අපේ රටේ කතෝලික ජනතාව ඉතාම දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත්තා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on December 19th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අපේ රටේ කතෝලික ජනතාව ඉතාම  දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2020.12.19 දින කුරුණෑගල රදගුරු පදවිය මුල් කරගෙන, ශුද්ධ වූ ෆාතිමා දේවමාතා දේවස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමින් පෙන්වා දුන්නේය.

භක්තියේ ප්‍රේමයේ විශ්වාසයේ හැඟීම රටට වැදගත් වන්නේ මෙවන් දුෂ්කර කාල වකවානු වල බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා, ආගම දහමට අනුව ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය පසුබට නොවන බව අවධාරණය කළේය.

මෙහිදී, සමස්ත ලංකා කතෝලික දහම් පාසල් අතර පැවති චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කළ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යතුමා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතින් සිදු විය.

අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය,

මීට පෙර අපි නත්තල් රාජ්‍ය උත්සවය පැවැත් වූයේ යාපනය, කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම වාගේ නගර මුල්කරගෙන. නමුත් නත්තල් රාජ්‍ය උත්සවය මෙවර අපි පවත්වන්නේ කුරුණෑගල.

කුරුණෑගල රාජ්‍ය නත්තල් උත්සවය පවත්වන්න අවසර දීම ගැන මුලින්ම රදගුරු සම්මේලනයට මගේ ගෞරවනීය ස්තූතිය මුලින්ම හිමිකර දෙන්න ඕනේ. ඒ වාගේම මම පාර්ලිමේන්තුවට තෝරාපත් කළ දිස්ත්‍රික්කයේ කතෝලික ජනතාවට මෙබඳු අවස්ථාවක් ලැබීම ගැනත් මම ඉතාම සතුටු වෙනවා. ඊටත් වඩා ලොකු සතුටක් මට ඇතිවෙනවා, කතෝලික ජනතාව වගේම ක්‍රිස්තියානි ජනතාවත් එක්ක එකතුවෙලා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මේ වගේ නත්තල් රාජ්‍ය උත්සවයක් පවත්වන්නට ලැබීම ගැන. අපි සියලුදෙනාම මේ කරන්නේ සාමයේ පණිවිඩය ලොවට කියනඑක. මේ ආකාරයට අපි එකතුවෙලා නත්තල් උත්සවය පැවැත්වීමෙන් අපි ලෝකයට ආදර්ශයකුත් ලබාදීලා තියෙනවා.

කතෝලික වගේම ක්‍රිස්තියානි ජනතාවට මේ නත්තල් උත්සවය සමරන්න වෙලා තියෙන්නේ වෙනදා පුරුදු විදිහට නෙමෙයි.

වෙනදා නත්තල් දින දේව මෙහෙයට ඉතා විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ වගේම ඥාති හිතවතුන් එක්ක සාමයේ, මිත්‍රත්වයේ හැඟීම් හුවමාරු කරගනිමින් ඔවුන්ට සංග්‍රහ කරන්න ඉඩප්‍රස්ථාව ලැබිලා තිබුණා. නමුත් අද එහෙම කරන්න බෑ. අද මුවවැසුම් නිසා ඔබේ අසල්වැසියාට සිනහවකින් සංග්‍රහ කරන්නවත් ඉඩක් ලැබෙන්නේ නෑ. ඒ බාහිර දේවල් නැතිවුණත්, මොන බාධාව තිබුණත්, කරදර තිබුණත් අසල්වැසියාට ඔබගේ හදවත තුළ තිබෙන ප්‍රේමයේ වෙනසක් නෑ කියලා මම දන්නවා. කතෝලික ඔබ තුළ තිබෙන භක්තියේ, ප්‍රේමයේ, විශ්වාසයේ හැඟීම රටට වැදගත් වෙන්නේ මේ වගේ දුෂ්කර කාල වකවානුවල.

අද අපිට විතරක් නෙවෙයි ලෝකයේ සියලුම රටවලට සෞඛ්‍ය නියමයන්ට මුල්තැන දීලයි වැඩකටයුතු කරන්න වෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා නිර්දේශයන්ට අනුව ශ්‍රී ලාංකික කතෝලික ජනතාව සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු කිරීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. කතෝලික කිතුණු ජනතාව ඉතාමත් බුද්ධිමත්, දුරදිග බලන ජනතාවක්. තමන්ගේ ආගමේ සිරිත් විරිත්, තමන්ගේ ආගමේ චාරිත්‍ර වාරිත්‍රවලට වඩා පොදු මනුෂ්‍ය වර්ගයා පිළිබඳව මේ විපත්තිකර අවස්ථාවේ හිතන්න කතෝලික ජනතාව පෙළඹෙන බව මම දන්නවා. කතෝලික ජනතාව මුළු ලෝකයටම දෙන වැදගත්ම නත්තල් පණිවිඩය තමයි මේ පොදු මනුෂ්‍යයා පිළිබඳ හැඟීම.

අපේ රටේ කතෝලික ජනතාව ඉතාම දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත්තා. මට මතකයි පසුගිය වසරේ, ඒ කියන්නේ 2019 අප්‍රේල් 21 වැනිදා, තමුන්නාන්සේලාගේ වැදගත් දේවස්ථාන ගණනාවක් වගේම කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකටත් එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මියගිය සහ තුවාලවුණු පිරිසෙන් බහුතරයක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උට්ඨානය සමරන්න පල්ලිවලට රැස්වෙලා හිටපු බැතිමතුන්. මේක ආසියාවේ විතරක් නොවෙයි, ලෝක මට්ටමෙනුත් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදුකළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය.  නමුත් කතෝලික ජනතාව කිසිදු ලේ බිඳුවක් සෙලවෙන්නේ නැති විදියට ඒ මොහොතේ කටයුතු කළා. අග-රද-ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට අනුව සියලු දෙනා සාමකාමීව කටයුතු කරලා ලෝක ජන ප්‍රසාදය දිනාගත්තා.

බුදුහාමුදුරුවෝ කිව්වේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා. එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා තමයි ජේසු ස්වාමිදරුවාණන් කිව්වේ.  ඒ වගේ දර්ශනයක් අදහන ජනතාව මේ වගේ  සාමකාමී වීම අප රට ලැබූ භාග්‍යයක්. ඒ නිසා අපි පසුගිය පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වුණ සියලු ජනතාවට මුළුමනින්ම රජය විසින් කළයුතු යුතුකම් ඉටුකොට අවසාන කරන්න කියලා මම උපදෙස් දුන්නා. ඒ වගේම ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල සංවර්ධන කටයුතු කඩිනම් කරන්නත් අපි තීරණය කළා.

පසුගිය සතියේ (2020.12.16) අග-රද-ගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ පැවැති සාකච්ඡාවේ දී තමයි මම මේ තීන්දු ගත්තේ.

ආදරණීය කිතුණු බැතිමතුනි,

මේ රාජ්‍ය නත්තල් උත්සවයට සමගාමීව මේ ප්‍රදේශයේ දේවස්ථාන වාගේම දහම්පාසල් සංවර්ධනය කරන්න කටයුතු කරන බව මේ වෙලාවේ මම කියන්න ඕනේ. අපේ රටේ සියලු ආගමික සිද්ධස්ථාන වැඩිදියුණු කිරීම වගේම සමස්ත සමාජයම සාරධර්ම හා ආගමික ගුණවගාවෙන් පෝෂණය කිරීම තමයි අපගේ වගකීම හා යුතුකම. අපිට ඕනෑ කරන්නේ අනාගමික රටක් නෙවෙයි. එහෙම ආගම් එපා කියන අයට හොඳ උත්තරයක් පසුගිය කාලේ ලැබුණා. අපිට ඕනෑ ආගමට දහමට අනුව ජීවත් වෙන සමාජයක්. එහෙම සමාජයක් හදන්න පුළුවන් වෙන්නේ ආගම දහම අනුව කටයුතු කළොත් විතරයි.  ඒ වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට

අපගේ රජය පසුබට නොවන බවත් මේ වෙලාවේ ඔබට සිහිපත් කරන්න කැමතියි. වගකිව යුතු රජයක් ලෙස අපගේ මූලික පරමාර්ථය වන්නේ මේ රටේ ජනතාව පල්ලියට, පන්සලට, කෝවිලට වඩාත් සමීප කිරීම තුළින් සාරධර්මවලින් සපිරුණු ජන සමාජයක් ගොඩනැංවීමයි.

ඔබ සැමට නිරෝගිමත් සුබ නත්තලක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ වයඹ පළාත් ප්‍රධාන සංඝනායක මහාචාර්ය තුඹුල්ලේ ශීලක්ඛන්ද නාහිමි,  කුරුණෑගල පදවියේ රදගුරු අති උතුම් දේවධර්මාචාර්ය හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන්, ලංකා සභාවේ රදගුරු කීර්ති සිරි ප්‍රනාන්දු, අනුනායක පියල් ජානක ඇතුලු පියතුමන්ලා හා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, ලොහාන් රත්වත්තේ, නිමල් ලන්සා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී.බී. හේරත්, අසංග නවරත්න, ගුණපාල රත්නසේකර, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress