කොරෝනා වසංගතය හා දැඩි හෙද හිගය නිසා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ හෙද නිලධාරිනියන් මුහුණ දී ඇති අනතුරුදායක තත්වය සම්බන්ධවයි.
Posted on November 13th, 2020

සමස්ත ලංකා හෙද සංගමය

ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය,
කොළඹ10.

මහත්මියනි,

#කොරෝනා වසංගතය හා දැඩි හෙද හිගය නිසා කොළඹ සොයිසා කාන්තා රෝහලේ හෙද නිලධාරිනියන් මුහුණ දී ඇති අනතුරුදායක තත්වය සම්බන්ධවයි.

දීර්ඝ කාලයක සිට පවතින දැඩි හෙද හිගයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි විසදුම් නොලැබීමත්, අද වනවිට බරපතල ලෙස බස්නාහිර පලාත පුරා පැතිර යන #කොරෝනා වසංගතයත් හේතුවෙන් කොළඹ සොයිසා කාන්තා රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලය දැඩි සේ පීඩාවට පත්ව ඇත. මෙම තත්වයත් දිනපතා රෝහල් ගත වන මව්වරුන් ප‍්‍රමාණය වැඩි වීමත් නිසා හෙද කාර්ය මණ්ඩලයට රෝගී සත්කාර කටයුතු පවත්වාගෙන යාමේදී බරපතල දුෂ්කරතා ගණනාවකට මුහුණදීමට සිදුව ඇත.

රෝහල පවත්වාගෙන යාමට අවශ්‍ය හෙද නිලධාරීන් ප‍්‍රමාණය 335 ක් ලෙස ගණනය කර තිබුනද රෝහලේ සිටිනුයේ 264 හෙදියන් සංඛ්‍යාවක් බවත්, එයින්ද සියයකට ආසන්න පිරිසක් #කොරෝනා වසංගත තත්වය හා වෙනත් විවිධ හේතු නිසා සේවයට නොපැමිණෙන බවත් වාර්තා වේ.

හෙද කාර්ය මණ්ඩලයෙන් කොටසකට විශේෂ නිවාඩු ලබාදී කොටසක් පමණක් සේවයේ යොදවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය රෝහල් ප‍්‍රධානීන්ට චක‍්‍රලේඛ නිකුත් කර තිබුනද අවම තරමින් එම චක‍්‍රලේඛයෙන් ගර්භනී හා කුඩා බිළිදුන් සිටින හෙදි නිලධාරිනියන් සදහා ලබාදී ඇති සහනයන් හෝ ලබාගැනීමට ඔවුන්ට නොහැකි වීමෙන් කාන්තා රෝහලක් තුලම කාන්තා හෙදි නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් පීඩාවට පත්ව සිටී.

මේවනවිට හෝමාගම, මුල්ලේරියාව වැනි රෝහල්වල මාතෘ ඒකක වසා දමා ඇති බැවින් ප‍්‍රදේශයේ විශාල රෝගීන් ප‍්‍රමාණයක් සොයිසා කාන්තා රෝහල වෙත පැමිණේ. හෙද හිගයක් මධ්‍යයේ වූවද මෙම රෝහලේ හෙදි නිලධාරිනියන්ට මුල්ලේරියාව සහ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල්වල #කොරෝනා වාට්ටුවල සේවය කිරීමට සිදුව තිබීම තත්වය තවත් බරපතල කරවන්නකි.

වසංගත තත්වය වර්ධනය වන අවස්ථාවක සොයිසා කාන්තා රෝහලෙන්ද #කොරෝනා රෝගීන් වාර්තාවන පසුබිමක අවශ්‍ය කායික හා මානසික විවේකයකින් තොරව අඛණ්ඩ සේවා මුරවල නිරත වීමට සිදුවන තත්වයක සොයිසා කාන්තා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය දැඩි අනතුරක පසුවන බව ඔබතුමියට පෙන්වා දීමට කැමැත්තෙමු.

බාහිර සමාජයට වාර්තා නොවන ලෙස සොයිසා රෝහලේ තත්වය සඟවා තිබුනද වසංගතය දිනෙන් දින වර්ධනය වන තත්වයකදී රෝහලේ සේවය කරන හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබදව වෘත්තීය සමිතියක් ලෙස අප සංගමයට නිහඩව සිටිය නොහැක.

එබැවින් සොයිසා කාන්තා රෝහලට මේ මොහොතේ අවශ්‍ය යැයි කියන හෙදි නිලධාරීන් ප‍්‍රමාණය වන 50 ප‍්‍රමාණය ලබාදෙමින්, අනෙකුත් රෝහල්වල හෙද කාර්ය මණ්ඩලවලට කොරෝනා වසංගතය වෙනුවෙන් ලබාදී ඇති විශේෂ නිවාඩු හා වරප‍්‍රසාද මෙම රෝහලේ හෙදියන්ටත් ලබාදී ඔවුන් #කොරෝනා ආසාදිතයන් බවට පත්වීමේ අනතුරින් ගලවා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
එස්. බි. මැදිවත්ත
ප‍්‍රධාන ලේකම්,
සමස්ත ලංකා හෙද සංගමය.

සම්බන්ධීකරණය071 8616645
Coordinating – +94 71 8616645


පිටපත්
01.
සෞඛ්‍ය ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා (..)
02.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා (..)
03.
රෝහල් අධ්‍යක්ෂතුමිය සොයිසා කාන්තා රෝහල (දැ.)
04.
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීතුමිය (දැ.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress