ඥානසාර මන්ත්‍රී උන්නාන්සේ, සිංහල මරික්කාර් හා ටැමිල් ඔබාමා
Posted on August 23rd, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL. B., Ph.D.

මිස්ටර් ගාන්‌ධි, ඔබලා ගවයාට දේවත්‌වයෙන් සළකමින් වැඳුම් පිදුම් කරයි; අපි ඌව මරා උගේ මස් මාංශ අනුභව කරන්නෙමු; ඉතින් අපි දෙගොල්ලන්ට මිත්‍රයින් වෙන්න පුළුවන්ද?   පකිස්ථානයක් කඩාගත් මොහම්ඩ් අලි ජින්නා

පැහැදිලි ඉන්‌දු-ආර්‌ය භාෂාවක් සේ සිංහල (භාෂාව) සිය පණනල බේරා ගැනීම, ලොව භාෂා හා සංස්කෘතික ඉතිහාසයේ එක්තරා විශ්මයක් ලෙස සැළකිය හැකිය.  James W. Gair, Studies in South Asian Linguistics: Sinhala and other South Asian languages,       1998, Chapter 14: How        Dravidanized was Sinhala phonology? Pages 185-199).

යා දෙක නොරත රථ
සමඟ පෑසීමක් නම් නැත
[ලාකඩ එහෙම නැත
දෙකක් ලං කල විටදි පෑහෙත]

හඳින්‌වීම

ජනාධිපති සිරිසේන මහතා විසින් ලන්ඩන් සංචාරයේදී පවා අසාද් සාලිට දේවත්‌වයෙන් සැළකූ අතර, රනිල්-චන්ද්‍රිකා නඩය විසින් සම්බන්‌ධන්-සුමන්තිරන්ලා හා මනෝ ගනේශන්ද ඈඳාගෙන කල සංහිඳියා විගඩම ඔවුන්ට නිර්‌වස්‌ත්‍රම් පරමං සුඛම් ලබා දුන්නේය. ඔවුන් මිස්ටර් හා මිසිස් ගාන්‌ධිලා විය. උදාහරණයක් වශයෙන්, හිතුවක්කාර ලෙස දුර දිග නොබලා ජාතික ගීය දෙමළෙන් ගයන්නට දීමෙන් සිදුවූයේ, එය සිංහලෙන් හා දෙමළෙන් දකුණේදී ගැයීමත්, උතුරේදී එය දෙමළෙන් පමණක් ගැයීමත්‌ය. මෙසේ වංක සංහිඳියාව, විසංහිඳියා පාරාවළල්ලක් වී, ඒ හැම දෙනාම සිංහල ඉතිහාසයේ මකබෑවී ගියේය.

ඥානසාර හිමියන්ගේ මස් රාත්තලම

ඩොනමෝර් ඇමති ඩී. ඇස්ලා විසින් පිළියෙල කල අමාත්‍යමණ්ඩල ව්‍යවස්ථා කෙටුම්පතට,අයිවෝර් ජෙනිංන්ස්ගේ-සෝල්බරි සාමිගේ, 29 වෙනි වගන්තියද දමා එය 1947 ව්‍යවස්ථාව කිරීමට පෙර, කොළඹ ක්‍රිස්තියානි පාදිලිවරුන්ට පෙන්‌වූවායයි කියතත්, සුද්දා හෝ කළු සුද්දෝ එය මහානායක හිමිවරුන්ට පෙන්‌‌වූවාද කියා අපි නොදනිමු. මෙම, රටේ සිංහල බෞද්‌ධයින්ට හිත හොඳ ගෑණුන්සේ සැළකීමේ අවාසනාවන්ත පුරුද්ද, න්‍යාය (ක්‍රමය), රටම ඉදිරියේ නිරුවත් කලේ, බොදු බල සේනාවේ ඥානසාර හිමියන් විසින් 2012 මැයි මාසයේදීය. මිථ්‍යා මතවාද, මතවාදයෙන්ම මිස පැරදවිය නොහැකිය යන්න ඒ දිනවලවත්, පාස්කු ප්‍රහාරයේ විපාකයෙන් පසු දැනුත් උන්වහන්සේගේ අවවාදය හා මඟ පෙන්‌වීම විය. මෙය වැඩියෙන්ම නුරුස්සන්ගේ වංක, කපටි, කුහක, පක්‍ෂ දේශපාලක වන හා නොවන, සිංහල කළු සුද්දන්ටය. මේ නිසාවෙන් ගලේ පැහැරූ බළලුන් බවට වැටුණු‌ සමස්ත සිංහල බෞද්‌ධ කළුසුදු පාලන පරම්පරාවම, උන්වහන්සේගේ මස් රාත්තලම ඉල්ලුවේ, පණිවුඩකාරයාට වෙඩිතියමු යන රීතිය යටතේය. බලු සේනාව ලඟදීම බලු කූඩුවට දානවා යයි චන්ද්‍රිකා නෝනා මුස්ලිම් රැස්වීමකදී වහසිබස් දෙඩුවේ ඒ නිසාය.

උසාවියට අපහාස නොකිරීම-රංජන් හා ඥානසාර හිමි අතර වෙනස

උසාවියට අපහාස කලායයි බොරු නඩුවක් දමා ඥානසාර හාමුදුරුවන්ව, 2018 අගෝස්තු 8 දා අවුරුදු 19 කට හිරේ දැමීමත් (මෙම නඩු තීන්දුවේ වැරදි පෙන්නා ලිපි දෙකක්ම මා ලියා ඇත), ඉන් පසු පාස්කු ප්‍රහාරයෙන් (2019 අප්‍රේල් 21) පසු, උන්වහන්සේව නිදහස් කරණ ලෙස (සමාව දීම කල යුතු, යමෙක් නීතියෙන් වරදක් කර ඇත්නම් පමණය. ගාන්‌ධි සමාව ඉල්ලුවේ නැත, ඇමෙරිකාවේ මාටින් ලූතර් කිං සමාව ඉල්ලුවේ නැත) අසාත් සාලි, රිෂාද් බදියුද්දීන්, කබීර් හසීම් හා රාවුෆ් හකීම්ලා පවා ඉල්ලා සිටියත්, එසේ නොකරණ ලෙස ලියූ පෙත්සමට රනිල්ගේ නෝනා වන මෛත්‍රීද, වැලි අමුණේලා සමඟ අත්සන් කලේය! රටක්, ජාතියක්, ආගමක්, ස්ත්‍රී-පුරුෂ භාවයක් නැති මේ කොළඹ නෝනලා, එන්.ජී.ඕ. ඩොලර් කාක්කෝ, ලංකාවේ මුරදේවතා ඉතිහාසය ගැන දන්නේ මොනවාද? ඔවුන්ට අනුව මුරදේවතාවුන් කියන්නේ ඇල්ලේ ගුණවංශ හිමියන් කියන අන්දමේ සෙකියුරිටි ගාඩ්ලාටය.

බෞද්‌ධ නාගයාගේ පෙනේ

පාස්කු ප්‍රහාරයට කලින් අස්ගිරි ප්‍රකාශණය හා නිවේදනය මඟින් (2017 ජූනි 20 හා ජූලි 4), ඥානසාර මතවාදය අනුමත කරණ බව ආණ්ඩුවට දැන්‌වූවත් ඒවා බීරි අලියාට වීණා ගැයිම් විය.  රතන හිමියන් දළදා මාළිගා බිමේ උපවාසයක් කර අමාරුවේ වැටී ඉන්නාවිට, කාදිනල්තුමා එතැනට ගියත් වැඩක් නොවීය. මැයි 23 දා හිරෙන් ගැලවී ඇවිත්, ටිකකලක් හෝ විවේක ගැනීමට තීරණය කර සිටි ඥානසාර හිමිට තවදුරටත් නිහඬව සිටීමට නොහැකිවූයේ, රතන හිමියන් රහසිගතව, තනිමතයට, උපවාසයක් ඇරඹීම නිසාය. මැහැලියගේ ලිප්බොක්කේ සිටි බෝධිස‌ත්‌ව නාගයා මෙන් ඉදිරියට ආ ඥානසාර හිමියන්ගේ අභියෝගාත්මක නුවර-කොළඹ පෙලපාලිය නිසා, එය ගැටඹට ඒමටත් කලින්, රතන හිමියන් ජූනි මස 3 දා එලොවින් මෙලොවට ‌ආවේය.

සියළු සංස්කාරයෝ නැසෙන සුළුය

මේ කතාව කෙටියෙන් කියනවා නම්, අවුරුදු 15 ක්ම පාර්ලිමේන්තුවේ කාලය ගෙවූ රතන හිමියන්, සිංහල බෞද්‌ධයාට හිත හොඳ ගෑණුන්සේ සැළකීම ගැන එහිදී වචනයක්වත් කතා නොකළ බවය. මේ නිසා ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට යෑම 67,000 ක ආශාව විය. එය, නාම යෝජනා දීමේ සිටම ක්‍රියාත්මකවූ, අන්තිමේදී ප්‍රංශයේ වසන තුෂාර පීරිස් නම් අයෙකුද සම්බන්‌ධ භික්‍ෂුවක් ස්විස් තානාපති කාර්‌යාලයට යෑමෙන් රටට එලිදරව්වූ පට්ට කුමණ්ත්‍රනයකින් අවසාන විය. රතන හිමියන් හූල් සමඟ රහස් සාකච්චාවක් රෑ පස්සා දොරකින් මැතිවරණ කොමිෂමට ඇතුල්වී කලාද? දැන් අළුත්ම ආරංචිය රතන හිමිගේ පන්සලට පොලිසිය කඩා පැනීමත්, රතන හාමුදුරුවන් නමැති  පංචස්කන්‌ධය පන්සලේ නොසිටීමත්‌ය. පොලිසිය එන බවට ඔත්තුවක් කවුරුන් හෝ කලින් දුන්නාද? මොවුන් ඥානසාර හිමියන්ව ඝාතනය කිරීමට පවා ඉඩතිබූ බව මින් අනාවරණය වීම පාස්කු ප්‍රහාරය මෙන්ම සිංහල බෞද්‌ධයාගේ වෙස්වලාගත් භාග්‍යයකි.

මේ නිසා මෙම ලිපියෙන් විමසා බලන්නේ ඥානසාර හිමියන් වෙනුවට පාර්ලිමේන්තුව තුල, සිංහල මරික්කාර් කෙනෙක් (අලි සබ්‍රි?) හෝ ටැමිල් ඔබාමා කෙනෙක් (සුරේන් රඝුවාන්/ අන්ගජන් රාමනාදන්?) බිහිකර ගැනීමට ගෝඨාභය ජනාධිපතිගේ බෞද්‌ධ උපදේශක සභාවට ඇති භාධක ගැනය. අතේ ඇති මැටි මෙන් ඕනෑම හැඩයකට මෘදු කර ගැනීමක් හෝ යම් ස්ත්‍රියක් පිරිමියෙකු අල්ලේ නටවනවා මෙන් නොව, යථාර්‌ථය හා සමාජ පරම සත්‍යය වටහා ගෙන, කරුණා අම්මාන් හෝ ඩග්ලස් දේවානන්දට වඩා ඉදිරියට යන මරක්කලයෙක්, දෙමළෙක්, ජාතික නායක තලයට ගෙන ඒමට ඇති ඉඩකඩ ගැනය. යම් කබල් සිංහලයෙක් වත් මේ සඳහා විපක්‍ෂයෙන් හීලෑකරගැනීමේ ඇති දුෂ්කරබව  මනුෂ නානායක්කාර හා පාස්කු පුතා හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ කල හිස්, අමනොඥ කතාවලින් එලිවිය. තම ලොකු මාමා ගැන නිපුන් රණවක බෑණා ඓතිහාසික ලෙස කතා කිරීම හා චන්දයෙන් දිණූ ඔවුන්ට වගකීම් දීම මනුෂට දරාගන්න බැරි ඇයි. ඒ කාලයේ තනි පංචස්කන‌ධයක් වශයෙන් රිෂාඩ් බදියුද්දීන්ට දී තිබූ ආයතන සංඛ්‍යාව වෙනුවට දැන් රාජපක්‍ෂලාට දී ඇති මුළු ආයතන සංඛ්‍යාව 29% යයි  ඔහු චෝදනා කරන්නේ රාජපක්‍ෂලා යනු එක පංචස්කන්‌ධයක් නොව ඒවා හතරක් පහක් බව නොසිතාය. මේ හතර පස් දෙනා වෙනස් ගතිගුණ, අදහස් ඇති අයය. ඒ නිසා එකතුව සියේට 29 නොව, එය හතරෙන් හෝ පහෙන් බෙදා රිෂාඩ් සමඟ සැසඳිය යුතුය.

අනාගාරික ධ‌ර්‌මපාලතුමා රටින් එලවා ගත් කළු සුද්දෝ

ඥානසාර හිමියන් මන්ත්‍රී උන්නාන්සේ කෙනෙක් වීමේ විභවය සමාන කල හැක්කේ, 1931 න් පසු ඩොනමෝර් කාලයේදී යම් විධියකින් අනාගාරික ධර්‌මපාලතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගියා නම් කොහොම හිටීවිද යන සිතුවිල්ල සමඟය. ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවේ නොසිටීමේ අඩුව නොහොත් එක රටක්-එක නීතියක් යන අධිෂ්ඨානය ක්‍රියාවට නැංවීමේ ගමන කෙතරම් දුෂ්කරද යන්න 2020 පාර්ලිමේන්තුව ආරම්භවූ මොහොතේදී සිටම ඔප්පුවිය. විග්නේශ්වරන් දෙමල කතාවෙන් කලේ -සිංහලීකරණය-ඉන්‌දියාවෙන් දුන් 13 සංශොධනය-ස්වයංපාලනය- මතක් කර දීමය. ගජේන්ද්‍ර පොන්නම්බලම් ඉංග්‍රීසියෙන් දෙමළ ජනයා පිටුපසින් ඉන්නා ජාත්‍යන්තර බලය උජාරුවෙන් පලකලේය. පිල්ලෙයාන් හීලෑවු පැටියෙක් මෙන් 13 සංශොධනය බලාත්මක කිරීමට දයාන් ජයතිලක විසින් ලියනාකාරයේ කතාවම කලේය. ඒ අනුව මේ වනවිට කොළඹ ඉන්‌දියන් තානාපතිද 13 ගැන හොට දමා ඇත.  රොබට් බ්ලේක් කාලයේදී මෙන් නොව, 13-ඒ ට වඩා දැන් මිලේනියම් ඩොලර් අල්ලසක් තිබෙන නිසා ඇමෙරිකන් තානාපතිනිය නම් නිහඬය. යාපනේ ශ්‍රී ලංකා නි.ප. (උඩුප්පිලි වන්ද බල කොට්‌ඨාශය) මන්ත්‍රී අන්ගජන් රාමනාදන් පමණක් සිංහල හිත් නොරිදවෙන අයුරින් කතා කලේය. විපක්‍ෂ නායක ලෙස අමිර්‌තලිංගම්ට හෝ සම්බන්‌ධන්ට මෙවැනි ප්‍රඥාවක් නොතිබුණේ ඇයි? පක්‍ෂ තීරණ අනුව පාර්ලිමේන්තුවේ යමක් කතා කිරීමට පෙර පොහොට්ටු මන්ත්‍රීන්ට දෙවරක් සිතා බැලීමට සිදුවේ.  මෙවැනි වාරණ, මානසික බන්‌ධන, ඥානසාර හිමියන්ට නැත.

මතවාදය, මතවාදයෙන්ම පරාද කල යුතුය

මෙම විග්නේෂ්වරන්-පොන්නම්බලම්ලාගේ සිය දිවි නසාගැනීමේ පාරට නොවැටීමට සම්බන්‌ධන් හා සුමන්තිරන් වගබලා ගත්තේය. දෙමළ බෙදුම්වාදයට විරුද්‌ධව කතා කලේ විරුද්‌ධ පක්‍ෂයේ මනුෂ නානායක්කාර පමණය. පොහොට්ටු මන්ත්‍රීන් ගෙන් නිහඬව නොසිටියේ සුපුරුදු පරිදි සරත් වීරසේකර පමණය. ඔහුට ගජකුමාර් ප්‍රතික්‍රියා කල අන්දම, ඉදිරියේ මේ අය පාර්ලිමේන්තුවේ නටන්නට යන විදේශ තානාපතිලාගේ න්‍යාය පත්‍රය අඟවයි. බෝම්බය වෙනුවට පෑනෙන් ගේනා මේ දෙමළ බෙදුම්වාදය (හා දැන් මතුව ඇති ශාරියා-ඉහ්වාන්වාදය) මතවාදයෙන්ම ජයගතයුතු බව, ඉර බටහිරින් ගිලා බසිනවා මෙන්ම නිරවුල් සනාථන ධර්‌මතාවයකි, පරම සත්‍යයකි (නීති පොතේ හැටියට නම් ඉරෙබටබල් ප්‍රිසම්ප්ෂන්‌ය!). මෙය 2012 මැයි සිටම රටට කියන්නේ බොදු බල සේනාව පමණක් විසින් නොවේද?

නින්ද, ආහාර, භය, කාමය

ආදි සංස්කෘත  ශ්ලෝක අනුව, නින්ද, ආහාර, භය හා කාමය යනු මිනිසාටත්, තිරිසනාටත් පොදු හා නැතුවම බැරි, ගැලවීමක් නැති දේය. මේවා ගැන දැන හෝ නොදැන  ඒබ්‍රහම් මැස්ලෝ විසින් කල වෝන්ට්ස් ඇන්ඩ් නීඩ්ස් රීති බටහිර ලෝකයේ ජනප්‍රියව ඇත. ඒ අනුව සිතන විට, ජනාධිපති ගෝඨාභයගේ කුස් පිරවීමේ-හිත් සතුටුකිරීමේ දර්‌ශනය තුලින් පමණක් යම් ජනවර්‌ගයක යටි හිතට යම් කූඨ පිරිසක් විසින් කාවද්දන බෙදුම්වාදයක් පරාජය කල නොහැකිය. දරිද්‍රතාවය නැති රටවල රට කැඩීමේ ව්‍යාපාර තිබෙන්නේ ඒ නිසාය. කුමාර් පොන්නම්බලම් විසින්, මාදුළුවාවේ සෝභිත හිමියන්ට පිළිතුරු වශයෙන් වරක් ඒ කාලයේ කිව්, සිංහල ජනයාට නැති, එහෙත් දෙමළ ජනයාට ඇති ප්‍රශ්ණය නම් දෙමළ අභිලාශය (ඇස්පිරේෂන්ස්) යන්න අදටත් කෙතරම් උඩුදුවා තිබේද යන්න පේන්නේ, ප්‍රභාකරන් තාමත් කොහේ හෝ පණපිටින් ඉන්නවා යයි, <ඒකීය ශිරි ලංකා මොන බම්බුවටද> යයි නොබොදා ප්‍රකාශකල ශිවාජිලිංගම් වැන්නන් පවා සිතන නිසාය. බඩකට පිරී සාලයේ ඉඳගෙන ටීවී බලමින් ඉන්නා අයට, චිත්‍රපටි බැලීමට යෑම, නාට්‍ය බලන්නට යෑමට වඩා, පුළුවන්නම් තමන්ගේම රටක්, යූ.එන්.ඕ එකේ කොඩියක් යන ඉහළ ගනයේ ආශාද ඇතිවීම මිනිස් ස්වාභාවයය. මෙතෙක් මේ සඳහා හොඳම කුරුමාණම ඇත්තේ, කුහක කුලල් කා ගන්නා සිංහල දේශපාලකයින් හරහා යයි දෙමළ බදුම්වාදීන් විශ්වාස කලේය. මෙවැනි ආශා හරියට මල්වත්ත පන්සලේ සාමනේරවරු කන්දේ සිට ක්‍රිකට් ගහනවා බලනවා වගේය. දකුණු  ඉන්‌දියාවේ අළුත් චිත්‍රපටියක් ආවිට, රෑ පිටවී, මැට්නි තිරය නරඹා, එදින හවසම ආපසු නිවෙස් බලා ඒමට යාපනේ තරුණයින් බෝට්ටුවෙන් ගියේ මේ නිසාය.

සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය

ලංකාවේ 1956 කාලයේ සිටි සිංහල මරික්කාර් මට මතක්‌වුනේ, සේපාල් අමරසිංහ විසින් කල, උතුරු පලාතේ ආණ්ඩුකාරයාව සිටි සුරේන් රඝුවාන් හා අලි සබ්‍රි යන දෙන්නා රාජපක්‍ෂලාට කඩේයනවා යන අදහසක් දෙන (රාජපක්‍ෂලාගේ පුල්ලේ කාමරේ) වීඩියෝවක් දුටු පසුවය. ඉන් පසුව ඕස්ට්‍රේලියාවේ අමිර් අලි විසින් බදිුද්දීන් මොහමඩ් හා මිසිස් බීත්, අලි සබ්‍රි හා ගෝඨාභයත් යන ජෝඩු දෙක සංසන්දනය කරන්නට සැදුවේය. බදිුද්දීන් හා එක්‌වූ මාක්ස්වාදීන්, රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව පාසැල් වලින් ඉවත්කළේය. මෙය මිසිස් බී විසින් ඇන්ග්ලිකන් ෆිලික්ස් ඩයස්ලා, මාක්ස්වාදී කොල්වින්ලා සමඟ එක්ව, සිලෝන්-සිංහලේ යන රටේ නම ශ්‍රී ලංකා කලා වැනිමය. මේ අනුව දැන් සිංහලයාට සිංහලේ කියා රටකුත් නැත. සිංහල ජාතිය වෙනුවට උප්පැන්නේ දාන්නට හදන්නේ ශ්‍රී ලාංකික යන වචනය වීමත්, රටේ ජන‌වර්‌ග තුනෙන් එකක් ලෙස සිංහල යයි ජන‌වර්‌ගයක් ලකුණු කිරීම නිසාත්, තව අවුරුදු සීයක් යනවිට, ඒ කියන්නේ, හම්බන්තොට චීනයට විකුණූ ගිවිසුම යලි අවුරුදු 99 කට අළුත් කරණ කාලය වන විට, සිංහල කියා ජාතියක් ලෝක සිතියමේ නැතිවීමට නියමිතව ඇත යනුය!  ඒ නැතත්, ලෝකයේ බිලියන 7 ක් අතරින්, රජයේ පවුල් සංවිධාන වැඩ සටහන හා ඉස්ලාම් ගර්‌භාෂ යුද්‌ධය ඉදිරියේ මිලියන් 18 ක් පමණවන සිංහල යන ජාතිය ක්‍රමයෙන් වඳවෙමින් සිටී.  මේ අනුව සිතන විට සිංහල බෞද්‌ධයාට හිත හොඳ ගෑණුන් සේ සැළකීම 1947 ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තියෙන් නීතියෙන්ම ආරම්භවී, දැන් එය බෙදුම්වාදීන් හා විදේශිකයින් විසින් පාවිච්චි කරණ ආයුධයක් බවට පෙරලී ඇත්තේ සිංහලයා විසින් ඒ බව නොදැනම හිමින් හිමින් ය.

ඒකීය රටක, එක රටක්-එක නීතියක්

ඉන්‌දියාව කැබලි කිරීමේ ව්‍යාපාරය කෑලි තුනකින් නැවතුනේය. ඩලිත්-ද්‍රවිඩ-හින්දි බෙදුම් රේඛා මඟින් දකුණු ඉන්දියාව උතුරෙන් කැඩීමට බැලීම ක්‍රිස්තියානි උත්සාහයක් විය. මේ සියල්ල මේ වනවිට චීන-ඇමෙරිකන්-ඉන්දියන්-ජපන් බල අරගලයකට යටවී වැසී ගොස් ඇත. 2020 චන්දයෙන් පෙනී යන අන්දමට, 1924 දී සිට ආරම්භවුන දෙමළ බෙදුම්වාදය, මේ වන විට කොට උඩ යමින් සිටී. එය දත් හැලුණ, ලොම් වැටුණ, පණ අදින, විදේශ බලවේග වලින් ඔක්‍ෂිජන් ඉල්ලන කොටි වලිගයක් බවට පත්‌වී ඇත. මීට වඩා භයානක වන්නේ අරාබි ඩොලර් බලය හරහා ක්‍රියාත්මකවන ශාරියා-වහාබි ආක්‍රමණයය. එය මුළු දිවයින පුරාම ව්‍යාප්තව යන කුඩා කුඩා මුස්ලිම් බලකොටු සැදීමේ උපක්‍රමයකි. පල්ලිවල කඩු එකතුකර, මුස්ලිම් ශාරියා ගම, අසල ඇති පන්සලට හා සිංහල ගමට කෙටීමේ සැලැස්මකි. මෙවැනි මිශ්‍ර සංඥා සහිත පසුබිමක් ඉදිරියේ සිංහල මරික්කාර් කෙනෙක්, බෞද්‌ධ දමිළයෙක් යන දර්‌ශනයක් උඩ ජනාධිපති යන්නට හදන ගමණ දෙස අපක්‍ෂපාතී ලෙස බැලීම අපගේ යුතුකමය. ඔහු වටා දිනපතාම ඉන්නා උපදේශකයින් ගැන සෝදිසියෙන් සිටිය යුතුය. පිලිකාවකට කෑමදී එය සනීප කල නොහැක; වතුර වල හිස් නොකර මදුරුවන් දුරුකල නොහැක; රෑ වැටුන වලේ දවල් නොවැටිය යුතුය යන මේ ප්‍රස්ථා පිරුළු හඬගා කියන්නේ, මතවාදයක් පැරද විය හැකි මතවාදයෙන්ම පමණක් බවය.

බෞද්‌ධ උපදේශක සභාව හා අලි සබ්‍රි

මාසයකට වරක් රැස්වෙන බෞද්‌ධ උපදේශක සභාවක් පිහිටුවීම, සිංහල බෞද්‌ධයාට හිත හොඳ ගැහැණුන් සේ සැළකීම අවසාන වෙන බවට සංඥාවකි.  එහෙත්, ඥානසාර හිමියන්ගේ මතවාදය පිළිගන්නා බව කී හමුදුරුවරුම, දැන් මේ උපදේශක සභාවට ඥානසාර හිමියන් ඒමට විරුද්‌ධවනවා යන ආරංචිය අයහපත්‌ය. ඒ සමඟම, මෙම උපදේශක සභාව අලි සබ්‍රිට මන්ත්‍රීකමක් හා අද ඇති වැදගත්ම ඇමතිකමක් දීමට විරුද්‌ධ නොවීම යහපත් ක්‍රියාවකි. ඊට හේතුව ජනාධිපතිත්, අලි සබ්‍රිත් යන දෙන්නාට ඒ දෙන්නා ගැනම ඇති සද්භාව චේතනාව නිසාය. ඥානසාර හාමුදුරුවන් පාර්ලිමේන්තුවේ නැති නිසා, මතවාදය-මතවාදයෙන් පරාජය කිරීමේ වගකීම අලි සබ්‍රිට කෙළින්ම හා ව්‍යංගයෙන් භාරදී ඇති නිසාය. මේ සම්බන්‌ධයෙන් පැන නගින යම් තාක්‍ෂණික කාරණා සමහරක් සළකා බැලීම අවශ්‍ය වන්නේද මේ නිසාය. ඊට හේතුව බුදු දහමට අනුව අලි සබ්‍රි යනු ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්‌ධයක් පමණක්ම වන නිසාය. අලි සබ්‍රිට මේ ලිපිය ඊමේල් කර යවන්නේද ඒ නිසාය. අලි සබ්‍රි විසින් කරණ යම් ප්‍රකාශ රටට එක නීතියක් යන දර්‌ශකය හා ගැටෙනවා සේ පෙනේ. එය දැන්මම පැහැදිලි නොවුනොත් අනාගතය අර්බුදකාරී විය හැකිය. විශේෂයෙන්ම, සමහර සුළු ජාතික පක්‍ෂ මන්ත්‍රීන් රජයට බැඳීමට යෝජනා කරණ බවට ඇති ආරංචිද නිසාය. මෙය ට්‍රෝජන් අශ්වයා සිහිකරවන නිසාය.

ශ්‍රී ලාංකිකයින් බහු ආගමික හා බහු වාර්ගිකය!

අලි සබ්‍රි හා රඝුවාන් යන දෙන්නාම සිංහලයා ශ්‍රී ලාංකික කිරීමට ක්‍රියාකරණ පිරිසට අයත්‌වේ. අලි සබ්‍රිට අනුව මේ උප්පැන්නේ ශ්‍රී ලාංකික කියා දැමීම රටේ ප්‍රගතිය සඳහා ගන්නා ලද වැදගත්ම තීන්‌දුවය! එහෙත් මේ සූත්‍රය අනුව සිදුවන්නේ, ශ්‍රී ලංකාව ඒකීය රටක්, රටටම එක නීතියක් යන ඇතැම් තරුණ දේශපාලකයින්ගේ මහ උජාරු කතා උඩුයටිකුරුවී, ඉබේම නිෂ්ප්‍රභාවී යාමය. <ශ්‍රී ලාංකිකයින්> යනු, සිංගප්පූරුවේ හෝ ඇමෙරිකාවේ හෝ කැනඩාවේ මෙන් මිශ්‍ර වුණ කැඳ හැලියකි, ජාඩි මුට්ටියකි. මේ රටවලට අතීතය වෙනුවට ඇත්තේ මදර්ස් ඩේ, ෆාදර්‌ස් ඩේ, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ, වැලන්ටයින්ස් ඩේ වැනි දේවල්‌ය. අවුරුදු 2,500 වැඩි සිංහල ශිෂ්ටාචාරය අවුරුදු 250 ක, 100 ක ඉතිහාසයක්වත් නැති සමාජ වල ගනයට දැමිය යුතුද?

සිංහල මරික්කාර්

තමන් සද්‌ධර්‌මරතනාවලිය හා ගුත්තිලය හැදෑරූ බව සබ්‍රි විසින් සඳහන් කිරීම සේපාල් අමරසිංහ විසින් සළකන්නේ කඩේයාමක් (කරි ෆේවර්) ලෙසටය. එහෙත් තමාව ඇමතිකල ජනාධිපතිට සද්භාවයෙන් සේවය කිරීමට, රැවුලත් කැඳත් දෙකම රැක ගැනීමට සබ්‍රිට සිදුව ඇත්තේ මරණ තුනක් ඇති මිනිහෙකුගේ පැණි කෑම වැනි ආශාවකි. ඔහුගේ පියා මෙන්, පියාගේ යාළුවාව සිටි බදිුද්දීන් මෙන්, ඔහුත් වාමාංශිකයෙක් වුවත්, ඔහුට කුරානයට ද්‍රෝහී වීමට නොහැකිය. ලංකාවේදී ෆත්‌වා බලරහිත වුවත්, උලෙමා සභාව මතවාදයෙන් දණ ගැස්වීමේ කාර්යයට ඔහු වෙනුවෙන් මැදිහත් වියයුතු බෞද්‌ධ භික්‍ෂූන් වහන්සේලාය. එවිට,  1968 නොවැම්බර් මාසයේදි කතෝලික පෙඩරල් ඇමති තිරුචෙල්වම්ට ඇමතිකම අතහැර යාමට සිදුවූයේ ඔහු ත්‍රිකුණාමළයේ ෆෙඩ්‍රික් බලකොටුව, හින්දු ශුද්‌ධ භූමියක් කරන්නට ගත් පියවර ඩඩ්ලි විසින් අහෝසි කිරීම නිසාය. මෙවැනි අවදානමකට අලි සබ්‍රිව තල්ලු නොකිරීමට හාමුදුරුවරු වගබලාගත යුතුය.

සංහිඳියා ව‌ර්‌ග

තලෙයි මන්නාරමේ පොලිස් ආයුධ ගබඩාව තිබෙන්නේ, එහි ඇති එකම සිංහල පන්සලේය.පන්සලේ භික්‍ෂුව හා ප්‍රදේශයේ මුස්ලිම් නායකයා, දෙමළ පොලිස්කාරයින් එකට එකතුව රෑට රෑට අරක්කු පාටි දමන්නේය. මෙයත් එක්තරා ආකාරයේ සංහිඳියාවකි. තලෙයි මන්නාරමේ මේ පන්සල එහි ජන සංචාරක ජනයාට, බෞද්‌ධයින්ට, නවාතැනකි. භික්‍ෂුව, උදේට තම ගම් බලා පිටව යන නඩයට ධර්‌මාණුශාසනාවක්ද කරයි! බුදුදහමේ ඇති නම්‍යතාවය මෙයය. ගණින්නාන්සේලා කෑලෑවට ගිය වෙහෙර විහාර බේරා දුන්නේය. දිඹුලාගල හාමුදුරුවන්, නාමල් උයනේ රාහුල, මඩකලපුවේ මංගලාරාමයේ අම්පිටියේ සුමන වැනි හාමුදුරුවරු හිටියේ, ඉන්නේ යම් විශේෂිත සමාජ සේවයක් කරලීම උදෙසාය. ජනාධිපති විසින් රටවැසියාගේ දුගී බව අඩුකිරීමට ගන්නා උත්සාහ සමඟම, දෙමළ අන්තවාදය හා වහාබ්/ඉහ්වාන්වාදය දුරුකරලීම සදහා ඒවා මතවාදයෙන් පරාජය කිරීමද කල යුතුව ඇත. ඥානසාර හිමියන්ට තම උපදේශක සභාවට එන්නට ඉඩ නොදෙනා හාමුදුරුවරු ලිච්චවි සම්ප්‍රදාය කඩකරන්නේ නම්, ඥානසාර හිමියන් නැති හිස්තැන උන්වහන්සේලා විසින් පිරවිය යුතුය. පක්‍ෂ දේශපාලකයින් විසින්, රට, ජාතිය, ආගම හා භාෂාව නොතකන බව ධනුෂ්ගේ යූටියුබ් එකේදී පුලියද්දේ සුධම්ම හිමියන් විසින් නොබෝ දිනක පෙන්‌වා දුන්නේය. 2009 මැයි 19 දා ගතයුතුව තිබූ, 13 සංශොධනය යුද ආඥාවකින් අහෝසි කිරීම නොකල නිසා, දැන් ප්‍රභාකරන් අවතාරවාදය, 2009 ට කලින් තරමටත් වඩා අළුයට ගිනිපුපුරක් වී පවතී.

ඉම්තියාස් බකීර් මාකර්

තමන් සද්‌ධර්‌ම රත්නාවලිය හා ගුත්තිලය හැදෑරූ කෙනෙක් යයි අලි සබ්‍රි කරණ ප්‍රකාශය, 1956-60 කාලයේ තැපැල් අමැතිව සිටි <සිංහල මරික්කාර්> යන විරුදාවලිය ලද, සී. ඒ. ඇස් මරික්කාර්‌ට වත් කීමට නොහැකි විය. පෙඩරල් චෙල්වනායගම් මරික්කාර්‍ව හැඳින්‌වූයේ, සිංහලයෙකුටත් වඩා සිංහල මුස්ලිම් ජාතිකයෙක් යනුවෙනි!  බේරුවල ඉම්තියාස් ගැන සිංහල බෞද්‌ධයින් බලවත් පැහැදීමකින් සිටියේ ඔහු හුදෙක් සිංහල භාෂාව හා බුද්‌ධාගම ගැන හසල දැණුමක් තිබූ අයෙක්‌වූ නිසා පමණක් නොව සිංහල සංස්කෘතියට අනුජාත වූවෙක්‌ය යන සංඥා ඔහුගෙන් පිටවූ නිසාය. එහෙත් පාස්කු ප්‍රහාරයට පසු සජිත් ප්‍රේමදාස යටතේ ඔහුගේ කළු පුල්ලි මතුවිය. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ලක්‍ෂ්මන් කදිරගමාර් අවමංගල්‍ය වලදී රටේ ජනයා ඔවුන්ට සැළකුණේ බෞද්‌ධයින්ටසේ මතක වස්ත්‍ර පූජා කරය. වයඹ ආණ්ඩුකාර මුසම්මිල් මුස්ලිම් ජනයාගේ හැසිරීම ගැන මුස්ලිම් ජනයාට මෑතකදී කල චෝදනාව මෙතෙක් ඒ අන්දමින් මුස්ලිම් නායකයෙක් ප්‍රසිද්‌ධියේ කල එකම කතාවය.

පොලිසිය, හිරගෙවල්, රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව හා උසාවි රෙජිස්ට්‍රාර්ලා ඉතාමත් දූෂිත ආයතනයයි අධිකරණ ඇමති වශයෙන් කියන්නට සබ්‍රිට, ගට්ස් (පිටකොන්ඳක්) තිබීම අගනේ‌ය. ඥානසාර හිමියන් විසින් පෙන්‌වා දෙන ඊස්ලාම් ශාරියා/ඉහ්වාන් වාදීන් ගැනද, මේ අන්දමට  (පිටකොන්ඳක්) කතා කිරීමට ඔහුට ගට්ස් තිබේද යන්න මත සබ්‍රිගේ සද්භාවය හා දේශපාලන අනාගතය රඳා පවතී. ළමා අපචාර සඳහා වෙනම උසාවියක් පිහිටුවීමටත්, ළමා අපරාධ නීතිය වෙනස් කිරීමටත් අලි සබ්‍රි යෝජනා කිරීමෙන් අදහස් වන්නේ අවුරුදු 18 ට අඩු, අවුරුදු 13 ට අඩු මුස්ලිම් ළමා විවාහ නතරකර වීමට නොවේද? ගාන්‌ධිලාගේ කාලයේ මෙන් නොව ස්ත්‍රී ශරීරය ගැන වෛද්‍ය විද්‍යා දැණුම දැන් දියුණුය.

ටැමිල් ඔබාමා

මිය ගිය නෙවිල් ජයවීර ඒ කාලයේ ටැමිල් ඔබාමා කෙනෙක් ගැන යෝජනා ගෙනාවේය. ඒ සඳහා මූලිකම අවශ්‍යතාවය අවංක දෙමළ නායකයින්  බිහිවීමය. පොන්නම්බලම් අරුණාචලම් පවා 1924 වන විට ජාතිවාදියෙක් විය. බෞද්‌ධයෙක් යයි කියනා රඝුවාන්ට  මීට වෙනස් තලයක සිට නැවත ඉපදිය හැකිය. ඔක්ස්ෆර්ඩ් සිට පැමිණ කොළඹ ක්ලබ්වල රාත්‍රි කාලය ගෙවූවායැයි සැළකෙන ඔහු, මෛත්‍රීපාල සිරිසේනගේ අවධානයට යොමුව උතුරේ ආණ්ඩුකාරයා වශයෙන් නව පණක් ලද්දෙය. එහෙත් ගුරුකන්ද විහාරයේ ආදාහන ප්‍රශ්ණයේදී ඔහු ඊට කෙළින්ම මුහුණ දීමෙන් වැළකුණේය. විග්නේශ්වරන් ඉදිරියේ ඔහු බලු පැටියෙක් විය. ඔහුට වඩා ආත්ම ශක්තියක් ආවා කල්ලියේ යයි හංවඩු ගැසූ රා මදින කුලයෙන් ආ අරුලානන්දන්ට තිබුණේය. දකුණේ සිංහල ජනයා ඉදිරියේ විශාල පිළිගැණීමක් ඒ තරුණයාට ලැබුණි. මේ වෙනුවට රඝුවාන් ගේන්නේ, ඇමෙරිකාවේ වසන එච්. එල්. සෙනෙවිරත්න මෙන්, ලංකාවේ තරුණ භික්‍ෂූන් විසින් විප්ලවයක් කලයුතුය යනාදී කෙස් පැළෙන තර්‌කය. යාපනේ දෙමළ ජනයාට බුද්‌ධාගම කියාදීමේ වගකීම රටේ හාමුදුරුවරු අතපසු කර ඇතැයි චෝදනා කිරීමට තරම් ඔහු ඔල්මාද විය (මේ පිළිඹඳව අප්‍රියෙල් 20 දිනැති <උතුරේ හිටපු ආණ්ඩුකාර රඝුවාන් සොයන (බෞද්‌ධ) නිවන> යන ලංකාවෙබ් ලිපිය බලන්න

http://www.lankaweb.com/news/items/2020/04/20/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%9a-%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb-%e0%b6%bb%e0%b6%9d%e0%b7%94/).

එච්. එල්. ඩී මහින්දපාල විසින් පෙන්‌වා දුන්, එංගලන්තයේ, හරකුන් එහා මෙහා පැන්න තැනේ නමින් ඇති සරසවියේ සිට ආ රඝුවාන් විසින් තම මුහුණු පොතේ, දෙමළ යුරෝපීය, දෙමළ වාර්ගික, දෙමළ භෞමික බෙදුම්වාදී, දෙමළ පශ්චාත් සන්නද්‌ධ යනාදී වශයෙන් දක්වන දෙමළ ජාතිකවාදී (ජාතිවාදී?) ස්ථාපිත මොනවාදැයි මට නොතේරෙන්නේ, මීට පෙර ජනාධිපති චන්දයට කලින් සජිත් ප්‍රේමදාස ලියූ පොල්පරාල ඉංගිරිසි නොතේරුණා ලෙසටමය. වෙනස රඝුවාන් ලියා තිබෙන්නේ සිංහල භාෂාවෙන් වීමය. මේ ගාම්භීර වටරවුම් වෙනුවට ඔහු විසින් ලිවිය යුතුව තිබුණේ, සන්සෝනි කොමිෂමෙන් (1980 ජූලි) නිර්‌දේශ කල, දෙමළ නායකයින් විසින් දෙමළ බෙදුම්වාදය අත්‌හල යුතුය යන වාක්‍යය පමණක් නොවේද කියා මට සිතේ.

අධිකරණ ඇමති වශයෙන් අලි සබ්‍රි විසින් සිතා බැලිය යුතු කරුණු

1. රටට එක නීතියක් යන කතාව, බහු ජනවාර්ගික ශ්‍රී ලාංකික සමාජයක් යන්න සමඟ ගට්ටනය වේ. උදාහරණයක් වශයෙන් මුස්ලිම් විවාහ නීතිය හා කාති උසාවිය අරාබීකරණයේ ප්‍රතිඵල ලෙස ලංකාවට හඳුන්වාදුන් දේය. මේවා දැන් ශාරියා මුස්ලිම් ආක්‍රමණයේ අංග වී ඇත. මුස්ලිම් පිරිමි විසින් උපතින් මුස්ලිම් හා මුස්ලිම් කරණු ලබන ස්ත්‍රීන් ලිංගික වහළුන් කරන ක්‍රමවේදයක් වී ඇත.

මුස්ලිම් බහු විවාහ තවදුරටත්, ඌරු මස් නොකෑම වැනි අහිංසක මුස්ලිම් සංස්කෘතික අංගයක් නොවන්නේ එය සමාජයේ අනිත් අයට හානිකර ලෙස බලපාන නිසාය. උදාහරණයක් වශයෙන් ගර්‍භා‌ෂ යුද්‌ධයේ භයානක කම නිසාය. දොස්තර ශානි වෙනුවෙන් සබ්‍රි කතා කර ඇත.

ඇස් දෙකට හිල් දෙකක් ඇතිව හිස වසාගෙන පාරේ යෑම මිනිස් සංහතියට නිග්‍රහයකි. ඊට හේතුව බල්ලෙක් වුනත් ඉවට කලින් මුලින්ම බලන්නේ දකින එක්කෙනාගේ මූණ වීමය. සමහර රටවල වාහනවල ටින්ටඩ් ග්ලාස් තහනම් කර තිබෙන්නේද මේ නිසාය.

2. ඉන්ක්ලූසිව් නැශනලිසම් යයි දෙරණේ අයිතිකරු දිලිත් ජයවීර හෝ දෙහිවලට චන්දය ඉල්ලූ ධනසිරි අමරතුංග කියන ආකාරයේ දෙයක් ලෝකයේ නැත. ඊට හේතුව සුළු ජනවර්‌ග වල මානව අයිතිවාසිකම් යන මුවාවෙන් පරණ බටහිර යුරෝපීය අධිරාජ්‍යවාදීන් කරන්නේ සුළු ජනවර්‌ග වලට ජාතිවාදය ලබාදීම නිසාය.  උදාහරණයක් වශයෙන් සිංහලේ නම් රටේ ඓතිහාසික උරුමකරුවන් වන සිංහලයාට, ශ්‍රී ලාංකික යන ලේබලය අලවා දී, මුස්ලිම් දෙමළ ජන කොටස් වලට මතුපිටින් ශ්‍රී ලාංකිකත්, යටින් මුස්ලිම් හෝ දෙමළ ජාතිවාදයත් ඉතිරිකර දී ඇත. මුස්ලිම් ජනයා ගෙටෝ ක්‍රමයට සෙසු ජනයාගෙන් වෙන්‌වීම අඩියෙන් අඩියට, ශාරියා බැංකු, හලාල් සහතික, මද්‍රසා අරාබිකරණය, මඩකපුවේ රට ඉඳිගස්, අරාබි නාම පුවරු මඟින් සිදුවන බව සබ්‍රි නොදන්නේද? කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ, පකිස්ථාන් ජාතිකයින් මෙසේ එක්‍රැස්වීම වැලැක්‌වීමට නීති පැනවූයේ ඒ නිසාය.

3. ඥානසාර හිමියන් ලබාගත් 67,000 චන්ද අවතක්සේරු කිරීම සබ්‍රි විසින් නොකල යුතු, එහිදී සිදුවූ කුමණ්ත්‍රනය දැන් එලිවී ඇති නිසා පමණක් නොවේ. ඇමෙරිකාවේ මුහුණුපොත් කොම්පැනියෙන් පටන් ගෙන ලංකාවේ සෑම මාධ්‍යයක්ම ඥානසාර හිමියන්ට මිනිත්තු පහක්වත් කාලය දුන්නේ නැත. මධු මාධව විසින් ජාතික වාදය, ජාත්‍යාලය ප්‍රකාශකලා මිස සෙසු ජන වර්‌ග හෙලා දැකීමක් කලේ නැත.

4. බුදු දහම කියන්නේ කම් ඇන්ඩ් එක්සැමින් මිස, කම් ඇන්ඩ් බිලීව් (එව බලව මිස එව අදහව) කියා නොවේ. සර්‌ව බලධාරී දෙවියෙක් මිනිසා මැවුවා යන ලෝකයේ ඉන්නා සබ්‍රි, මිනිසා ඇතිව නැතිවන ස්කන්‌ධ පහක එකතුවක් යන ධර්‌මය ඉදිරියේ ප්‍රවේශමෙන් ක්‍රියා කල යුතුය. ලොව හැම දෙයම අස්ථාවරය. සියළු සත්‌වයන් සුවපත් වේවා කියන්නේද ඒ නිසාය. ඥානසාර හිමියන් ඉදිරිපත් කරන්නේ මේ මතවාදයය. 1873 පානදුරා මහා වාදය මෙන් වාදයකට උලමා සභාව නොෙන්නේ ඒ නිසාය.

ලංකාව අල්ලා දෙවියන්ගේ රට යයි දවසකට පස් වරක් ශබ්ද විකාශණ යන්ත්‍ර දමා  පල්ලියේ සිට අරාබි බසින් කියන්නට ඉඩදෙන මුස්ලිම් නොවූ රට ලංකාව නොවේද? මේ නිසා අන්තවාදී යන ලේබලය බොදු බල සේනාවට නොැලීමට සබ්‍රි සිතිය යුතුය. එයට විරුද්‌ධව කරණ අභූත චෝදනවා වලට හාමුදුරුවන් කල අභියෝගය නම් ජනාධිපති කොමිෂමක් දමා විමසා බලන ලෙසය. එවැන්නක් තබා 2002 චන්ද්‍රිකා නෝනාගේ බෞද්‌ධ කොමිෂන් වාර්‌තාව පවා තාම හමස් පෙට්ටියේය.

මේ නිසා බෞද්‌ධ අන්තවාදය ගැන බොදු බල සේනාවේ ක්‍රියාකලාපය ගැන සෙවීමට ජනාධිපති කොමිෂමක් පත් කරණ ලෙස කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒම සිංහල බෞද්‌ධයාගේ හොඳ හිත දිනා ගැනීමට අලි සබ්‍රි විසින් කල හැකි සරල දෙයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress