මහා සිකුරාදා, අප සැමට කියන කථාන්තරය.
Posted on April 1st, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

ලෝකයේ මහා ඛේදවාචකයන් ගනනාවක් සිදුව ඇත. සමහර ඛෙදවාචකයන් ඓතිහාසිකව සටහන්ව ඇති අතර, සමහරක්වා කිසිදු සටහනක් නැතිව ඉතිහාසය තුල වැලලී ගොස් ඇත.

පවතින සමාජ කඩතුරාවන් ඉරා නව ලොවක් සොයා බලන හැමටම උරුම දඩුවම මරණයයි. එම සමාජ කඩතුරාව ඉරා දමන පුද්ගලයා කවරෙකු වුවද ඔහුට උරුමව ඇත්තේදැඩි දඩුවම් සහිත මරණයකි.

මරණය දඩුවමක් සේ දකින්නේ ඝාතකයායි. ඝාතකයා සතුටුවන්නේ තමන්ගේ සතුරාට වද දෙමින් ලබා දෙන මරණයටයි. මෙවන්වූ සහසික ඝාතනයක් මීට වසර 1988කට පමණ පෙර කාලයක් තුලදී මේ පෘතුවිය මත සිදුවිය. එම ඝාතනය පිලිකුලින් හෙලා දැකීමේ හා ඝාතනයට ලක්වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිහිකිරීමේ අරමුණු සහිතව අපි මහ සිකුරාදා සමරමු.

මෙම ඝාතනය ඉතාමත් සැලසුම් සහගතව, කාලාන්තරයක් මුලුල්ලේ ඒ සදහාම, සමාජ වට පිටාව සකස් කරමින් කරන ලද කර්තව්‍යයකි. එදා එතුමාට මේ වේදනාකාරී මරණය උරුම කිරීමට පෙර මහත් වද බන්දන රාශියකට භාජනය කරන ලදී. ඒ ප්‍රසිද්ධියේමය. මේ සෑම ක්‍රියාදාමයක්ම සියසින් දැක ගන්නට ජනතාවට අවස්ථාව ලබාදී තිබීම තවත් සුවිශේෂී ලක්ෂණයක් විය.

 ඝාතකයෝ එතුමාට වද බන්ධන දීම සදහා ඔවුන් ප්‍රිය කරන මෙවලම් උපයෝගිකර ගත්හ. කුරුසය, කටු ඔටුන්න හා කසය මෙම වදබන්ධක උපකරණ විය. මහා බර දැව කදකින් සකස් කරන ලද කුරුසය උන්වහන්සේගේ පිටමත ගැට ගසා, එය උන්වහන්සේ ලවාම මරණ මංචකය වෙත ඇදගෙන යාමට සැලැස්වීම ඔවුනගේ පලමු පියවර විය. තමන්ගේ කුරුසයේ බර උන්වහන්සේගේ ශරීරය පෙලන ආකාරය ඔවුනගේ මනදොල පිනවන රස ආකරයක් විය. ඔවුනගේ දිව්‍ය මන්ත්‍රය වූයේ “ආදරණීය කුරුසය,  අපගේ රාජ්‍ය මිත්‍යාව ලොවට හෙලි කිරීමට වලිකන මොහුට, වේදනාත්මක වධ බන්දන උරුම කරමින් පෙලව, තව තවත් පෙලව; නුඹ අප වෙනුවෙන් ඓතිහාසිකව ඉටු කරන මේ කාර්යය භාරය වෙනුවෙන්, අප නුඹව ලෝකයේ ඉහලම තලයට ඔසවා තබනවා පමණක් නොව, සකලවිද සියලු දනන්ගේ පූජණීයම වස්තුව බවට පත් කරන්නෙමු.” යන්නයි. උන්වහන්සේට කුරුසය තරම් වධ බන්දන පැමිණවූ වෙනත් මෙවලමක් නොතිබිණ. මෙම ක්‍රියාදාමය සිදුවෙන අවස්ථාවේදී එය නරඹමින් සිටි එතුමාගේ අනුගාමිකයින්ගේ සිත්තුල වූයේ මේ කුරුසය කඩා බිද දමා, එතුමාව පෙලන; එහි බරින් මුදවා ගන්නේ කෙසේද යන පැනයයි. මෙය නරඹමින් සිටි එතුමාගේ අනුගාමිකයෝ තරම් කුරුසයේ පාපී ක්‍රියාව දුටු හා වටහා ගත් මිනිස් කණ්ඩායමක් ලොව නොසිටියහ. එදා ඝාතකයාගේ පූජණීය දණ්ඩක උපකරණය, එතුමාට දහසක් වද බන්ධන දී අවසන මරණය උරුම කලහ.

සියලු සත්වයන්ගේ විමුක්තිය උදෙසා ඇස්, ඉස්, මස් ලේ දන්දීම මහගු කාර්යයක් බව අපි දනිමු. උන්වහන්සේ දෙනෝ දහක් දනන් අතරේ, එම උත්තරීතර දානමය පුණ්‍ය කර්මය ඉටු කිරීම සදහා ගමන් කලේ වේදනාවෙන් වුවද, පාපීන්ගෙන් ජීවිතය යදිමින් නම් නොවේ. අභීතව හා ආදර්ශමත්වය.

එතුමාගේ සතුරෝ, රාජය, අධිකරණය, හා සමාජයේ සාමාන්‍ය ජන මනස තුල අපූරුම ආකාරයකට,එම ඝාතනය සාධාරණීය කරන බීජයක් තැන්පත් කරන ලදී. මෙම බීජය දලුලා අතුලා වැඩුණේ විශ්මිත ආකාරයටය. මෙම වැඩුන ශාකයේ හෙවනේ සිටගත් මිනිසුන්ට තමන් දුටු දේ අමතක විය. එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව වධ බන්දන වලින් පෙලන මොහොතේ, කුරුසය විනාශ කලයුතු,  වෛරී දණ්ඩක උපකරණයක් සේ සිතූ එතුමාගේ අනුගාමිකයෝම කුරුසය වැලදගෙන සිප ගන්නා තත්වයට මිනිස් මනස සකස් කිරීමට තරම් ඒ වපුල බීජයට හැකියාවක් තිබිණ.

කුරුසයේ සැබෑ හිමි කරුවෝ වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සතුරෝත්, උන්වහන්සේගේ ප්‍රබල අනුගාමිකයෝත් කුරුසය වැලදගෙන එය පූජණීයත්වයට පත් කරවීම, ඓතිහාසික වශයෙන් අප දකින අති සාර්ථකම මොල ශෝධනයයි. මෙහිදී අප දකින අපූරුම සංවිධානාත්මක අරුමයන් ඝනනාවක් ඇත. මේ වනවිට සැබෑ ලෙසම කුරුසයේ හිමිකරුවෝ එනම් එතුමාගේ සතුරෝ, උන්වහන්සේගේ ධර්මය හා දර්ශණය බෙදුම්වාදයට නතුකොට කැබලි වලට කඩා සභාවන් ගනනාවක් ලෝකය පුරාම ස්ථාපනය කිරීමයි. ඉන් නොනැවතී මේ වන විටත් විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය තුල තව තවත් සභාවන් නිර්මාණය කරන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතී. සත්‍ය වශයෙන්ම මේ ලොව පුරා ඇති සභාවන් ගනන මෙතෙකැයි කිසිවෙකුට කිව නොහැකි තරමට   සතුරන් විසින් විකෘති කරන ලද මෙතුමාගේ ධර්මය ප්‍රචාරණයට සභාවන් ගනනාවක් නිර්මාණය කර ඇත. කිසිදා එක්සත් නොවෙන ආකාරයට බෙදා ඇති මේ ධර්ම සභාවන්ගේ ඉහලින්ම දිදුලන්නේ ඒ මහා සිකුරාදාවක උන්වහන්සේට සකල විද වධ බන්ධනයන් උරුම කල සතුරාගේ දණ්ඩක උපකරණය වූ කුරුසයයි. අද සියලූම සභාවන්හි සිටින සියලූම ජනතාවගේ ආදර ගෞරවය උන්වහන්සේට නොලැබුණද,  කුරුසයට ලැබේ.

කුරුසයේ වධ වේදනා  විදීන අපගේ ස්වාමින්වහන්ස, ඔබ වහන්සේටත්, ඔබ වහන්සේගේ අනුගාමිකයන්ටත් ඔබ වහන්සේගේ සතුරෝ,  උරුම කල සකල සියලූ දේ අපි මනාව හදුනමු. අපි  ඔබ වහන්සේ ඉතිහාසය තුල මිනිසුන් දැනුවත් කිරීම සඳහා සිදුකල කැප කිරීම ඉහලින් අගය කරන්නෝ වෙමු. අපගේ නමස්කාරය පිළිගන්න ස්වාමිනි. ආමෙන්!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress