නව පහසුකම් සහිත ආණමඩුව කාර්මික විද්‍යාලය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි
Posted on February 11th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රුපියල් මිලියන 420ක් වැය කරමින් නව පරිශ්‍රයක නවීන පහසුකම් සහිතව ස්ථාපිත කළ ආණමඩුව කාර්මික විද්‍යාලය හා නව ගොඩනැගිලි සංකීර්ණය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද 2021.02.11 දින පස්වරුවේ සිසු අයිතියට පත් විය.

සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ චින්තනය මුදුන්පත් කිරීමට කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව තුළින් නිපුණතාවයෙන් පිරි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ අරමුණින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම සහ මැදිහත්වීමෙන් ආණමඩුව නගරාසන්නයේ මෙම නව කාර්මික විද්‍යාලය ඉදි කර තිබේ.

1993 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම කාර්මික විද්‍යාලයේ පාඨමාලා ආරම්භ කර ඇත්තේ 1996 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටි සමයේදීය.

නගරයෙන් පරිභාහිරව පිහිටා තිබීම හා කාර්මික විද්‍යාලයේ පැවති සීමිත ඉඩකඩ හේතුවෙන් එය නව භූමි භාගයක් තුළ රජයේ පූර්ණ ප්‍රතිපාදන යටතේ ඉදි කර ඇත.

නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිවීමත් සමඟ පුත්තලම් දිස්ත්‍රික්කයේ තරුණ පරපුරට කාර්මික පාඨමාලා රැසක් සඳහා අවස්ථාවන් විවර වන අතර වාර්ෂිකව සිසුන් 600 කට පමණ කාර්මික අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව උදා වේ.

සමරු ඵලකය නිරාවරණය කරමින් නව කාර්මික විද්‍යාලය විවෘත කළ අග්‍රාමාත්‍යතුමා උත්සව සභාව අමතා මෙසේ ද කීවේය.

අද මෙම නව කාර්මික විද්‍යාලය විවෘත කිරීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. අපි විශේෂයෙන්ම දන්නවා කාර්මික විද්‍යාල අද ඊයේ පටන් ගත්ත ඒවා නෙමෙයි කියලා. සෑහෙන කලක් තිස්සේ කාර්මික විද්‍යාල මේ රටේ තිබුණා.

වෘත්තීය පුහුණු අධිකාරිය ඇති වුණෙත් මෑත ඉතිහාසයේ. අපේ යුගයෙදි. මොකද කාර්මික විද්‍යාලයට යන්න සමහරු බය වුණා. දැන් අපේ බෙලිඅත්තෙත් තියෙනවා කාර්මික විද්‍යාලයක්. පටන් ගත්ත යුගයේදී බෙලිඅත්තෙ කාර්මික විද්‍යාලයට කවුරුත් ගියේ නැහැ. මාතර කාර්මික විද්‍යාලයට ගියා.

මාතරට ඇතුල් වෙනවා හැබැයි බෙලිඅත්ත කාර්මික විද්‍යාලය පහු කරන් ගිහිල්ලා. මොකද ඒ තරුණ තරුණියන්ට එක්තරා දුරකට චකිතයක් තිබුණා කාර්මික විද්‍යාලයට ඇතුල්වීම පිළිබඳව.

නමුත් අද කාර්මික විද්‍යාලයට විශාල ඉල්ලුමක් තියෙනවා. වෘත්තීය පුහුණුවට විශාල ඉල්ලුමක් තියෙනවා. මොකද පිටරට රැකියාවන් සඳහා යද්දී කාර්මික අධ්‍යාපනයක් ලබපු අයට විශේෂත්වයක් ලැබෙනවා.

එක යුගයකදී අපේ රට ගෘහ සේවිකාවන් යවන රටක් ලෙස හඳුන්වලා තිබුණා. ඒක ක්‍රමාණුකූලව අද නැති වෙලා තියෙනවා. ඒකට එක හේතුවක් තමයි අද පුහුණු ශ්‍රමිකයින් අපිට යවන්න පුළුවන් වීම.

අපි ක්‍රමාණුකූලව පුහුණු ශ්‍රමිකයින් යැවීමෙන් ඇත්ත වශයෙන්ම අපිට එක පැත්තකින් ඔවුන්ගේ ආදායම් තත්ත්වය විතරක් නෙමෙයි අපේ රටටත් විශාල ආදායමක් ලබාගත හැකිවුණා.

තේ, රබර්, පොල් විකුණලා ගන්නවටත් වඩා වැඩි විදේශ විනිමයක් අද උපයන්නේ අපේ තරුණ තරුණියන් පිටරට ගිහිල්ලා එවන සල්ලිවලන්.

අද හැම ළමයෙක්ටම විශ්ව විද්‍යාලයට යන්න බැහැ. යවන්න පුලුවන්නම් අපි විශාල වශයෙන් සතුටු වෙනවා. නමුත් සීමා සහිත සංඛ්‍යාවක් තමයි විශ්වවිද්‍යාලයට ගන්නේ.

එවිට ඒ හා සමාන අධ්‍යාපනයක් ලබන්න කාර්මික විද්‍යාල බිහි වීමෙන් ගොඩක් දරුවෝ ඒ සඳහා යොමු වෙන්න පටන් ගත්තා. මුලදි ගොඩක් ආවේ නැහැ.  නමුත් දැන් ටික ටික තරුණ පිරිස් කාර්මික විද්‍යාලවලට ඇතුල් වෙලා එළියට එනවා.

ඒ නිසා අපි කාර්මික විද්‍යාල ඉතා ශක්තිමත් කරලා සමාජයට ඉදිරිපත් කරන්න ඕනි. අපේ දරුවන්ට ඒ අධ්‍යාපනය ලබාදීලා ඔවුන්ට හොඳ රැකියාවක් කරන්න අපි අවස්ථාව සලසා දෙන්න ඕනි.

සැමගේ බලාපොරොත්තුව රැකියාවක්. අපි ඒ රැකියාව ලබා ගන්න පුලුවන් වෙන විධිහට කටයුතු කරන්න සූදානම් වෙන්න ඕනි. ආණමඩුවට කාර්මික විද්‍යාලයක් ලැබීම පිළිබඳව අපි වැඩියෙන් සන්තෝෂ වෙනවා.

මම මේ ආසනේට එනකොට මතක් වෙන්නේ අපේ මිත්‍රයා ද.මූ දසනායක මැතිතුමා. ඔහු නිතරම මේ ආසනය පිළිබඳව මේ ආණමඩුව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළ මන්ත්‍රීවරයෙක්.

ඔහු නැති වුණේ කොටි ත්‍රස්තවාදීන් විසින් මරා දාලා. ජනාධිපතිවරු, ඇමතිවරු, මේ නොයෙක් අය කොටි ත්‍රස්තවාදීන් විසින් නැති කළා. මරා දැම්මා. අපිට ඇති වුණ අභියෝගය තමයි ඒ අභියෝගය ජය ගන්න ඕනි කියන එක.

අපේ රජය බලයට ආවම අපිට තිබුණ පළමු කාරණය තමයි ත්‍රස්තවාදය මේ රටින් තුරන් කිරීම. ඒ නිසා අපි ඒක කළා. ත්‍රස්තවාදය තුරන් කරලා ජනතාවට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබුණට පස්සේ අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කටයුතු කිරීම අපිට දැන් තියෙන වගකීමක්.

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නොත් විතරයි හොඳ පුරවැසියන් පිරිසක් ඇති කරලා මේ රටට වැඩදායී පුරවැසියන් පිරිසක් බිහි කරලා ආදායම් මාර්ග ඇති කරලා කටයුතු කරන්න පුලුවන් වෙන්නේ.

ඒ නිසා කාර්මික විද්‍යාලයට ඇතුල් වෙලා ඉන් ප්‍රයෝජන ගැනීම අද තරුණ පිරිස කටයුතු කළ යුතු යැයි මම විශ්වාස කරනවා.

අද හුගක් වෙලාවට පාසල් වල දි කාර්මික විද්‍යාල පිළිබඳව දැනුම දෙන්නේ නැහැ. නමුත් කිහිප වතාවක්ම කියලා තියෙනවා හැම පාසලකම උසස් පෙළ විභාගය අවසන් වෙලා ඉන් පසු මේ දරුවන්ට කාර්මික විද්‍යාලයට එක්වීම ගැන අවබෝධයක් ලබා දෙන්න කියලා. එහි තිබෙන පාඨමාලා පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දිය යුතුයි.

එවිට තමයි ඒ ළමයි කාර්මික විද්‍යාලය කෙරෙහි අවධානය යොමු වෙන්නේ. ඒ නිසා කාර්මික විද්‍යාලයේ ප්‍රයෝජනවත්භාවය තමන්ගේ දෑතට සවියක් ඇතිවීමේ ප්‍රයෝජනවත්භාවයයි.

ඒ දරුවන්ට එය පැහැදිලි කර දුන්නොත් තමයි ඒ තරුණ පිරිස් අපිට කාර්මික විද්‍යාලවෙත ඇද ගන්න පුලුවන් වෙන්නේ. ඒ කාර්යය අපි කළ යුතු යැයි මම විශ්වාස කරනවා.

ඔබ සැමට සුභ අනාගතයක් ! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්වරුන් වන සීතා අරඹේපොළ, පියංකර ජයරත්න, සනත් නිශාන්ත, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චින්තක මායාදුන්නේ, අශෝක ප්‍රියන්ත, අලි සබ්රි රහීම් මහත්ම මහත්මීන් සහ නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම් පි.ඩබ්ලිව් රාජපක්ෂ මහත්මිය, කාර්මික අධ්‍යාපන පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එන්.කේ මලලසේකර මහත්මිය, ආණමඩුව කාර්මික විද්‍යාලයේ විදුහල්පති අයි.එස්.කේ ජයරත්න මහතා ඇතුළු සිසුන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress