රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් පිරිසක් පත්වීම් වලින් ඉවත් කිරීම හා සුදුසුකම් සපුරා ඇති රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබා නොදීම සම්බන්ධවයි.
Posted on August 18th, 2020

ජනමාධ්‍ය නිවේදනයයි.  උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ජනාධිපතිතුමනි,

රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් පිරිසක් පත්වීම් වලින් ඉවත් කිරීම හා සුදුසුකම් සපුරා ඇති රැකියා විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබා නොදීම සම්බන්ධවයි.


2020. 01. 01 දිනට පෙර රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ 2020 මාර්තු 02 සිට 10 දක්වා ලබා දී තිබූ අභ්‍යාසලාභී උපාධිධාරී පත්වීම් 2020. 09. 02 දිනට යළි ලබා දීමේ දී අභ්‍යාසලාභී උපාධිධාරීන් සැලකිය යුතු පිරිසක් ඉන් ඉවත් කර ඇති බව පළමුව දන්වා සිටිමු. එසේ ඉවත් කිරීම පිළිබඳව උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ දැඩි විරෝධය ද පළ කර සිටිමු.

ඉවත් කිරීම සඳහා අදාළ කරගත් හේතු ලෙස ඉදිරිපත් කර ඇත්තේ පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වීම, පෞද්ගලික විශ්ව විද්‍යාල හා විදෙස් උපාධි ඇතුළු කරුණු කීපයක් ය. 2020 මාර්තු 02 වන දිනට පත්වීම් ලබා දීමේ දී එවැනි කරුණු පරීක්ෂා කර වඩා නිවැරදිව අභ්‍යාසලාභී පත්වීම් ප‍්‍රධානය කිරීමේ හැකියාව තිබිය දී වගකීම් සහිත රජයක් වශයෙන් උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන තුළ මෙවැනි ගැටළුකාරී තත්වයක් උද්ගත කිරීම වැඩි අවධානයකට යොමු කළ යුතුව ඇත.

ආණ්ඩුව රැුකියා විරහිත උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරනු ලැබුවේ 2020. 02. 07 දින ය. අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020. 02. 20 දින ය. 2020. 03. 02 දින වන විට අභ්‍යාසලාභී පත්වීම් ලිපි ද නිකුත් කර අවසන්ය. දින 12 ක වැනි කාලයක් තුළ 72 000 ක පමණ අයදුම්පත් පරීක්ෂා කර බලා සුදුසුකම් ලාභීන් 62 000ක් පමණ වන බවට කරුණු තහවුරු කර තිබුණි. අදාළ අයදුම්පත් නිසි පරීක්ෂාවකින් තොරව ඒ මොහොතේ පැවති මැතිවරණ ඉලක්ක කර ගනිමින් අවිධිමත්ව එම පත්වීම් ලිපි නිකුත් කර ඇති බව මාර්තු නිකුත් කළ සියලූ අභ්‍යාසලාභී පත්වීම් ලිපි අවලංගු කිරීම තුළින් තහවුරු වී අවසන්ය.

02. මාර්තු මස පත්වීම් ලිපි නිකුත් කිරීමට පෙර පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වූවන් හඳුනාගෙන ඔවුන් සඳහා පත්වීම් ලිපි නිකුත් නොකළේ නම් ඔවුහු එම රැකියාවලම නිරත වන අතර අද මෙවැනි බරපතල ගැටළුවකට මුහුණ නොපාති. අද වන විට ඔවුන්ට පෞද්ගලික අංශයේ රැකියාව ද අහිමි වී ඇත. ලැබුණු උපාධිධාරී පත්වීමද අහිමි වී ඇත. #කොරෝනා වසංගත කාලය යටතේ රජය දුන් මූල්‍ය සහන පවා ඔවුන් රජයේ රැකියාවන් වල නිරතවන්නන් ලෙස තීරණය කර ලබා නොදුණි. 2020. 08. 16 දින ගනු ලැබූ තීරණය ඔවුන් සම්බන්ධයෙන් 2020 මාර්තු 02 දින ගනු ලැබුවේ නම් එම පිරිස මෙවැනි බරපතල අසාධාරණයකට ලක් නොවන බව පෙන්වා දෙන්නෙමු.

03. විදෙස් හා පෞද්ගලික විශ්ව විද්‍යාල උපාධි සහිත උපාධිධාරීන් ද ඉවත් කර ඇත. ඒ සඳහා හේතු ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ පදනම යටතේ ඉවත් කර ඇත. ලියාපදිංචි හා අනුමත නොවූ උපාධි ලබාගෙන ඇති පිරිස් ඉවත් කිරීම ගැටළුවක් නැත. නමුත් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අනුමත යැයි ලිඛිතව දන්වා ඇති උපාධි හිමි උපාධිධාරීන්ගේ පත්වීම් ද මේ වන විට අවලංගු කර ඇත.

04. ඉහත 02 හා 03 හි සඳහන් කරුණු 2ට අමතරව වෙනත් හේතූන් මතද පිරිසක් ඉවත් කර ඇති අතර ඉවත් කිරීමට බලපෑ කරණු පිළිබඳව උපාධිධාරීන් තුළ ව්‍යාකූල තත්වයක් මතුව ඇත.

2020 මාර්තු මස ආරම්භ කළ පුහුණුව 2020. 04. 25 දිනට නියමිත මැතිවරණය හා ප‍්‍රතිපල නිකුත් කර සතියකින් පසු ආරම්භ වීමට නියමිතව තිබූ අතර #Covid-19 වසංගත තත්වය නිසා මැතිවරණ කල් යෑමත් සමඟ පුහුණුවද කල් යන ලදි. ඒ අනුව ආණ්ඩුව සිදු කළ යුතුව තිබුණේ අදාළ පුහුණුව 2020 මැයි සිට ආරම්භ වූවා සේ සලකා හිඟ මාසික දීමනාව ද ලබා දී අදාළ කාලය පුහුණු කාලයට යටත් කිරීමයි. නමුත් සිදුකර ඇත්තේ ආණ්ඩුව යළිත් පත්වීම් ලිපි අවලංගු කර මාස 06ක පමණ කාලයක් අභ්‍යාසලාභීන්ට අහිමි කිරීමත්, පෞද්ගලික අංශයේ හෝ රැකියාවක් කරමින් ජීවත් වූ පිරිසකට රැකියා අවස්ථා සියල්ල අහිමි කිරීමත්, ආණ්ඩුව අලූතින් වියදමක් දරා පත්වීම් ලිපි නිකුත් කිරීමත් ය.

ගරු ජනාධිපති තුමනි, මෙම කරුණු සැලකිල්ලට ගනිමින් පහත සඳහන් ඉල්ලීම් හා යෝජනා ඉදිරිපත් කරමු.

01. අයදුම්පත් යොමු කර තිබූ, 2020 මාර්තු මස අභ්‍යාසලාභී පත්වීම් ලිපි නිකුත් කළ උපාධිධාරීන්ට හා සුදුසුකම් සපුරා තිබූ නමුත් මාර්තු මස තෝරා නොගත් ඉතිරි 12 000කට ආසන්න වන සියලූම රැකියා විරහිත උපාධිධාරීන්ට අභ්‍යාසලාභී උපාධිධාරී පුහුණු පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීම.

02. අභ්‍යාලාභී පුහුණු පත්වීම් ලිපි ලැබී මාර්තු මස ආයතන වෙත වාර්තා කර පසුව නම් ඉවත් කර ඇති පිරිස මෙවර ඉවත් නොකර බඳවා ගැනීමත් 2020 න් පසු සිදු කරන බඳවාගැනීම් වල දී පත්වීම් ලිපි ප‍්‍රධානයට පෙර අදාළ කොන්දේසි සැලකිල්ලට ගෙන ක‍්‍රියා කිරීම.

03. 2020. 09. 02 සිට බලාත්මක කිරීමට තීරණය කර ඇති අභ්‍යාසලාභී පුුහුණු පත්වීම් දිනය 2020 මැයි 02 බවට බලාත්මක කර එදින සිට පුහුණු කාලය සේ සලකා 2020 මැයි සිට මාසික දීමනාව ලබා දීම.

ඉහත ඉල්ලීම් පිළිබඳව ගරු ඔබතුමාගේ කඩිනම් අවධානය යොමු කරමින් දින කීපයක් ඇතුළත ගැටළුවට මුහුණ පා ඇති පිරිසට සහනදායී විසඳුමක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු

මහේෂ් විමුක්ති
 කැඳවුම්කරු
(රැකියා විරහිත උපාධිධාරී සංගමය)

මහේෂ් අඹේපිටිය
 කැඳවුම්කරු
(බාහිර උපාධි සුරැකීමේ සංවිධාන එකතුව)

සම්බන්ධීකරණය – 071 8178268

Contact – +94 71 8178268

පිටපත්:-
1.
ගරු අග‍්‍රාමාත්‍යමහින්ද රාජපක්ෂ මැතිතුමා (දැ.ගැ.පි./...)
2.
ගරු රාජ්‍ය පරිපාලන අමාත්‍යජනක බණ්ඩාර තෙත්නකෝන් මැතිතුමා (දැ.ගැ.පි./...)
3.
ලේකම්රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (දැ.ගැ.පි./...)
4.
ලේකම්මුදල් අමාත්‍යාංශය (දැ.ගැ.පි./...)
5.
ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් (දැ.ගැ.පි./...)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress