ශ්‍රී ලංකා-තායි රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 65 වන සංවත්සරය බැංකොක් නුවරදී පැවැත්වේ
Posted on December 17th, 2020

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බැංකොක්

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමේ 65 වන සංවත්සරය නිමිත්තෙන්, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ චූලාලොන්කෝන් විශ්ව විද්‍යාලයේ ආසියානු අධ්‍යයන ආයතනය එක්ව, බැංකොක්හි චූලාලොන්කෝන් විශ්ව විද්‍යාලයේ දී ඉකුත්දා සැමරුම් උත්සවයක් පවත්වන ලදී.  පල්ලෝබ් ක්‍රිටියානවාජ් මහතා විසින්, සාම්ප්‍රදායික තායි නිරාස් / නිරාට් කාව්‍යානුසාරයෙන් රචිත  ‘ශ්‍රී ලංකා චාරිකා කාව්‍යය ’ නම්   පද්‍ය ග්‍රන්ථය  එළිදැක්වීම මෙම  සැමරුමේ විශේෂ අවස්ථාවක්  විය.

එහි පළමු පිටපත ප්‍රධාන ආරාධිත අමුත්තා වූ තායිලන්ත සංස්කෘතික අමාත්‍ය ඉටිපොල් කුන්ප්ලුම් මහතා වෙත ප්‍රදානය කරන ලදී. සංවත්සරය වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍ය, මෙන්ම  සංස්කෘතික, බුද්ධ සාසන  සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද රාජපක්ෂ  මහතා නිකුත් කළ පණිවිඩය  තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි, සමන්තා  කේ. ජයසූරිය මහත්මිය විසින් ඉදිරිපත් කරන  ලදී.

මෙම නිරාස් පද්‍ය ග්‍රන්ථය තුළින් කතුවරයා, ශ්‍රී ලංකාවේ බෞද්ධ මංපෙත් සහ වෙනත් ස්ථාන හරහා  කළ සිය සංචාරයන් මෙන්ම තායි සංචාරකයන් සිතැඟි  දක්වන ක්‍රියාකාරකම් පිළිබඳව සිය හැඟීම් ප්‍රකාශ කරයි. නිශ්චිත ගමනාන්තයක් කරා යන අතරතුර හමුවන ස්ථාන, සොබාදහම සහ මිනිසුන් පිළිබඳ වචිත්‍රවත් විස්තර අඩංගු පද්‍ය  සාහිත්‍යයක් තායි නිරාස් කවි සහ ශ්‍රී ලංකාවේ සන්දේශ කාව්‍ය අතර ඇති බැවින්, එම කවි වල රිද්මයානුකූල වෙනස්කම්ද  නිරූපණය කරමින්, ‘මයුර සන්දේශය’ සහ ‘සැළලිහිණි  සන්දේශය’ යන කෘති වලින් මෙන්ම තායි භාෂාවෙන් ඉදිරිපත් කළ නිරාස්  පැදි ගායනාවන් වලින්ද මෙම සැමරුම් උළෙල රස ගැන්විණ. 

තානාපති කාර්යාලයේ වාණිජ උපදේශක අනිල් සිරිමාන්න මහතා විසින් පොත් එළිදැක්වීමේ  ක්‍රියාවලියේදී කර්තෘ මණ්ඩලයට පහසුකම් සපයන ලද අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයද , ශ්‍රී  ලංකා බෞද්ධ මංපෙත් පිලිබඳ තොරතුරු තායි බසින් ප්‍රවර්ධනය කිරීමේ මෙවලමක් ලෙස මෙම කෘතිය භාවිතා කිරීමේ අරමුණින් ඒ සඳහා  සහාය ලබාදී තිබේ. ඒ අනුව, මෙම පොතේ පිටපත්, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් තායිලන්තයේ පාසල්, පුස්තකාල, බෞද්ධ විහාරස්ථාන සහ සංචාරක නියෝජිතයින් අතර පුළුල් ලෙස බෙදා හරිනු ඇත.

තානාපති කාර්යාලය විසින් දියත් කරන ලද සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ තවත් සාර්ථක පියවරක් සටහන් කළ මෙම චාම් උත්සවයට සහභාගී වු ආරාධිතයන්ට,  තානාපති කාර්ය මණ්ඩලය විසින් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාරපාන වලින්ද සංග්‍රහ කරනු ලැබීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බැංකොක්

2020 දෙසැම්බර් 15

One Response to “ශ්‍රී ලංකා-තායි රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 65 වන සංවත්සරය බැංකොක් නුවරදී පැවැත්වේ”

  1. Ratanapala Says:

    It is a shame we can only talk simply of cultural ties. All Buddhist Countries should have better unity among them with Buddhism as the cornerstone even it is for their survival from the Islamic onslaught.

    Our shortsighted foreign policy cannot envisage the dangers looming in the future. It is time all Buddhist countries in South and East Asia – Sri Lanka, Myanmaar, Thailand, Cambodia, Laos , Vietnam, China, Korea and Japan. This is a formidable group if only they can come together on a set of common values and goals.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress