ආධාර දෙනවා යන කතාව නිසා පන්සල් වලට දායකයින්ගෙන් ලැබුණ ආධාර අඩුවිය. ඒ අතරතුර, සමහර විට ඉරිදා දහම් පාසැලකටවත් නොගිය බුද්‌ධ ශාසනය භාර නිලධාරීන් දුප්පත් පන්සල් හිඟන්නන්ගේ ගනයට දමා හිතුවක්කාර බලධාරීන් ලෙස ක්‍රියා කරයි. මොවුන් මුදල් ආධාර අවශ්‍ය පන්සල් වල විස්තර ලැයිස්තු, අල්ලස් දී හෝ නොදී ඒවා ලබාගන්නා ක්‍රිස්තියානී හා වෙනත් විදෙස් සතුරු බලවේග වලට සපයාදේ. යූ.එ‌න්.පී භාණ්ඩාගාරිකව සිටියේ ටකරම් පල්ලි (යාඥාමඩු) දෙතුන්සීයක් භාරව සිටි අයෙක් බව දන්නේ කී දෙනාද?

හොද්දට දාන කරපිංචා

එහි ඇති ගුණය නිසා හොද්ද සමඟ පිඟානට වැටී ඇති කරපිංචාද බත් සමඟ කෑමට ඇමෙරිකාවේදී මා පුරුදුවූ නිසා, හොද්දෙන් කරපිංචා විසිකිරීම ගැන ඇති කියමන මට දැන් අදාල නැත. එහෙත්, ලංකාවේ සිංහල බෞද්‌ධ දේශපාලකයින්, පොදුවේ සංඝ සමාජයටත්, කලින් කලට ඉන් තෝරා ගත් ජනප්‍රිය සංඝයා වහන්සේලාටත් සළකන්නේ කරපිංචා වගේ නොවේ යයි කියන්නට පුළුවන්ද? බුද්‌ධාගමේ ඉගැන්‌වෙන අනිත්‍යය, එහි අවුරුදු 5,000 ආයු කාලය, හැම පෘථග්ජනයාම ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධ යන්න හා කොසොල් රජතුමාගේ සීන දාසැයෙන් ලොවට දී ඇති බෞද්‌ධ දේශපාලන විග්‍රහය අනුව සළකණ විට, හිතහොඳ ගෑණී කතාවට හෝ දත් මැදලා දමණ දැහැටි දඬු වලට හෝ වඩා මේ කරපිංචා කතාව වඩා ශීලාචාර යයි යමෙකුට පෙනී ගියොත් එය සාධාරණය.

මෛත්‍රී කිරීම ලෞකික ට්‍රැප් එකක්ද?

ක්‍රිස්තු පූ‌ර්‍ව පස්‌වන ශතවර්‌ෂයේදී බෞද්‌ධ ඉන්‌දියාවේ ලෝකයට වඩා, 2020 ලෝකයේදී ලංකාවේ ථේරවාද බෞද්‌ධයින් වනාහි, ක්‍රිස්තියානි මූලධ‌ර්‍මවාදය, ශාරියා-ඉහ්වාන්වාදය හා විග්නේෂ්වරන්ලාගේ බුදුපිළිම අරහං දෙමළ බෞද්‌ධයා වාදයට, ඩොලර් එ‌න්.ජී.‌ඕ කොම්පැනිවාදයට හා චන්ද්‍රිකා-රෝසි-මංගලලාගේ සමරිසි ලිබරල්වාදයට, මැදිවූ, එනම් බිලියන් හය හතක ලෝකයක, මිලියන 15 කටත් අඩු වඳවෙමින් පවතින ජන කොටසකි. මෙය සමාන කල හැක්කේ ගිරයට අසුවූ පුවක් ගෙඩියකට වඩා දත් තිස්දෙකට මැදිවූ දිවකටය. ඊට හේතුව හතුරා විසින් බලා ඉන්නේ ඉඩක් ලැබුණු හැම අවස්ථාවේදීම, කෝ බුද්‌ධාගමේ කියන මෛත්‍රීය කියා, නැත්නම් මියගිය ස්ටැන්ලි තම්බයියාගේ අවිහිංසාවාදය ගැන කියන බෞද්‌ධයින් මිණීමරන්නේ ඇයි කියා අසමින් කොටුකර පහර දෙන්නටය. කඩුව හෝ මුගුර අවශ්‍ය තැන නවගුනවැල ගණින්න එපා යයි නන්දා මාලිනී ගයන්නේ ඒ නිසාය. අශොක රජතුමාගේ ධර්‌මිෂ්ට රාජ්‍යය, ඔහු මියගොස් වැඩිකලක් යන්නට පෙර ඉන්‌දියාවෙන් අතුගෑවී ගියේය. අද ඉතිරිවී ඇත්තේ, ඉන්දියන් ජනාධිපතිලා වන අබ්දුල් කලාම්, ප්‍රතිභා පටිල් හා අගමැති මෝඩිලාගේ බුද්‌‌ධාගමේ රාජ්‍ය පාලන වටිනාකම ගැන කරණා ආවැඩීම් පමණය.

ඥානසාර හිමිඳුන්ගේ මස් රාත්තල

යම් සමාජ ශොධක හිමිනමක් අපවත්‌වූ විට එය අපවත් කිරීමක්ද යන සැකයක් අසන්නට ලැබෙන්නේ ඇයි? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ටද වස දෙන්නට හැදුවා යයි කතාවක් මා අසා ඇත. කොටගම වාචිස්සර හාමුදුරුවන්ගේ මරණය හා තවත් එවැනි උදාහරණ ඇත. බණ්ඩාරනායක අගමැතිට කැබිනට් රැස්වීම් මේසයේදීම දුන් නයි විෂ දැමු කිරි වීදුරුව වැරදීමෙන් බිව්වේ සීපීද සිල්වාය. රනිල්, රාජිතව ශල්‍ය කර්‌මය සඳහා රජයේ වියදමින් සිංගප්පූරුවට යැව්වේද මේ බය නිසාය. සෝම හමුදුරුවන්ගේ අභාවය කුමන්ත්‍රණයක් නොවේයයි, යම් ඩොලර් බලයක් විසින් රාවයේ වික්ටර් අයිවන් යොදවා, පන්සලේ විප්ලවය යනුවෙන් පොතක් ලියවූයේය. අයිවන් ඒ පොතෙන් සෝම හාමුදුරුවන්ට, සිනමා නළු රූපයක් සහිත ප්‍රේම සම්බන්‌ධයක්ද පැටලුවේය. යහපාලනකාරයින් මාදුළුවාවේ සෝභිත හිමියන්ව සිංගප්පූරු යැව්වේ භාගෙට මළ පසුවය. මෙම සිද්‌ධි වලදී සෝම හාමුදුරුවන් සතුරාගේ උගුලට අසුවුනේ පෘථග්ජන තෘෂ්ණාව නිසාය. ජීවිතය පුරාම රට ජාතිය වෙනුවෙන් බැටකා ලේ හැලූ සෝභිත හිමිඳුන්ද ඇමෙරිකන්-චන්ද්‍රිකා යහපාලන ගැටයට අසුවුනේද ඒ නිසාය. මේ ඉතිහාසය ගැන සිතන විට ඥානසාර හිමියන් ඝාතනයෙන් බේරී සිටීම, ජනාධිපති ගොඨාභය දෙවන වරටත් ඝාතන උත්සාහයකින් බේරී සිටිය යුතුවීම තරම්ම ජාතික වැදගත් කමක් ඇති කරුණකි.

බොරු ප්‍රජා-තන්ත්‍ර (නාස්ලණු) වාදය

පුද්ගලයෙකුට කලහැකි හැම අපහාසයක්ම කර, චන්දය ඉල්ලීමට හැම භාධාවක්ම කර, මාධ්‍ය හා ඇමෙරිකන් මුහුණු පොත් කොම්පැනියෙන් පවා වාරණ දමා, අන්තිමේදී යම් අදෘෂ්‍යමාන බලවේගයකින් ඥානසාර නම් මන්ත්‍රී උන්නාන්සේ කෙනෙක් පාර්ලිමේන්තුවේ සිංහනාද කිරීමට දුන් අවස්ථාව ප්‍රමාද කිරීමට දැන් සිදුවෙනදේ සමාන කල හැක්කේ, අන්තිම මොහොතේ ජනාධිපති අපේක්‍ෂක කම නැතිකිරීමට රණවිරුගාය හැදුන චන්ද්‍රගුප්ත තේනුවර හා වියන්ගොඩ විසින් උසාවියෑම හා, ජනාධිපතිවූ වහාම ස්විස් තානාපති විසින් කල විගඩමටය. බොදු බල සේනාව පාර්ලිමේන්තුවට යෑම හරියට සියළු සුදු-කළුසුදු හතුරන් පරදා අනාගාරික ධර්‌මපාලතුමා ඩොනමෝර් රාජ්‍යමන්ත්‍රණ සභාවට ගියා වැනිය. කලකට පෙර දළඳාව පැහැරගෙන යන ලෙස ඥානසාර හිමියන්ට යෝජනාකල රතන හිමියන්, මේ අවස්ථාවේ කල යුතු වන්නේ, උන්වහන්සේව පාර්ලිමේන්තු අසුනේ තබා, මන්ත්‍රීගේ පුද්ගලික ලේකම් වශයෙන් සෙවනැල්ලක්සේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගොසින් තම අවුරුදු 15 මන්ත්‍රී අත්දැකීම් එතුමාට ලබාදීම නොවේද? රතන හිමියන්ගේ දළඳා මාළිගා උපවාසය කෙළවර කල හැකිවූයේ කාදිනල්තුමා එතැනට ඒමෙන් නොව, ඥානසාර හිමියන් විසින් යහපාලනකාරයින්ට තර්‍ජනය කරමින් කොළඹ බලා ඒමට ආරම්භකල මහජන පෙලපාලිය නිසාවෙන්‌ය. මාවිල් ආරුවේදී සටන් කාමීවූ රතන හිමි, උපවාස කරණ රතන හිමි වූ පසු, මතවාදී සටන භාරදියයුතු බෝධි සත්‌ව නාගයාට යන්න මින් ඔප්පු විය.

රතන හිමියන්ගේ කැපසිටිය (ධාරිතාව)

වස විසෙන් තොර-සූර්ය, සුළං බල-සිංහල-වතු දමිළ සහජීවනයෙන් පිරි- රටක් ගොඩ නැඟීමේ කාරිය තමන් විසින් තවදුරටත් කරගෙන යමින්, නොයෙක් රට කඩන මතවාද, පාර්ලිමේන්තුවේ සිට මතවාදයෙන් පැරදවීම ඥානසාර හිමියන්ට භාරදීම රතන හිමියන්ගේ යුග පුරුෂ කාරියය. දැන් අළුතෙන්ම ඥානසාර හිමියන් දුන් මාධ්‍ය සාකච්චාව අනුව එලිවන්නේ රතන හිමියන් වැරදි දෙක තුනක්ම කර ඇති බවය. උන්වහන්සේගේ අවුරුදු 15 මන්ත්‍රීකාලය, රනිල්ගේ අවුරුදු 26 ට සමානය. ලේකම් භික්‍ෂූ විමලතිස්සව හොයා දෙනවා මිස උසාවියට යෑමට යෝජනා කිරීම 67,000 ක චන්ද දායකයින් පිරිසක්, උසාවි පංචස්කන්‌ධ දෙක තුනකට පාවා දීමකි. නාම යෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේපවීමේ සිටම, රතන හිමියන් දැන හෝ නොදැන, යම් සංවිධානාත්මක කුමණ්ත්‍රනයක් සිදුවී ඇති බව දැන් පෙනීයයි. කොළඹ නාමයෝජනා වලට මැදිහත්‌ව ඇත්තේ සෝලංග‌ආරච්චිගේ බිරිඳය. තුෂාර පීරිස් නම් පැරිසියේ වසනා පාතාලයෙක්, අරඹේපොල රතනසාර නම් භික්‍ෂුවක් සමඟ මේ පට්ට කුමන්ත්‍රණයට හවුල්වී ඇතැයි ඥානසාර හිමි මාධ්‍යයට කියා සිටියේය. එක් එක් කාලයේ හා එක් එක් වයස් වලදී මේ රටේ ප්‍රසිද්‌ධ සමාජ සේවක හාමුදුරුවරු තම හැකියාවේ හා තම භූමිකාවේ ලක්‍ෂණ එලිකලේය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද, වල්පොල රාහුල, ගංගොඩවිල සෝම හා මාදුළුවාවේ සෝභිත යන හාමුදුරුවරුන් ගැන සිතා බලන විට මේ වෙනස්කම් පෙනේ. මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවන් ජේ.ආර් ට යැවූ සංදේශ කාලය අපතේ යැවීමක්, බීරී අලියෙකුට, ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා කී පරිදි කපුටු බෝ ගසකට දත නියවීමක් විය! මෑතකාලයේදී ඥානසාර හිමියන් කරණ සිංහනාදය, රතන හිමියන් සිය තරුණ වයසේදීවත් කර නැත. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන්නේ මේ නිසාය. ධර්‌මපාලතුමා, දිඹුලාගල හාමුදුරුවෝ, නාමල් උයනේ වනවාසී රාහුල හිමි, මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමි එක් එක් ආකාරයේ වෙනස් යුතුකම් ඉටුකල/කරණ, ඒ සඳහා ජීවිතය කැපකල පංචස්කන්‌ධ විය. පාර්ලිමේන්තුවේ අනිත් 224 ඉදිරියේ මතවාදයෙන්, ඊළම්වාදය, ශාරියාවාදය, ක්‍රිස්තියානි මූලධ‌ර්‌මවාදය, ලෝක ලිබරල්, කොම්පැනි ධනවාදය පරාජය කිරීමේ හැකියාව හා පෙර ආත්මයෙන් එන පින තිබෙන්නේ ඥානසාර හිමියන්ටය.

සිංහලයා ශ්‍රී ලාංකිකයා කිරීමේ ව්‍යාපාරය

1551 දී දොන් ජුවන් ධර්‌මපාලගේ සිටම සිදුවූයේ, සිංහලේ හා සිංහලයා, ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරයය. රජමහා විහාරයට යාබදව පල්ලියක් සදා, කෝට්ටේ ප්‍රභූන් කතෝලික කිරීමෙන් ඇරඹුණ මේ ක්‍රියාවලිය, එතැන් සිට, කළු සුද්දන් බෝ කිරීමේ ව්‍යාපාරයක් වශයෙන් ප්‍රවර්‌ධ නයවී, 1948 දී කළු සුද්දෙක් අගමැති වීමෙන් කූඨප්‍රාප්ත විය. 2015 දී එය යහපාලන ශාපයක් විය. 1815 දී සිංහලේට නැතිවූ නිදහස, 1947 දී 29 වෙනි වගන්තිය මඟින් නැවතත් නැතිකරණ ලදී. මේ ගැන තරුණ සිංහලයින්ට කියා දිය යුතුය. මානසික වශයෙන් සිංහල ජාතිය තම මව්බිමේම එක් ජන වර්‌ගයක් පමණක් කලේ ඒ වගන්තියෙන්‌ය. මේ නිසා ඩී. එස් නිදහසේ පියාද යන්න නැවත විමසා බැලිය යුතු නොවේද? පෙත්සම් ගැසූ විට නියම නිදහසක් දෙන යටත් විජිත පාලකයෙක් නැත. එක්සත් ජාතියක්, එක්සත් ජාතික පක්‍ෂය තුලවත් නොවීය. සිදුවූයේ පෙඩරල් කාරයින් ප්‍රසිද්‌ධියේත්, ශාරියා කාරයින් දිය යටිනුත්, සිංහලේ නමැති පාන් රාත්තලෙන් කෑලි කුනිත්තා ගැනීමය. 1957 බණ්ඩා-චෙල්වා ගිවිසුමෙන් දමිළ ජන වර්‌ගයට ලංකාවේ කෘතිම මව්බිමක් යෝජනා කරණ ලදී. 1965 දී ඩඩ්ලි හා ජේ ආර් එය තහවුරු කර දෙන ලදී. 1987 දී 13-ඒ හරහා එය නීතිගත කරණ ලදී. ඒකීය රටක් නීතිය ඉදිරියේ දැනට නැත.

වෙන රටවලදී මෙන් මේ කුඩා දූපත කැබලි කරගැනීම ප්‍රමාදවූයේ රටේ, ජාතියේ මුරදේවතාවුන්‌වූ භික්‍ෂූ පරපුර නිසාය. මේ ඉතිහාසයේදි වැරදි පාරේ ගිය, හා යන, සිල්වත් නොවන භික්‍ෂූන් සිටින්නේමය. භික්‍ෂූ සාසනයේ මේ පිරිහීමට සුද්දන්න්ට වඩා වගකිව යුතු සිංහල බෞද්‌ධ යයි කියනා පාලක කළු සුද්දන්‌ය. 1920 ගණන් වල සිට අරාබි ආගමික පාසැල්, 1951 දී කාති උසාවි යනාදිය නීති මඟින් සදාදුන් පාලකයින්, අඩු තරමින් උසාවි කොරිඩෝර් වල රස්තියාදු වෙන හාමුදුරුවරුන් සඳහා ශීලාචාර ක්‍රමයක් හදා දෙන ලෙස සුදු නඩුකාරයින් කල් ඉල්ලීමටවත් කන් නොදුන් අන්දම, ප්‍රින්ස් ගුණසේකර විසින් 1958 දී ලියූ විහාර නීති විත්ති යන පොතේ විස්තර කර ඇත. සුද්දගෙ නීතිය අදවන විට කළුසුද්දන් රකින, වඳින නීතිය වී තිබේ. අනිත් සුළු ජන වර්‌ග වලට ශ්‍රී ලාංකික යන පලිහ සමඟ, මුස්ලිම්-දෙමළ යන කඩු අතට දී ඇති අතර, සිංහලයාට ඇත්තේ උපතින් ඔහුට/ඇයට ලැබුණ අත් දෙක හා කකුල් දෙක පමණය.

සුෂුම්නාව කැඩුණ සිංහල බෞද්‌ධ නායකයෝ

උප්පැන්නෙන් සිංහල ජාතිය යන්න ඉවත් කර, සිංහලයා දිවයිනේ එක් ජනවර්‌ගයක් කිරීමේ හොර උත්සාහයට විරුද්‌ධව චන්ද කාලයේදී ප්‍රසිද්‌ධියේ කතා කලේ විමල් වීර වංශ හ උදය ගම්මන්පිල පමණය! සිංහල බෞද්‌ධයා හිත හොඳ ගෑණී වූවා පමණක් නොව සිංහලයා පාපිස්සක්, මුව හමක් බවට පත්‌වී ඇත. මෙම අවාසනාවන්ත ඉරණම නතර කිරීමට 1956 <අපේ ආණ්ඩුව> අසමත් විය. ඊට හේතුව එය කළු සුද්දන්ගේ ග්‍රහණයට අසුවූ ආණ්ඩුවක් වීමය. විශාල වශයෙන් සිංහල-දෙමළ ලිපිකරුවන් බඳවා ගන්නටත්, විපක්‍ෂය ආණ්ඩුවට සම්බන්‌ධ කරගන්නටත්, තරුණ ගම්පහ මන්ත්‍රී, පසුව ඉඹුල්ගොඩ වීරයාවූ, ඇස්.ඩී. බණ්ඩාරනායක කල යෝජනාව අගමැති විසින් ප්‍රතික්‍ෂේප කලේය. මාස දෙකක් යන්නටත් පෙර බෞද්‌ධ බලවේගයේ එල්. එච්. මෙත්තානන්ද අගමැති ගෙන් ඉවත්‌ව ගියේය. 1960 හා 1970 දශක වල මිසිස් බී, මාක්ස්වාදීන්ගේ, ඇන්ග්ලිකන් ෆිලික්ස් ඩයස්ගේ, ඉස්ලාම් බදිුද්දීන් මොහමඩ්ගේ බලපෑම් වලට ගොදුරුවිය. එන්. කිව්, ඩයස් තනියෙන් සටන්කල නියම බෞද්‌ධයා විය. උපාසිකාවක් ලෙස සැළකෙණ මිසිස් බී, දළයිලාමාට දළදාව වැඳගැනීමට සංචාරක වීසාවක් යටතේ දවසකටවත් ලංකාවට ඒමට ඉඩදුන්නේ නැත්තේ චීනයට බයේද නැත්නම් චීන පිලේ සේනානායක දෙබෑයින්ගේ (රත්න දේශප්‍රිය) බලපෑමටද? පසුව එතුමාගේ මවගේ වළල්ලක්, එතුමාගේ නැඟනියක් විසින් දළදා මාළිගාවට පැමිණ පූජා කලේ ඒ නිසාය.

2020 පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පංචස්කන්‌ධ

ඥානසාර හිමියන්ට පාර්ලිමේන්තුවට යෑමේ අවස්ථාව අහිමි කලත්, ඒ වෙනුවට, මතවාදයෙන් සිංහල බෞද්‌ධ හතුරන් පරාදය කිරීමට විභව ආත්ම ශක්තියක් ඇති මන්ත්‍රීන් කීපදෙනෙක්ම දැන් පත්‌වී සිටී. එහෙත් මේ අය, අඩු තරමින්, <ඥානසාර මතවාදය> අනුමත කල 2017 ජූනි 20 හා ජූලි 4 අස්ගිරි ප්‍රකාශනයෙන් හා අස්ගිරි නිවේදනයෙන් පසුව වත්, ඥානසාර හිමියන් වෙනුවෙන් ප්‍රසිද්‌ධියේ වචනයක්වත් කතා කලාදැයි මම නොදනිමි. පක්‍ෂ දේශපාලනය හා විනය විසින් ඔවුන්ට, ඥානසාර හිමියන්ට ඇති ස්වෛරීභාවය නොදෙනු ඇත. චන්දයේදී ඔවුන් කී එක රටක්, එක නීතියක් යන සංකල්ප ක්‍රියාවට නඟන්නේ කෙසේද?

මේ නිසා රට පුරා උත්සව පවත්‌වමින්, ලැබුණ ධූර ගැන නාහෙන් අඬමින්, පන්සල් ගානේ යමින් හැසිරෙන පොහොට්ටු මන්ත්‍රීන් තේරුම් ගතයුතු කාරණා රාශියක්ම ඇත. දැනට ඇති අමාත්‍ය සංඛ්‍යාවද විශාල වැඩිය. රැවුලත්, කැඳත් බේරා ගැනීම, දැනට රටේ තිබෙන නාස්ලණුවාදය යටතේ කල යුතු බව සැබෑය. එහෙත් එහි සීමාවක් තිබේ. ඒ සමඟ සාධාරණකමක්ද ඇති බව චන්දය දුන් අයට පෙනී යායුතුය. විජේදාස රාජපක්‍ෂට, විදුර වික්‍රමනායකට සළකා ඇති ආකාරය පුදුමය.

  1. තුනෙන් දෙකක චන්ද බලයක් ජනාධිපතිට ලබාදී ඇත්තේ ඔහු ගැන විශ්වාසය තබා මිස පරණ සෙට් එකට නැවත කයිය ගසන්නට නොවේ.
  2. රටේ ලක්‍ෂ 50 ක් චන්දය දී නැත. ලක්‍ෂ 7 කට වඩා චන්ද පත්‍රිකා නරක්‌වී ඇත. මෙය අනතුරු ඇඟවීමකි.
  3. විරුද්‌ධ පක්‍ෂ සිය කුහක හා මුග්‌ධ වාචාල කටවල් ඇරගෙන යමින් සිටී. හිරුනිකා වැනි රාජපක්‍ෂ දුවක් සේ හැදුන තරුණ ස්ත්‍රියක්, මහින්ද තව අවුරුදු දෙකකින් මැරෙනවා යයි ප්‍රසිද්‌ධියේ කියන මට්ටමට පිරිහී ඇත. බොරු ප්‍රකාශකර ජනයා නොමඟ යවන මෙවැනි දේශපාලකයින් හිර අඩස්සියට ගෙන රජරට වැව් ශුද්‌ධකිරීමට දැමීමට ප්‍රජා-තන්ත්‍රවාදය ඉඩ නොදේ.
  4. දමිළ හා ඉස්ලාම් දේශපාලන හොරුන්ට මිනිසුන් රවටීමේ ඒකාධිකාරය අහිමිවෙමින් පවතී.
  5. සිංහල-දමිළ, හින්‌දු-බෞද්‌ධ සහජීවනය සඳහා අවශ්‍ය දහස් ගණන් ජනයා උතුරෙන් හා නැඟෙනහිරෙන් ඒ සඳහා සිය චන්දය ප්‍රකාශකර ඇත.
  6. දරිද්‍රතාවය නැති කිරීම සඳහා බිම් මට්ටමෙන් ආණ්ඩුව ගන්නා පියවර යහපත්‌ය. පාරවල් හා ගොඩනැඟිලි වෙනුවට පාසැල්, ජලය, වැසිකිලි, රෝහල්, වගාවට ආධාරදීම, ගොවියන් අතරමැදි කූඨයින්ගෙන් බේරා ගැනීම වැදගත්‌ය. භූටාන් රටේ මෙන් හැපිනස් ඉන්ඩෙක්ස් එකකට වඩා ඉහළ සෑම සත්‌වයාම සුවපත්වේවා යන දර්‍ශකය අපේ ඓතිහාසික උරුමය නොවේද?
  7. එහෙත් දෙමළ බෙදුම්වාදය හා ශාරියාවාදය මතවාදයෙන්ම පරදවන තාක්, 1923 සිට එන මේ පිළිකාව කෙළවර වන්නේ නැත.
  8. මෙය පාර්ලිමේන්තුව තුල සිදුකල යුතු අතර එය දැනට කල හැක්කේ ඥානසාර හිමි වැනි අයෙකුට පමණය. සරත් වීරසේකර, ගෙවිඳු කුමාරණතුංග, චන්න ජයසුමන, සීතා අරඹෙපොල යන අයට එය කල හැකිද?
  9. මෙහිදී වැදගත් වන්නේ, සිංහල බෞද්‌ධයාට අවුරුදු 500 ක් පුරා කල වෙනස්කම්, හිරිහැර, සාධාරණ ලෙස ඉවත්කිරීම (ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන්), සෙසු ජනවර්‌ග වල මානව හිමිකම් කඩකිරීමක් නොවන බව අඩුතරමින් පොහොට්ටු මන්ත්‍රී පිරිසවත් මනාව වටහා ගැනීමය. ඊට හේතුව එසේ වෙන තෙක් මේ ගැන කට්ටි පැනීමට ඔවුන් යොමු වන නිසාය. පෙඩරල් හොල්මන් රැසක්ම පො‌හොට්ටුවේ එල්ලී, සැඟවී සිටී.
  10. මානව හිමිකම් මුවාවෙන් එන නොයෙක් මාදිලියේ දේශීය හා විදේශීය ඩොලර් ආක්‍රමණ වලට මුහුණ දිය යුත්තේ බෞද්‌ධ මධ්‍යම ප්‍රතිපදාවෙන් මය. තිරසර සංවර්‌ධනය යනුද එයමය. රුවන්ඩාවේ සිදුවු ජාති ඝාතන ලංකාවේ සිදු නොවුයේ කුමක් නිසාදැයි ජීනිවාකාරයින්ට, ඊළම් චන්ද හා ඩොලර් වලට යටවුනු සුදුරටවල දේශපාලකයින්ට පෙන්වා දිය හැකි දැණුමක් ඇති විදේශ අමාත්‍යාංශයක් අපට අවශ්‍යය.
  11. සෑම සංවර්‌ධන ක්‍රියාවක්ම පොලෝතලයේ, බිමේ සිදුවන්නකි. මේ නිසා භූමි (භූගෝල)විද්‍යාව හා ඉතිහාසය අමතක කිරීම නොකල යුතුය. රටක ඉතිහාසය යනු ඒ රටේ අතීත භූගෝල විද්‍යාවය.
  12. මේ නිසා ඒකිය රටක්, සහජීවන රටක්, සමෘධිමත් රටක් බිහිකිරීමේ අත්තිවාරම වන්නේ රටේ පරිපාලන ඒකකය භූගෝල විද්‍යාවට අනුව ස්වාභාවික ඒකක ලෙස මායිම් කිරීමෙන්‌ය. සීමා නිර්‌ණ කොමිෂන් සභාව පොරෝඩාවක් වන්නේ මේ නිසාය. ලංකාවේ දැනට ඇති ග්‍රාම සේවා වසම් 14,026, ස්වාභාවික, පරිසර මායිම් සහිත ඒකක ලෙස නැවත හඳුනාගෙන, ඒ අනුව රටේ අනිකුත් පරිපාලන ඒකක හා චන්ද කොට්ඨාශ බෙදිය යුතුය. ග්‍රාම සේව ඒකක එකතු කර ලොකු කුඩා අනිත් ඒකක සැදිය හැකිය. මේ මඟින් ආගම, ජාතිය, භාෂාව අනුව දේශපාලනය ගැන සිතීමට ඇති ආශාව තුරන් වන්නේය. කූඨ ජාතිවාදී (ජාතික නොව) දේශපාලකයාගේ මදුරුවල හිස් වන්නේය.

පණ්ඩුකාභය රජතුමා මෙය කලා යයි පැවසේ. ගම-වැව-දාගැබ යන ත්‍රිත්‌වය අපගේ ආර්ථික, සාමාජික හා දේශපාලන මොඩලය නොවූයේද? මේ ආකාරයට ස්වාභාවික පරිසරය අනුව, ලොකු කුඩා ගංඟා ද්‍රෝණි අනුව පරිපාලන ඒකක මායිම් කිරීම නිව්සීලන්තයේ ව්‍යවස්ථා අනුව අනිවාර්‌යකර ඇත. තිරසර සංවර්‌ධන සංකල්පය අපට අළුත් දෙයක් නොවන්නේද?

දැනට සිදුවන ජාතික මන්ත්‍රීධූර කුමන්ත්‍රණය මඟින් එලිවන්නේ ඥානසාර හිමියන් විනාශ කිරීමට 2012 සිටම සිතූ පිරිසේ වෑයමය. හාමුදුරුවන්ට මඩ ගැසීමට ගෙනා කාරණා දෙකටම (නෝර්වේ ඒජන්ත හා බීමත්‌ව රිය පැදවීම) අවශ්‍ය පැහැදිලිකිරීම් ඒ කාලයේදීම ලබාදෙන ලදී. බොදු බල සේනාව ගැන චෝදනා නොකර ඒ ගැන විමසීමට (අළුත්ගම සිද්‌ධිය වැනි) කොමිෂමක් පත්කරණ ලෙස ඥානසාර හිමි ආණ්ඩුවලට දිගින් දිගටම අභියෝග කලේය. උන්වහන්සේට චෝදනා කල කිසිවෙක් මුහුණට මුහුණ දී විවාදයක් කරන්නට ඉදිරිපත්‌වූයේ නැත! මේ නිසා මන්ත්‍රී උන්නාන්සේ කෙනෙක් වශයෙන් පාර්ලිමේන්තුවට ගියොත් මන්ත්‍රී පංචස්කන්‌ධවලට වෙනදේ අපට සිතාගත හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress