පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකියි – රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල –
Posted on September 11th, 2020

මාධ්‍ය ඒකකය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය.  

පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකි බව  නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.  අද දින (11) නැනෝ තාක්ෂණ විශිෂ්ටත්වයේ කේන්ද්‍රය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (ස්ලින්ටෙක් ආයතනයේ) නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

ශ්‍රී  ලංකාවේ  ආර්ථික  සංවර්ධනය  ඉහළ  නැංවීමේ  කාර්යයේ දී  සුවිශේෂී දායකත්වයක් ලබාදීමේ  හැකියාව ඇති ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය මේ වන විටත් අපේ ස්වභාවික සම්පත් වලට අගය එකතු කිරීම සඳහා වූ නව සොයාගැනීම් රාශියක් සිදුකර ඇත. , තවත් වැදගත් පර්යේෂණ ගණනාවක් සිදුකෙරෙමින් පවතී.  ආයතනයේ පර්යේෂණ කාර්යයන් තවත් පුළුල් කරමින් දේශීය සහ විදේශීය ආයතන සමඟ වාණිජ වශයෙන් සම්බන්ධතා ගොඩනගා ගැනීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරිය, ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව පැවසුවා ය.

 එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද පැවසුවා ය.

“පර්යේෂණ ආයතනයකින් රටකට ලබාදෙන ආර්ථික හා සමාජමය සේවය මිල කල නොහැකියි. අනාගත පරපුරට තිරසාර රටක් නිර්මාණය කිරීමේ අඩිතාලම දැමිය හැක්කේ පර්යේෂණ ආයතනයකටයි. රටක් ඉදිරියට යාමට අදහස් කරන්නේ නම් පර්යේෂණ ආයතනයකට අගයක්, මිලක් තීරණය නොකළ යුතුයි.  පර්යේෂණ ආයතනයක් තුළින් ගොඩනැගෙන දැනුම ජාතියට දායාද කළ යුතුයි. ඒ දායාද කිරීමෙන් නොනැවතී එම දැනුම අපේ ආර්ථිකය ඉහල තලයකට ගෙන ඒමට, විදේශ විනිමය ඉපයීමට මෙන්ම රටේ මුදල් විදේශ වලට ගලායාම වැළැක්වීමට  අඛණ්ඩව යොදාගත යුතුයි. එම දැනුම අවශ්‍ය වන විවිධ අංශවලට වැඩදායී වන ලෙස විවිධ ආයතන සමග හුවමාරු කරගැනීම ඉතා වැදගත් වෙනවා. එය ජාතික වගකීමක් වෙනවා. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ඉතා වැදගත් වෙනවා.මේ කරුණු ඉටු කිරීම සඳහා ඉදිරියේ දී රාජ්‍ය අනුග්‍රහය ලබා ගනිමින් නායකත්වය ලබා දීමට මම සූදානම්. අපේ පර්යේෂණ ආයතන සහ ජනතාව අතර සමීප බව ගොඩ නැගිය යුතුයි. ඒ සමීප බව තුළින් එම ආයතන තුළ සිදුවන දේ පිළිබඳවත් ඒතුළින් ලබාගත හැකි සේවාවන් පිළිබඳවත් දැනුවත් වීම ඵළදායී වෙනවා.”

“මේ දිනවල අප මුහුණ දී සිටින බැරෑරුම් ගැටළුවක් වන  මුහුදු ජලයට තෙල් කාන්දු වීමේ අවදානම වැනි පාරිසරික අවදානම්  තත්වයක දී එම තෙල් කොටස් ආරක්ෂිතව වෙන් කරගැනීම සම්බන්ධව  SLINTEC ආයතනය කාලයක පටන් පර්යේෂණ සිදුකර තිබේ. ලංකාවේ අමුද්‍රව්‍ය වලින් නිර්මාණය කරගන්නා ග්‍රැෆීන් යොදා ගනිමින් මුහුදු ජලයේ ඇති තෙල් ඉක්මනින් සහ කාර්යක්ෂම ලෙස ඉවත් කර ගැනීම පිළිබඳව සිදු කර ඇති ඇති සාර්ථක පර්යේෂණ දැනුම යම් හදිසි අවස්ථාවක දී ප්‍රායෝගිකව අත්හදා බැලීමට සූදානමින් සිටිනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress