ඉවත දමන කාබන් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රීකරණ බහලුම අග්‍රාමාත්‍යතුමාගේ ඇගයීමට ලක්වෙයි
Posted on December 4th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉවත දමන කාබන් පෑන් හා දත් බුරුසු ආරක්ෂිතව  ප්‍රතිචක්‍රීකරණය කිරීම උදෙසා පරිසර අමාත්‍යාංශය හඳුන්වාදෙන ප්‍රතිචක්‍රීකරණ බහලුම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාරදීම අද 2020.12.03 දින සිදුවිය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම ප්‍රතිචක්‍රීකරණ බහලුම අග්‍රාමාත්‍යතුමාට භාර දෙන ලදී.

නීතියක් නොව විනයක්” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය රටපුරා පාසල් හා ආයතන මට්ටමින් ක්‍රියාත්මක වීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී  පෙන්වා දුන්නේ ය .

මෙරට පාසල් පද්ධතිය තුළින් පමණක් දිනකට පරිසරයට බැහැරවන කාබන් පෑන් ප්‍රමාණය  කිලෝ ග්‍රෑම් අසූවක් පමණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෙළි කළේය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සංකල්පයක් මත, මෙතෙක් අවධානය යොමු නොවූ මෙම පාරසරික ගැටලුවට පිළියමක් ලෙස ආරම්භ කළ ආරක්ෂිත ප්‍රතිචක්‍රීකරණ බහලුමක් හඳුන්වා දීමට, පරිසර අමාත්‍යංශය පියවර ගැනීම  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක් විය.

භාවිතයෙන් ඉවත දමන කාබන් පෑන් 3000ක් හා දත් බුරුසු 500ක් මෙම එක් බහලුමකට දැමිය හැකිය.

මෙම බහලුම් සියලු ම පාසල්වලට නොමිලේ ලබාදෙන අතර INSEE සමාගම හා ඇට්ලස් සමාගම ඒවා මිලදී ගැනීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress