උසස් දක්ෂතා සංචිතයට ෆොන්ටෙරා පිරිනමන විසි පන්දහසේ මාසික පෝෂණ දීමනාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්
Posted on June 2nd, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

ෆොන්ටෙරා ආයතනය ඉහළ කාර්යය සාධනයක් සහිත  ක්‍රීඩකයින් හැටදෙනා සඳහා ලබාදෙන රුපියල් 25,000ක  මාසික පෝෂණ දීමනාව පිරිනැමීමේ සමාරම්භය  තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (02) දින ටොරින්ටන් පරිශ්‍රයේ දී පැවැත්විණි.

එක් එක් ක්‍රීඩා සංගම් හරහා තෝරාගැනීමේ තරග පවත්වා මළල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම් සහ පැරා ක්‍රීඩාවලට අදාළව  උසස් දක්ෂතා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 60 දෙනෙකි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම අනුව අපේ රටේ ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා සභාව එක්ව කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මකය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ අවශ්‍යතා හඳුනාගෙන සුදුසුකම්ලත් පෝෂණ වෛද්‍යවරයකුගේ නිර්දේශ මත නිසි උපදෙස් ලබාගනිමින් මෙම පෝෂණ දීමනාව පිරිනමයි.

ඒ සඳහා මසකට එක්  ක්‍රීඩකයකු සඳහා  වැයවන රුපියල් 25,000/- ක් පමණ වූ මුදල ක්‍රීඩකයන් 60දෙනා සඳහාම වසරක් පුරාවටම මූල්‍යමය වශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට ෆොන්ටේරා සමාගම ඉදිරිපත් වී සිටියි.

සැළසුම්ගතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෘත්තීය මට්ටමින් පමණක් නොව පෝෂණ මට්ටමින් ද සවිමත් කර අපේ රටේ ක්‍රීඩාව රනින් ජයග්‍රහණය කිරීම ක්‍රීඩා අමාත්‍යාංශයේ සැළසුම වී තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය,ජාතික ක්‍රීඩා සභාවේ උසස් දක්ෂතා සහිත ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ කමිටුවේ සභාපති සංජීව වික්‍රමනායක, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම, ෆොන්ටේරා සමාගම නියෝජනය කරමින් දිනිත් පතිරණ මහත්වරු ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress