බෞද්ධ ජනරජ ප්‍රවාදය – 17 වැනි කොටස – බලයේ පාලනය ජනතාව අතට
Posted on May 10th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

ජනතාව විසින් තමන්ගේ බලය නියෝජිතයන්ට පවරා පසෙකට වීමක්. දැනට අප රටෙහි ක්‍රියාත්මක බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදුවෙයි. මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එකී බලය පාලනය කිරීමේ ක්‍රමයක් ජනතාවට නොමැත. මේ හේතුවෙන් ඇතිවන විවිධ ආරවුල් ප්‍රකාශ කෙරෙන්නේ ජනතා උද්ඝෝෂණ සහ විරෝධය දැක්වීමේ වෙනත් ක්‍රමවලිනි. නැවත වතාවක් ඡන්දය ලබාගැනීමට ඇති අපේක්‍ෂාව වෙනුවෙන් කරන කියන දෑ හැරුණු විට ජනතාව කෙරෙහි වෙනත් බැඳීමක් අදාළ නියෝජිතයන් තුළ නොපවතියි.

බෞද්ධ ජනරජය තුළ මෙවැනි වාතාවරණයක් ඇතිවීම වැළැක්වීම සඳහා සුදුසු ක්‍රමයක් අප විසින් යෝජනා කරන ලද රාජ්‍ය ව්‍යුහය ඇසුරින් හඳුන්වා දිය හැකිය. නිර්පාක්‍ෂික සහ බහුපාක්‍ෂික ක්‍රමවල සංකලනයක් ලෙසින් ජනතා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ දී බලයේ පාලනය ජනතාව වෙත තබාගැනීමේ ඉඩක් ශේෂ වන හෙයින් මෙය සිදුකිරීම අපහසු නැත.

මෙම ප්‍රවාදය තුළින් යෝජිත රාජ්‍ය ව්‍යුහය තුළ ගම් සභා (සහ නාගරික සභා) යනු ජනතාවගේ පාලන බලය නිර්පාක්‍ෂික ක්‍රමයට ලබාදීමෙන් ස්ථාපිත කරනු ලබන බිම් මට්ටමේ ආයතන වෙයි. මෙම ආයතනවල නියෝජිතයන් සහ ජනතාව අතර කිසිදු ආකාරයක දුරස්ථභාවයක් නොමැත. ගමක (හෝ කුඩා නාගරික ප්‍රදේශයක) එකට ජීවත්වන පිරිස අතරින් මෙම නියෝජිතයෝ තේරී පත්වෙති. පක්‍ෂයක මෙහෙයවීමට ලක් නොවන හෙයින් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා තමන් විසින් ම හඳුනාගනිමින් ඒ අනුව කටයුතු කිරීමේ අවස්ථාව ඔවුනට හිමිවෙයි.

කෝරළ සභාවට නියෝජිතයන් පත්වනුයේ ගම් (නාගරික) සභා නියෝජිතයන් අතරිනි. එහෙයින් ඔවුහු ද අදාළ ප්‍රදේශවාසී ජනතාවගේ සෘජු පාලනයට ලක් වූ පිරිසක් බවට පත්වෙයි. කෝරළ සභා සභාපතිවරු බහුපක්‍ෂ ක්‍රමයට තෝරා පත් කරගත්ත ද ඔවුහු ගම් සභා වෙත සෘජුව වගකියන්නන් බවට පත් කළ හැකිය. මෙම කාර්යය කළ හැක්කේ කෝරළ මට්ටමින් දෝෂාභියෝග යෝජනා ගෙන එන ක්‍රමයක් හඳුන්වා දීම මගිනි. යම් කෝරළ සභාවක් විසින් තම සභාවෙහි සභාපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන එන්නේ නම් එය අදාළ කෝරළයේ ජනතාව නියෝජනය කරන ගම් සභා නියෝජිතයන්ගේ අනුමැතියට ඉදිරිපත් කළ හැකිය.

යෝජිත පාලන ක්‍රමය තුළ කෝරළ සභා සභාපතිවරයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයා ද වන්නේ ය. ජාතික විධායක සභාවෙහි එක් පාර්ශ්වයක් වන දිස්ත්‍රික් නායක මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කරගන්නේ ද කෝරළ සභා සභාපතිවරුන් අතුරිනි. එහෙයින් උක්ත දෝෂාභියෝග යෝජනා ක්‍රමය විසින් එකී සියලු දෙනා ආවරණය කරනු ලබයි. මෙම ක්‍රමය සඳහා අදාළ නිර්ණායක සකසා ගැනීම අපහසු කාර්යයක් නොවේ. එලෙසින් පනවනු ලබන විධිවිධානවලට අනුකූලව ගෙන එනු ලබන කෝරළ මට්ටමේ දෝෂාභියෝග යෝජනාවකින් තම තනතුර අහිමිවීම වළක්වා ගත හැක්කේ ගම් (හෝ නාගරික) සභා මට්ටමේ යහපත් පිළිගැනීමක් ඇති කෝරළ සභා සභාපතිවරුන්ට (රාජ්‍ය මන්ත්‍රණ සභා නියෝජිතයන්ට, දිස්ත්‍රික් නායක මණ්ඩල සභිකයන්ට) පමණකි.

නිර්පාක්‍ෂික ජනතා නියෝජිතයන් (ගම් සභා හෝ නාගරික සභා නියෝජිතයන්) අදාළ දෝෂාභියෝග යෝජනාවට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරන බැවින් එම තීරණ දේශපාලන පක්‍ෂවල බලපෑමෙන් නිදහස් ඒවා වෙයි. ඒ අනුව මෙම ක්‍රමයට අනුව ක්‍රියාවට නැගෙනුයේ නිර්පාක්‍ෂික ක්‍රමය විසින් පක්‍ෂ ක්‍රමය දමනය කෙරෙන වැඩපිළිවෙළකි.

තමන්ට පැවරුණු ජනතාවගේ පාලන බලය මුදලට හුවමාරු කිරීම, දූෂණ සහ භීෂණ කාර්යයන්ගේ නිරතවීම, අකාර්යක්‍ෂමතාව, වගකීම් පැහැරහැරීම වැනි ගැටලු විශාල ප්‍රමාණයක් මෙම ක්‍රමය තුළින් විසඳාගත හැකිය. මෙම ක්‍රමය නිසා ඉතාමත් කාර්යක්‍ෂම; එමෙන් ම, තමන්ට වගකියන විධායකයක් නිර්මාණය කරගැනීමට අවස්ථාවක් ජනතාවට හිමිවෙයි.

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනා ගෙන ඒම සහ විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයේ නියෝජිතයන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ඒම රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි සභිකයන්ට හිමි බලයකි. මෙම සභිකයන් කෝරළ සභා සභාපතිවරුන් ද වන බැවින් උක්ත කාර්යයන් වගකීම් සහගත අයුරින් සිදුකිරීමට ඔවුනට සිදුවෙයි. ඒ, එසේ නොකළ හොත් ඔවුහු කෝරළ මට්ටමේ දෝෂාභියෝග යෝජනාවලට පාත්‍ර වන බැවිනි.

දේශපාලන පක්‍ෂ ක්‍රමය ජනතාවගේ සන්නිරීක්‍ෂණයට ලක්වීම ද මෙයින් සිදුවෙයි. බිම් මට්ටමේ නිර්පාක්‍ෂික නියෝජිතයන්ගේ යහපත් පිළිගැනීමක් නොලබා පක්‍ෂ ක්‍රමයෙන් තේරී පත්වන නියෝජිතයන්ගේ පැවැත්ම තහවුරු කළ නොහැකිය. එහෙයින් තම පක්‍ෂ නියෝජනය කරන ජනතා නියෝජිතයන් පිළිබඳව නිරන්තරව සොයාබැලීමේ සහ ඒ අනුව කටයුතු කිරීමේ වගකීම දේශපාලන පක්‍ෂවලට පැවරෙයි.

මෙය ඉතාමත් පැහැදිළිව ම ජනතාවට වගවීම සඳහා අදාළ නියෝජිතයන්ට බල කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකි. අදාළ විස්තරාත්මක විධිවිධාන පැනැවීම මඟින් දේශපාලනික ස්ථාවරත්වයට හානියක් නොවන අයුරින් මෙම වගවීම ක්‍රියාවට නැංවිය හැකි වේ. ජනතාවගේ උපදේශන, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතනවලට යෝජිත බල ව්‍යුහය තුළින් ම නියමිත වගකීම් නිශ්චිත අයුරින් පැවරෙන හෙයින් ඒවා සඳහා විශේෂ වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීම අනවශ්‍ය බව ද මෙයින් උපකල්පනය කෙරෙයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress