බෞද්ධ ජනරජ ප්‍රවාදය – 19 වැනි කොටස -ස්ව-ශක්තියේ පාලනය
Posted on May 24th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

බුදුදහම විසින් අප හට පෙන්වා දී ඇත්තේ ස්ව-ශක්තියෙන් විමුක්තිය උදා කරගත හැකි මාර්ගයකි. එකී ඉගැන්වීම්වලට අනුව, තමන්ට තමන්ගේ පිහිට විනා අන්‍යයන්ගෙන් ලබාගත හැකි සරණක් නොමැත. පරමාර්ථ සාධනය අරභයා මෙම බුදු වදන සිත්හි තබාගෙන බෞද්ධයා කටයුතු කළ යුත්තේ ය. එපමණක් නොව, ඔහුගේ ලෞකික ජීවිතය ද ඒ වෙනුවෙන් හැඩගැස්විය යුතු ය. එහෙයින් බෞද්ධ ජනරජයේ රාජ්‍ය පාලනය ද එහි පුරවැසියන්ගේ ස්ව-ශක්තිය වර්ධනය කරන, ඒ සඳහා ඔවුන් පුරුදු පුහුණු කරවන එකක් විය යුතු වෙයි. අනුන් මත යැපෙන, සෑම කාර්යයක් ම රජය විසින් කරදෙන ක්‍රමයක් තුළ කිසිවකුට ස්ව-ශක්තිය වර්ධනය කරගත නොහැකිය.

වර්තමානයේ පවත්නා බටහිර ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදුවන්නේ ජනතාව විසින් තමන්ගේ බලය මුළුමනින්ම බාහිර ආයතන වෙතට පවරා දී එම ආයතන මත යැපෙන්නන් බවට ඔවුන් පත්කිරීම ය. මෙම පිළිවෙත බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ය. ස්ව-ශක්තියෙන් ජනතාවට කළ හැකි දෑ රජය විසින් පවරාගත යුතු ද නොවේ. තම ස්ව-ශක්තිය වර්ධනය කරගැනීමේ සහ ඒ අනුව පුද්ගලික, සමාජ අභිවෘද්ධිය සළසාගැනීමේ අවස්ථාවක් මෙම ප්‍රවාදය විසින් යෝජනා කරනු ලබන ගම් (සහ නාගරික) සභා සහ කෝරළ සභා ක්‍රම තුළින් සැළැසෙයි.

එක් එක් අයගේ පුද්ගලික කාර්යයන් ඒ ඒ අය විසින් කරගන්නා අයුරින් ම, පවුලේ කාර්යයන් ඒ ඒ පවුල්වල අය විසින් කරගන්නා අයුරින් ම ගම්වල කටයුතු ඒ ඒ ගම්වල අයට ම කරගත හැකිය. ඒ සඳහා අවශ්‍ය ආයතනික සැකැස්ම ගම් සභා ක්‍රමය තුළින් නිර්මාණය කෙරෙයි. ගමක පවතින මූලික ගැටලු සහ අවශ්‍යතා හඳුනාගැනීම, එම ගැටලුවලට පිළියම් යෙදීම සහ අවශ්‍යතා සපුරාගැනීම ඒ ගමෙහි වසන අයට ම කළ හැකි කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම වැනි අමතර සහයෝගය ලබාදීම පමණක් බාහිර පාර්ශ්වයන් හට කළ හැකිය.

බිම් මට්ටමේ දී විසඳාගත නොහැකි ගැටලු විසඳාගැනීම වෙනුවෙන් සහ අදාළ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් කෝරළ මට්ටමේ ආයතන සැකැසෙයි. කෝරළ සභාව සැකැසෙන්නේ ගම් සභාවලින් නම් කරන නියෝජිතයන්ගෙනි. ගම් මට්ටමේ කටයුතුවලට අවශ්‍ය ප්‍රාදේශීය නායකත්වය ලබාදීම සහ ප්‍රාදේශීය මට්ටමේ කටයුතු සිදුකිරීම කෝරළ සභාව සහ ඒ මට්ටමේ ආයතන විසින් ඉටුකරයි. මෙම ක්‍රමය තුළින් ප්‍රාදේශීය මට්ටමේ ස්ව-ශක්තිය ද තහවුරු වෙයි.

ප්‍රාදේශීය මට්ටමේ කටයුතුවලට ජාතික මට්ටමේ මැදිහත්වීම සහ උපකාරය අවශ්‍ය වනුයේ අදාළ කාර්යයන් කරගැනීමට එකී ද්විතීයික ආයතනවලට නොහැකි අවස්ථාවල දී ය. ජාතික මට්ටමේ ආයතනවල පිහිට පැතීමට ජනතාව හට සිදු වනුයේ එම කාර්යයන් තම ශක්තියේ සීමාවෙන් ඔබ්බහෙි පවතින්නේ නම් පමණකි. එහෙයින් ජාතික මට්ටමේ ආයතන කටයුතු කළ යුතු වනුයේ රටෙහි වසන සියලු ජනතාවට අවශ්‍ය නායකත්වය සහ මගපෙන්වීම සපයන ස්වරූපයෙනි.

මෙම ප්‍රවාදය තුළින් යෝජනා කරනු ලබන රාජ්‍ය පාලන ව්‍යුහය තුළ බිම් මට්ටමේ සිට ඉහළට වර්ධනය වෙන ආයතන පද්ධතියක් බිහිවන බැවින් පියවරින් පියවර අත්දැකීම් ලබමින් ස්ව-ශක්තිය වර්ධනය කරගත් අය පමණක් ජාතික මට්ටමේ ආයතන නියෝජනය කිරීමට පත්වන්නේ ය. එහෙයින් එයින් තහවුරු කරනුයේ ජාතියේ ස්ව-ශක්තිය යි.

ස්ව-ශක්තිය යනු ආර්ථික සංවර්ධන කාර්යය සඳහා ද අත්‍යවශ්‍ය සාධකයකි. තම ශක්තිය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නෝ ආර්ථික පරමාර්ථ සාධනය සඳහා අවශ්‍ය මානව දායකත්වය අනලස්ව ලබාදෙති. ප්‍රශස්ත අයුරින් මානව දායකත්වය ලබා නොගෙන සාක්‍ෂාත් කරගත හැකි අරමුණක් නොමැත. එහෙයින් බෞද්ධ ජනරජයේ ආර්ථික සංවර්ධනය සඳහා ද මෙම ප්‍රවාදයෙන් යෝජිත පාලන ව්‍යුහය උපකාරී වන බව පැහැදිළි ය.

අනතුරක්, ව්‍යසනයක් ඇතිවන විට ද ජනතාවගේ ස්ව-ශක්තියේ අවශ්‍යතාව ඉස්මතුව එයි. බාහිර උපකාර ලැබෙන තෙක් පීඩාවට ලක් වූ ජනතාවට පිහිටවනුයේ ඔවුනගේ ම ශක්තිය යි. මෙම කරුණ විසින් ද ස්ව-ශක්තිය වර්ධනය කිරීමේ සහ ඒ සඳහා අවකාශ සැලැසීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

ඕනෑම රාජ්‍යයක් විසින් සිය ආරක්‍ෂාව සළසාගත යුත්තේ ද ස්ව-ශක්තියේ පිහිටෙනි. සතුරු උවදුරක් ඇතිවන විට එයට මුහුණ දී එය පරාජයට පත් කර රට, ජාතිය සහ ශාසනය රැකගැනීමට බාහිර උපකාර අපේක්‍ෂාවෙන් කල් මැරිය නො හැකි ය. මෙම රාජ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් ද ජාතිය සූදානම් කර තිබිය යුතු ය. ජනරජයේ පාලන ව්‍යුහය විසින් ස්ව-ශක්තිය වර්ධනය කරගැනීමට දිරිදෙන්නේ නම් මෙම කාර්යය ද ඉතා පහසුවෙන් සිදු කළ හැකි ය.

උක්ත සියලු කරුණු සළකා බලන විට ස්ව-ශක්තියට මුල් තැන ලැබෙන අයුරින් ජනරජයේ පාලනය මෙහෙයවීමේ වැදගත්කම පැහැදිළි වෙයි. එවැනි පාලන ක්‍රමයකින් එක් එක් පුද්ගලයාගේ ශක්තිය ද, බිම් මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ සාමූහික ශක්තිය ද, අවසාන වශයෙන් රාජ්‍යයේ ශක්තිය ද තහවුරු වෙයි. මෙම ප්‍රවාදයෙන් යෝජිත පාලන ව්‍යුහය එම අවශ්‍යතාව ඉටු කරන්නකි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress