2024 දී සැමට ජලය ලබාදෙන්න සැලසුම් කර අවසන් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
Posted on November 18th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැලසුම් කර අවසන් බව කැළණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.11.18 දින පැවසීය.

එම අවස්ථාවට එක් වූ අග්‍රාමාත්‍යතුමා ප්‍රථමයෙන් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජල පිරිපහදුවේ පොම්ප යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් කැළණි, දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජල පවිත්‍රාගාරය මහජනතාව වෙත විවෘත කරන ලදී.

මෙම අවස්ථාවේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් 2021-2025 කාලය සඳහා ජල සම්පාදන මණ්ඩලයේ අරමුණු සහ සැලසුම් විදහා දැක්වෙන සාමූහික සැලසුම ගරු අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගැන්වීම සිදු විය.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව 2025 වනවිට සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි. කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශයේ ජනතාවට ඉන් ප‍්‍රතිලාභ හිමි වන අතර ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන තිස් දෙදහස් හත්සියයකි.

නව ජල සබඳතා එක්ලක්ෂ විසි දහසකට වැඩි ගණනක් මෙමගින් ලබාදීමටයි නියමිතය.  ග‍්‍රාම නිලධාරි වසම් 320ක දා හත් ලක්ෂ පනස් දහසකට වැඩි පිිරිසකට මෙමගින් සෙත සැලසෙයි.

ගරු අග්‍රාමාත්‍යතුමා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

අද අපිට ඉතාම වැදගත් දවසක්. අද ජනාධිපතිතුමා රට භාරගෙන වසරක් සම්පූර්ණ වෙනවා. ආණ්ඩුවේ පළවෙනි අවුරුද්ද කියන්නේ රටක ඉතාම වැදගත් කාලයක් බව මම කියන්න ඕනෑ.

මිත්‍රවරුනි,

2019 නොවැම්බර් මාසේ දාහත්වැනිදා අපට භාරදුන්නේ ඉතාම අමාරු රටක්. 2015 අපි භාරදුන්න රට නෙමෙයි 2019 දී අපිට නැවත භාරදුන්නේ. අපි එදා භාරදුන්නේ යුද්ධයක් නතර කරලා රටේ 1/3 ක ප්‍රමාණයක් නිදහස් කරගෙන සියලු ජනතාවට නිදහසේ යන්න එන්න පුළුවන් රටක්. 2015 අපි මේ රට භාර දුන්නේ රටේ වටිනාකම ඓතිහාසික වශයෙන් ඉහළ නංවලා. අලුත් වරායක්, නව ගුවන්තොටුපොළක්, අධිවේගී මාර්ග ජාලයක්, මුළු රටේම පාරවල් හදලා ඓතිහාසික සංවර්ධනයක් ඇති කළ රටක් තමයි අපි භාරදුන්නේ. සහලින් ස්වයං පෝෂිත වෙච්ච රටක් අපි භාරදුන්නේ. ඒ වගේම 2015 අපි භාර දුන්නෙ 2020 වෙනකොට සම්පූර්ණ කරන්න සූදානම් වුණ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියක වැඩ ආරම්භ කළ රටක්.

2015 ආණ්ඩුව ආපුගමන් කළේ අපි 2020දි සම්පූර්ණ කරන්න හිටපු සියලු ව්‍යාපෘති නතර කරන එක. නතර කළා විතරක් නෙවෙයි, එතෙක් අපි මේ මහපොළොවේ කරලා තිබුණ සියලු ව්‍යාපෘතිවලින් පළිගන්න පටන් ගත්තා. අපෙන් විතරක් නෙවෙයි අපි ඉදිකරපු ගොඩනැගිලිවලිනුත් පළිගත්තා. මත්තල ගුවන් තොටුපොළ ගොඩනැගිලිවල වී ගබඩා කළා, රටපුරා අපි හදපු මහින්දොදය විද්‍යාගාරවල බෝඩ් ගලවලා විසිකරා. සමහර රණවිරුවන්ව හිරේ දාලා රාජපක්ෂලව පාවා දුන්නොත් නිදහස් කරන්නම් කියන තරමට වධ දුන්නා. මාතෘ භූමිය ආරක්ෂා කරන්න යුද්දෙට ගිය රණවිරුවෝ අපරාධකාරයෝ හැටියටයි සැලකුවේ. හමුදාවේ සෙනවියො කොයි මොහොතේ දඟගෙයි දායිද කියලා බයේ හැංගිලා ජීවත් වුණේ. මේවායේ ප්‍රතිඵල ආවා. 2010න් පස්සේ එක බෝම්බයක්වත් පත්තුවෙන්නේ නැතිව ආරක්ෂා කරපු රටේ පාස්කු ඉරිදා ලෝකෙටම ඇහෙන්න බෝම්බ පිපිරුණා. එදා ආණ්ඩුව මොනතරම් වගකීම් විරහිතව කටයුතු කළා ද කියලා පාස්කු කොමිසමේ දි ඉදිරිපත් වෙච්ච සාක්ෂිවලින් රටටම පෙනුණා.

2015 දි අපි භාරදීපු රටට වඩා දුර්වල කරපු, විනාශ කරපු, ආරක්ෂාව අහිමි කරපු රටක් 2020 දී අපට භාරදුන්නා කියලා කියන්නේ ඒ නිසායි. පේල් (Fail) කරපු රටක් අපිට භාර දුන්නේ. නමුත් මිත්‍රවරුනි, 2015 අපි දිගටම මේ රට කරගෙන ගියා නම් 2020 දී බොහෝ ඉලක්ක සම්පුර්ණ කළ රටක් මේ වෙනකොට ගොඩනගා අවසන් බව මම කියන්න ඕනෑ.

අපිට දැන් දෙපැත්තක වගකීමක් ඉතිරිවෙලා තියෙනවා. එකක් තමයි 2015න් පස්සේ බිඳදාපු රට ආයේ ගොඩනඟන එක. අනෙක් අර්බුදය තමයි ලෝකෙටම මුහුණදෙන්න සිද්ධවෙලා තියෙන කොවිඩ් -19 අර්බුදයට මුහුණදෙමින් මේ රට ඉදිරියට ගෙනයන එක.

කොවිඩ් -19 අර්බුදය නිසා රටට වෙච්ච හානිය යුද්දෙන් වෙච්ච හානියටත් වඩා බරපතළයි. මේ රටට ලොකුම ආදායම ගෙනාවේ විදේශගත ශ්‍රමිකයන්. ඒ අයගෙන් මාසිකව ලැබුණු ආදායම නතර වුණා විතරක් නෙවෙයි, ඒ අයව ලංකාවට ගෙන්න ගන්නත් සිද්ධ වෙලා. ලක්ෂ ගණනක් ජීවත්වුණ, සංචාරක ව්‍යාපාරය අඩපණවෙලා තියෙනවා. ඇඟලුම් කර්මාන්තය එක සතියකදි ආපස්සට කැරකුණා. ධීවර කර්මාන්තය එක රැයින් බිඳවැටුණා. ප්‍රවාහන සේවාව බිඳවැටිලා ඒවායින් ජීවත් වුණ දහස් ගණන් ජනතාව අසරණ වෙලා. පේමන්ට් එකේ බඩු විකුණන වෙළෙන්ඳාගේ ඉඳන් සුපිරි වෙළෙඳසැල දක්වා කඩාවැටුණා.

එහෙම තියෙන රටක අපි වසරකට ඩොලර් බිලියනයක් ණය ගෙවන්න ඕනේ. විපක්ෂය හිතුවා පසුගිය අගෝස්තුවේ අපිට ඒ ඩොලර් බිලියනයේ ණය ගෙවන්න බැරි වෙයි කියලා. අපි රජයේ වියදම් අවම කරන ආනයනය කරන අනවශ්‍ය දේ නතර කළ නිසා අපි ඒ ණය ගෙව්වා. ඒගොල්ලො ඔට්ටු ඇල්ලුවා මේ ඩොලර් බිලියනය ආණ්ඩුවට ගෙවන්න බැරිවෙයි කියලා. නමුත් මේ සියලු ආදායම් අහිමිවීම් යටතේ ඒ ඩොලර් බිලියනයක ණය වාරිකය අපි කලට වේලාවට ගෙව්වා.

විදේශගත ශ්‍රමිකයන්ගෙ ආදායම් නැතිවුණත්, සංචාරක කර්මාන්තයේ ඉඳන් ධීවර කර්මාන්තයේ ඉඳන් ප්‍රවාහනය ආදියෙන් දෛනිකව සියලු ආදායම් අහිමිවෙලා තිබුණත්, අපිට දවසකට PCR පරීක්ෂණ දහස් ගණනක් කරන්න මිලියන සිය ගණනක් වෙන් කරන්න සිදුවෙලා තියෙනවා. වෙන රටවල වගේ  දහස් ගණනක් රෝගීන් මැරෙන්න නොදී බේරගන්න සිදුවෙලා තියෙනවා. දහස් ගණන් නිරෝධායනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රටේ තිබුණ සියලු ව්‍යාපාරවලට සහන දෙන්න සිද්ධවෙලා තියෙනවා. ආණ්ඩුවේ සේවකයෝ ලක්ෂ 15කට නියමිත වේලාවට පඩි ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුව ජංගම දුරකථනෙටත් අයකෙරුව 25% බද්දේ ඉඳන් ජනතාවට බලපාන බදු වර්ග 13ක් අතඇරලා, භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන සියලු ආදායම් අතඇරලා තමයි අපිට මේ තරම් සහන දෙන්න සිද්ධවෙලා තියෙන්නේ.

අපි එහෙම වුණත් අතීතයට දොස් කියකියා අඬඅඬා ඉන්නේ නැහැ. අපි ගෙවුණ අවුරුද්ද තුළ අපේ සතුරන් දිහා බැලුවේ නෑ. අපි බැලුවේ අපේ ශක්තිය දිහා. අපේ ධෛර්යය දිහා.

කොඩිඩ් -19 වසංගතය ඉවර කරන ගමන්ම, අපි රට සියලු අංශවලින් ගොඩයන්න ඕන සියලු පියවර අරගෙන තියෙනවා. ඉරටුවත් මෙරටට පිටරටින් ගෙනාවා. සරුංගලයත් පිටරටින් ගෙනාවා. කොහු ඉදලුත් පිටරටින් ගෙනාවා. අපි අද ඒ සියල්ල නතර කළා. මැටි වළඳේ ඉඳන්, කහ පඳුරේ ඉඳන් ටයරය දක්වා අපේ රටේම හදාගන්න වැඩපිළිවෙළක් ආරම්භ කරලා ඉවරයි.

මේ රටේ ජනතාව අසමත් ජාතියක් කියලයි විරුද්ධ පක්ෂය හැමදාම හිතාගෙන හිටියේ. මේ රටේ ජනතාව පේල් කියලා හිතාගෙන තමයි රටේ හැම දෙයක්ම පිටින් ගෙනාවේ. හැම ආයතනයක්ම විකුණා දැම්මේ රට පේල් කියලා හිතාගෙන. නමුත් අපි අපේ ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනිහින් යහපාලනය පේල් කරපු මේ රටේ ජනතාව සමතුන් බවට පත් කරනවා. අපේ රටට විශිෂ්ට සාමාර්ථය අරන් දෙනවා. ගෙවුණ අවුරුද්ද තුළ මොනතරම් දුෂ්කරතා තිබුණත් රැකියා ලක්ෂයක් දෙන වැඩපිළිවෙළක් අපි හැදුවා. ඒ යටතේ 34,000කට දැනටමත් රස්සාවල් දීලා තියෙනවා. රැකියා විරහිත උපාධිධාරින් 60,000කට ආණ්ඩුවේ රස්සා දෙන්න අපි වැඩකරගෙන ගියා.

මට මතකයි 2005දි අපි බලයට ආපු අලුත අපේ පළවෙනි අවුරුද්ද ගෙවිලා ගියේ බොහොම ඉවසීමෙන්. අවුරුදු 05 තුළ රටක් නිදහස් කරගන්න ඕනෙ වැඩපිළිවෙළ සැලසුම් කළේ පළවෙනි අවුරුද්ද තුළ. ඒකම තමයි මේ ගෙවුණ වසර තුළත් අපි කළේ. අපි 2005ට වඩා ඉතා බිහිසුණු තත්ත්වයකට මුහුණදීලා තියෙනවා. ඒත් රටක් හැටියට ගන්න පුළුවන් ඉතාම නිවැරදි තීන්දුව අපි දැන් අරගෙන තියෙනවා.

මොන දුෂ්කරතා තිබුණත් අපි කිසිවෙකුට යට නොවෙන රටක් හදන්න නිර්භීතව පියවර ගණනාවක් ඉදිරියට තියලා තියෙනවා. අපි රණවිරුවන්ව දංගෙඩියට දක්කන්න, රටට ද්‍රෝහී බලවේග ගෙනාපු මානව හිමිකම් යෝජනාවෙන් ඉවත් වුණා. කොයිතරම් දුෂ්කර වුණත් රට පාවාදෙන්නේ හෝ දණ නමන්නේ නැති මිනිසුන් හැටියටයි අපි ඉස්සරහට යන්නේ. ඒ නිසා අපි ඉතා නිවැරදි තීන්දු අරගෙන මේ වසර තුළ අපි ඉදිරියට යනවා.

අද දවස තුළ අපි විවෘත කරනවා සැමට ජලය දෙන වැඩපිළිවෙළ. ඊළඟට අපිට ඕනේ මුළු රටේම ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදෙන්න. දැනට අපේ රටේ ජනතාවට බොන වතුර ලැබෙන්නේ සියයට හතලිස් ගාණකට. සියයට පනස් හතරකට අඩුවෙන්. නමුත් 2021 වෙනකොට මුළු රටේම ජනතාවට බොන වතුර දෙන්න අපි සූදානම්. ඊයේ අයවැයෙන් රුපියල් බිලියන දාහක් ඒ සඳහා ආයෝජනය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. ලංකාව පුරා ජල නළ කිලෝ මීටර් 40000 ක් එලන්න අපි දේශීය ඉංජිනේරුවන් යොදා ගන්නවා. ඒ වැඩපිළිවෙළ අතීතයේ තිබුණ ආණ්ඩුව කළයුතු දෙයක්. නමුත් අපි ඒගොල්ලන්ට බැන බැන ඉන්නේ නැහැ. අපි ඒ වගකීම ඉටුකරනවා. 2024 වසර අවසන් වන විට සැමට ජලය ලබාදීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සැළසුම් කර අවසන් කරලා තියෙනවා. ඒ පිළිබඳව ජල සම්පාදන අමාත්‍යතුමා ප්‍රමුඛ ලේකම්තුමාට, සභාපතිතුමා ඇතුලු නිලධාරීන්ට ස්තූතිවන්ත වෙන්න ඕනි.

අපි ගෙවල් 14,000ක් හදන ඔබට ගෙයක් රටට හෙටක්’ වැඩපිළිවෙළත් අපි ඉදිරියට ගෙනයනවා. ඒ විතරක් නෙමෙයි නිවාස 100ක් තියෙන මහල් නිවාස සංකීර්ණයක්ගානේ හැම ආසනයක් ගානෙම හදනවා. මේවා අපි 2015 ත් කරන්න මුදල් වියදම් කළ වැඩ.

ඒවා හදන්නේ ගිය ආණ්ඩුව හැදුවා වගේ කැලේ නෙමෙයි. රෝහල්, පාසල්, වෙළෙඳසැල් සියල්ල තියෙන පරිසරයක තමයි ඒවා හදන්නේ. ඒවා හදන්නේ ඒ නිවාස ගන්න මිනිස්සුන්ව ණයකාරයෝ කරන්නත් නෙමෙයි.

තව අපි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. අපි මේවා කරන්නේ සාර දර්ශනයක පිහිටලා.

ආණ්ඩුවකට පළමුවැනි අවුරුද්ද වැදගත් වෙන්නේ තව අවුරුදු කීයක් බලයේ ඉන්නවාද කියන කාරණය නිසා නෙමෙයි. ඒ නිසා අපි වැඩ කරන්නේ ආණ්ඩුවේ දින ගණන බලලා නෙමෙයි, මේ රටේ ජනතාවගේ අනාගතයේ දින ගැනලා. අපි බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ගෙවූ වසරක කාලය වගේම ඉස්සරහට තියෙන හැම දිනයක්ම මේ රටේ අනාගතය තීන්දු කරන දවස් ලෙස සළකලයි අපි වැඩකරන්නේ. අපේ ගමනට මේ රටේ ජනතාව එදත් සහයෝගය දුන්නා ඉදිරියටත් ඒ සහයෝගය ලැබෙන බව අපට විශ්වාසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවත්වන ඔබේ ජල ප්‍රශ්නය විසදුනා කියලා මම හිතනවා. ඒක අපි ලබපු ජයග්‍රහණයක්. යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශය තානාපති එරික් ලැවර්ටු, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත, නිමල් ලන්සා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී  සහන් ප්‍රදීප්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජලසම්පාද අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම් මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress