මහත්මා ගාන්ධිතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුමට අග්‍රාමාත්‍යතුමා එක් වෙයි
Posted on October 3rd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මහත්මා ගාන්ධිතුමන්ගේ 151 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ඊයේ 2020.10.02 දින අරලියගහ මන්දිරයේදී එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුහ.

ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන මහත්මා ගාන්ධිතුමන් ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන්ම අවිහිංසාවාදයේ පියා ලෙසින් නම් දරයි. අවිහිංසා වාදය පිළිබඳ සංකල්පය ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකය පුරා ප්‍රචලිත කිරීමටද එතුමා කටයුතු කළේය.

වර්ෂ 1927 දී ශ්‍රී ලංකාවට පැමිණි මහත්මා ගාන්ධිතුමන් සති කීපයක් දිවයිනේ සංචාරය කර ඇති අතර, කොළඹ ආනන්ද විද්‍යාලයේ බුදු දහම පිළිබඳ දේශනයන් පවත්වා ඇත.

ගාල්ලේ මහින්ද විද්‍යාලය ඇතුළුව දිවයින පුරා ස්ථාන කිහිපයක දේශන පවත්වා ඇති එතුමා, කොළඹ, මහනුවර, මාතලේ, කුරුණෑගල, හලාවත, බදුල්ල, නුවරඑළිය, මොරටුව, පානදුර, හොරණ, කළුතර, බලපිටිය, ගාල්ල, මාතර, අක්මීමන සහ යාපනය ඇතුළු බොහෝ නගරවල සංචාරය කර තිබේ.

මහත්මා ගාන්ධිතුමන් උපත ලැබුවේ 1869 ඔක්තෝබර් 2 වන දින වයඹ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,  අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන මහත්වරු හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress